theleaderlk 01

එළඹ ඇත්තේ මේ මවුබිම, මවුබිම වෙනුවෙන් සම්මුතියක් ඉල්ලා සිටින මොහොතක් බව

පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කර සිටියි.

ඒ , සඳහා සර්වපාක්ෂික සාකච්ඡාව නොපමා ව ගොඩනඟා ගන්නා ලෙස ද එම සංවිධානය ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටියි.

ඔහු  ඒ බව කියා සිටියේ, ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නිතිය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් පැවති විවදයේදීය.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.


''මේ එක්තරා ආකාරයකට අපේ රටේ දේශපාලන අලුත් සම්මුතියක් සනිටුවන් කරන මොහොතක්. එවැනි සම්මුතිවාදී දේශපාලනයක් රට විසින් ඉල්ලා සිටින මොහොතක්.

හැට නව ලක්ෂයක ජනතා වරමකින් අප පත් කරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ ජනවරම අර්ථවත් කිරීමට අපොහොසත්වීම නිසා මේ සභාව විසින් නව ජනාධිපතිවරයෙක් පත් කර ගෙන ඇති මොහොතක්.


අපි ප්‍රාර්ථනා කරනවා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමාගේ පක්ෂයේ ප්‍රතිපත්ති අභිබවා මේ පාර්ලිමේන්තුවේන් තේරී පත්වූ ජනාධිපතිතුමන් ලෙස සියලු පක්ෂවල සාධනීය මතවාදයන්ට සවන් දෙමින් සැබෑ සම්මුතිවාදී රජයකට නායකත්වය දීමට හැකි වේවා කියා.



 ඒ සමඟම අපි කැමති නව අගමැතිතුමාට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ට අපගේ යුතුකම ජාතික සංවිධානයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරන්නට. එතුමා හසල අත්දැකීම් තිබෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැප වූ නායකයෙක්. මව්බිමට ආදරය කරන දේශප්‍රේමියෙක්.

 මව්බිමේ නිදහසම අභියෝගයට ලක්ව ඇති මොහොතක දේශපාලන භාවිතය ඉක්මවා සම්මූතීන් ගොඩනඟගැනීම සඳහා සුදුසුම නායකයෙක්. මේ අපේ මව්බිමේ අඳුරුතම මොහොතක්.

ඒ ඝණඳුරෙහි අරුණාලෝකයක් වීමට සාකච්ඡාවෙන් සංවාදයෙන් සම්මුතියෙන් මේ අපගේ මාතෘ භූමියට අරුණාලෝකය වීමට මේ ගරු සභාවට හැකිවේවා'යි යන්න අපගේ ප්‍රාර්ථනය යි.

දැන් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ මතය කෙටියෙන් හෝ ඔබ හමුවේ තැබීම අප ගේ යුතුකමයි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

ඔබතුමා දන්නවා ඇති මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දීම ගරු කථානායකතුමා කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන මොහොතක මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කරනු ලැබුවා. නැත්නම් එවැනි ප්‍රයත්‍නයක් දරනු ලැබුවා. ඒ ප්‍රයත්නයට ජනතාව කැඳවූ ඇතැමුන් ගේ නායකයන් අප සමග සමඟ පක්ෂ නායක රැස්වීමේ සිටියදීමයි මේ ක්‍රියාවලිය සිදු වුයේ.

මේ 'දවල් මිගෙල් රෑ දනියෙල්' රඟ පෑ හැකි මොහොතක් ද?  එදා මේ රටේ ත්‍රිවිධ හමුදාවක් මේ පාර්ලිමේන්තුවේ මගපෙන්වීමක් පැතූ බවයි අපගේ අවබෝධය.
ඒ මගපෙන්වීම මේ ගරු සභාව ලබාදිය යුතුයි.

