විරෝධතාකරුවෙක් වූ පමනින් යමෙක් ප්‍රචන්ඩකාරියෙක් ලෙස හංවඩු ගැසීම අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.



විරෝධතා දැක්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත්, ඒ අයිතියට අත පෙවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කර සිටියි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ නාලක ගොඩහේවා මේවනවිට පාර්ලිමේන්තුව තුල ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

ඔහු ඉහත කාරනා අවධාරණය කර ඇත්තේ ජුලි 28 දා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.

එම සටහනේ මෙසේ සඳහන් වේ. 

 

 ''මගේ තීන්දුව නිවැරදිද කියනා දෙය ඉතිහාසය තීන්දු කරාවී''
 

ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු මූලික ලක්ෂණයක් තමයි, ආණ්ඩුවේ ප්‍රධාන ආයතන තුන, ඒ කියන්නෙ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර හොඳ බල තුලනයක් පැවතීම. ඒ වගේම බලවිභේදනයක් තියෙන්න ඕනෙ.

හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කළාම කොතරම් නීත්‍යනුකූලව වුණත්, විධායකයට විශාල බලයක් හිමිවෙනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි දන්නවා, ඉතාම ප්‍රබල විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය වුණා. කාලයත් එක්ක ඒ බලය යම් තරමකට අඩු කරගන්න හැකි වුණා. දැන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ ඒ තත්ත්වයම යළිත් අපිට පේන්න තියෙනවා.
 
 
මහජන ආරක්ෂක පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නවා. න්‍යායාත්මක තලයේදී යම්කිසි විදිහක මේවා අතර නියාමනයක් තිබුණත්, ප්‍රායෝගික තලයේදී විධායකයට මේ හරහා ලැබෙන බලය අතිශය භයානකයි.
 
 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත්, මහජන ආරක්ෂක පනතෙත් කියන්නෙ ජනාධිපතිවරයාට හැඟෙනවා නම් මහජන ආරක්ෂාව පිළිබඳ යම් තර්ජනයක් තියෙනවා හෝ තර්ජනයක් ඇතිවීමේ අනතුරක් තියෙනවා හෝ මහජන සාමය ආරක්ෂා කිරීමට හෝ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන්න හෝ මේ විදිහට හදිසි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා.

 ලංකාවේ නීතියේ තියෙන විශේෂ තත්ත්වය තමයි, මේ විදිහට ජනාධිපතිවරයාට හදිසි නීති බලතල ලබාදීම අධිකරණයක් ඉදිරියේ කිසිම ආකාරයකින් ප්‍රශ්න කරන්න නොහැකි වීම. වෙනත් රටවල ඔය තත්ත්වය නෑ. ඒ රටවල හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත්කිරීම පවා අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙනවා, ජනාධිපතිවරයාට හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න පිළිගතහැකි හේතු තිබුණාද කියන කාරණය සම්බන්ධයෙන්.

හදිසි නීතිය පැනවීම වලක්වන්න පුළුවන් එකම තැන පාර්ලිමේන්තුවයි.  නමුත් අපි දන්නවා, පහුගිය දශක ගනණාවක් මුළුල්ලේ අපේ පාර්ලිමේන්තුව කොයිතරම් දුර්වල ද කියලා. පාර්ලිමේන්තුව දුර්වල නිසා තමයි, මේ විදිහට මේ තරම් කාලයක් හදිසි නීති තත්ත්වය පවත්වාගෙන යන්න හැකි වුණේ. ජනාධිපතිවරයාව ප්‍රශ්න කිරීමක් බහුතරය මගින් සිදුවෙනවා අපි දැක්කෙ නෑ.
 
 
හදිසි නීති විවාදයේදී එයට පක්ෂව කතා කරපු හැම කෙනෙක්ම කියපු දෙයක් තමයි අරගලය මර්ධනය කරන්න ඕනේ කියනා එක. එහෙනම් ඉතාම පැහැදිලියි මේ අවස්ථාවේ හදිසි නීතියක් ගෙන එන්නේ මහජන ආරක්ෂාවටත් වඩා මහජන මර්ධනයක් අරමුණු කරගෙන කියනා එක. මේක අපි මදක් බුද්ධියෙන් විමසා බලන්නට ඕනේ.
 
 
''ජනතා විරෝධයන් ත්‍රස්තවාදි කල්ලියක් මෙහෙයවපු දෙයක් නොවේ''


ලංකාව තුල පහුගිය කාලයේ ගොඩනැගුන ජනතා විරෝධයන් සංවිධානාත්මක ත්‍රස්ත වාදි කල්ලියක් විසින් මෙහෙයවපු දෙයක් නොවේ. එය රටේ තිබුන ආර්ථික දුෂකරතා හා සාමාන්‍ය ජනජීවිතයට ඇතිවී තිබූ බාධා නිසා සාමාන්‍ය ජනතාව අතර ඇතිවී තිබූ මහා විරෝධය යම් ප්‍රචන්ඩකාරීන් විසින් අවභාවිතා කිරීම නිසා ඇති වූ තත්වයක්.

