රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා

ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරුවෙකු ලෙස නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 01 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ඊයේ (ජූලි 27) ඔහුට නොතීසි නිකුත් කරනු ලැබීය.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස පුද්ගලිකව නම් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව 2022 අගෝස්තු මස 01 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ ට ඔහු අවසානයට පදිංචිව සිටි ලිපිනයට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කර සිටියේය.

 

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව කරුණු විභාග කිරීම අත්හිටුවීමට හා එම පෙත්සම් විභාගයෙන් ඔහු සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

 

අග්‍රාමාත්‍යවරයාව සිටියදී එම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධුරයට පත් වීම මත ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 විධිවිධානය මඟින් සහතික කර ඇති නඩු පැවරීමේ මුක්තිය හිමිව සිටින බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ගනු ලැබීය.

තමා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් කිරීමට අවසර ඉල්ලා ගොනු කළ මෝසමක් සලකා බැලූ අධිකරණය ඔහුට එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් ඊයේ කැඳවනු ලැබීය.

 

මේ අතර හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 02වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගය කළේය.

 

එසේම තමන් විදේශ ගත නොවන බවට මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල සහ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සිය නීතිඥවරු මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් පොරොන්දුව ද අගෝස්තු මස 02වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.

අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කරමින් ආර්ථිකය බංකොලොත් කිරීමට එරෙහිව ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේ මෙම නියෝගයන් නිකුත් කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජුලියන් බෝලිං, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.


(BBC සිංහල සේවය )


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්