රුදුරු ත්‍රස්තවාදයකින් මව්බිම රැකගත් ඒ වගේම පාලනයක් නැති නිතීයක් නැති හෝරාවක අපගේ දේශය අනාථ භූමියක් වීම ගොදුරු බිමක් වීම අපේක්ෂාවෙන් සිටි ඒ විජාතික බලවේගයන් ගේ අපේක්ෂාවන් ඉටු වීමට ඉඩ නොතැබූ අපගේ ආරක්ෂක හමුදාවන්ට අපගේ ප්‍රණාමය මේ ගරු සභාවේ ප්‍රණාමය පුද කළ යුතු බවයි අපගේ අදහස.

ඔවුන් පෙන් වූ ඒ ඉවසීම ඒ විනය ඒ වගේම මව්බිම වෙනුවෙන් තම යුතුකම  හා වගකීම ඉටු කිරීමේ දී පෙන්වූ ධෛර්ය සම්පන්නභාවය අප පැසසිය යුතුයි. ගරු කළ යුතුයි.



මේ අවස්ථාවේදී හදිසි නීතිය පැනවීම නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාව සුරැකීම සඳහා අවශ්‍ය වන්නේ නම් අප ඒ සඳහා අනුමැතිය දිය යුතුයි. ගරු අගමැතිතුමනි, මේ අනුමැතිය විජාතික  කුමන්ත්‍රණකාරී බලවේග පැරදවීම සඳහා යි. මේ අනුමැතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා යි. ඒ සඳහා ම පමණයි.



දැන් අරගල භූමිය ගැන ගැන ද මදක් විමසමු. ඒ අරගල භූමිය නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී අන්‍යෝන්‍ය ගරුත්වයේ ක්ෂේම භූමියක් වේ යැයි අවංකව කිව හැකි ද? ඒ අරගලය පිළිගත් ඒ අරගලයට ආශිර්වාද කළ විවිධ දේශපාලන ධාරාවන් හෙවත් එය ක්ෂේම භූමියක් වේ ද?

 ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මැතිතුමාට , ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායකයන්ට  ඒ අරගල භූමියේදී අරගලයට පක්ෂ වෙමින් හෝ තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිණි ද?

දැන් අරගල භූමිය ජනාධිපති ලේකම් කාර්යාලය මුදා ගැනීමත් සමඟම ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් එක්වන ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂවලින් බ වලින් බලවේගවලින් ඉල්ලා සිටිනු අපි දුටුවෙමු.

අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අන් පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අවහිර නොකරන ලෙසයි. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධය පළ කිරීමේ අයිතිය සීමා කිරීමට මේ හදිසි නීති විධි විධාන යොදා නොගන්නා ලෙසයි. ඒ වගේම අරගල භූමියෙන් ද කිරීමට ඉල්ලීමක් අපට ඇත. ඔබ විවිධ අදහස් වලට ගරු කිරීම පිලිබඳව ආදර්ශයක් දෙන්න. විවිධත්වය තුල සම්මුතීන් ගොඩනැඟීම පිළිබඳ ආදර්ශයක් දෙන්න. ප්‍රචණ්ඩත්වය පිටුදැකීම පිළිබඳ ආදර්ශයක් දෙන්න.


ගරු අගමැතිතුමනි,

මේ මවුබිම මවුබිම වෙනුවෙන් සම්මුතියක් ඉල්ලා සිටින මොහොතක්. මේ සඳහා සර්වපාක්ෂික සාකච්ඡාව නොපමා ව ගොඩනඟා ගන්නා ලෙස අපි ගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

බෙදීම් ඉක්මවන, සතුරුභාවය ඉක්මවන මවුබිම වෙනුවෙන් සම්මුතීන් ගොඩනඟා ගැනීමට නව දේශපාලන ආදර්ශයක් වීමට මේ ගරු සභාවට හැකිවේවා'යි අපි ප්‍රාර්ථනා කරනවා. මේ අන්ධකාර මොහොතේ මවුබිමට වගකියන ආලෝකයක් වීමට මේ සභාවට හැකි වේවා!

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්