මේ විරෝදයන්ට අරගලය කියනා නම ලැබුන මුල් කාලයේ මේ රටේ සැම සමාජ පදනමකම ජනතාව මේ විරෝධතාවන්ට සහභාගී වුනා. මුල කාලයේ එය ඉතාමත්ම නිර්මාණශීලීව සාමකාමීව පැවැතුවුනා. මේ අතරට හැමදාමත් ප්‍රචන්ඩත්වය විශ්වාස කරපු දේශපාලන කල්ලිත් රිංගාගෙන හිටියා.

9th
මැයි 9 දා උදේ ගෝල්ෆේස් පිටියට දේශපාලන හෙංචයියන් පිරිසක් විසින් පහර දීම නිසා අරගලය තුල එතෙක් සුලුතරයක්ව පැවති මේ ප්‍රචන්ඩකාරීන්ට ඉදිරියට ඇවිත් මහා භීෂණයක් රට පුරා දියත් කරන්නට අවස්ථාව ලැබුනා.


මම පුද්ගලිකව ඒ භීෂණයෙන් බැට කාපු කෙනෙක්. මගේ නිවසත් කලහකාරීන් ගිනි තැබුවා. නමුත් මම විශ්වාස කරනවා ඒ වෙලාවේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් ආරක්ෂක අංශ තමුන්ගේ වගකීම නිසියාකාරව ඉටු කලානම් මේ බොහෝ දෙවල් ප්‍රචන්ඩත්වයට නොගොස් වලක්වා ගන්නට තිබුනා.

නමුත් ආරක්ෂක අංශ ප්‍රධානින්  ඒ වගකීම හරියාකාරව ඉටුකලේ නෑ. ජූලි මාසේ 9දාත් සිදුවුනේ එයමයි. ආර්ථික පීඩනයට එරෙහිව කොළඹට ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පලිහක් කරගත්ත ප්‍රචන්ඩකාරීන් පිරිසක් තමයි ජනාධිපතිවරයාගේ මන්දිරයට කඩා වැදුණේ.
 
 
අපි දැක්කා ඔවුන් දිගින්දිගටම රාජ්‍ය ආයතන අල්ලා ගන්නා හැටි අගමැතිවරයාගේ පවා නිවස ගිනි තබනා හැටි, මාධ්‍ය ආයතන වලට කඩා පනින හැටි, මේ රට මින් ඉදිරියට පාලනය වන්නේ ව්‍යවස්ථාවට අනුව නෙවෙයි අපට ඕනෑ හැටියට කියා පාරම්බානා හැටි.
 
 
නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට පහර දෙන්නට උත්සාහ කිරිමේ සිට ජනතාව අතර ඔවුන්ගේ නිරුවත හෙලි දරව්  වන්නට පටන් ගත්තා. ජනතාව මේ ප්‍රචන්ඩත්වයත් ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තා. අද ඔවුන්ට මහ ජනතාවගේ සහාය නෑ. ඒ නිසා මහජන සහාය නැතුව ඔවුන්ට ලොකු දෙයක් කරන්නට බෑ.


''අපි මේ ප්‍රචන්ඩකාරීන්ට සම්පූර්ණයෙන් විරුද්ධයි''



අපි මේ ප්‍රචන්ඩකාරීන්ට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි රජයට කියනවා රටේ තිබෙන ශක්තිමත් නීති පද්ධතිය භාවිත කොට මේ අයට සුදුසු දඩුවම් දෙන්න කියා. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. නමුත් එය අසාධාරන ලෙස තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කරගෙන පමනක් කරන්න එපා. මෙතැනදී  සංවිධානාත්මක ප්‍රචන්ඩකාරීන්ව නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍යයි.

විරෝධතාකරුවෙක් වූ පමනින් යමෙක් ප්‍රචන්ඩකාරියෙක් වෙන්නේ නෑ. විරෝධතා දැක්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ අයිතියට අත පෙවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.
 
 
කවුරුන් හෝ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැත්නම් ඒකට විසඳුම රටේ සියලු නීති අභිබවා යන නව නීති රෙගුලාසි සකස් කිරීමේ බලය රජයට ලබාදීම නොවෙයි. හදිසි නීතිය හරහා සිදුවන්නේ එයයි.
 
 
 
පසුගිය යහපාලන රාජ්‍ය සමයේ සාමාන්‍ය නීතිය පවා අවභාවිතා කරමින් විශාල ලෙස දේශපාලන ප්‍රතිවාදින් මර්ධනය කිරිමේ ඉතිහාසයක් තිබෙනා පාලකයන්ගේ අතට මේ හදිසි නීතිය වැනි අවියක් ලබාදීම ඉතාමත්ම අනතුරුදායකයි.

ඒ නිසා හදිසි නීතියට මුවාවී සියලු ආකාරයේ විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සදා ගන්නට රජයට ඉඩ දුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනා පර්ලිමේන්තු මංත්‍රීවරයෙක් විදියට මම මගේ වගකීම පැහැර හැරියා වෙනවා. ඒ නිසා මම හදිසි නීතියට විරුද්ධව චන්දය ප්‍රකාශ කලා.  මගේ තීන්දුව නිවැරදිද කියනා දෙය ඉතිහාසය තීන්දු කරාවී.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්