රටට වහාම ප්‍රතිසංස්කරණ වුවමනා බව අවධරණය කරමින් අරගලයට එළඹී තරුණයින්ගේ අදහස සම්බන්ධයෙන් තමාට කිසිඳු විවාදයක් නොමැතිබව

පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එහෙත් ඇතැමුන් එම අරගලය ප්‍රචණ්ඩත්වයට යොමුකළ බව කියා සිටියි.

''මේ තරුණයෝ ඉස්සෙල්ලා අරගල භූමියට ආවේ මේ රටේ ප්‍රතිසංස්කරණ වුවමනායි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය අරගෙන ප්‍රචණ්ඩත්වයට යොමු කළා. '' ජනාධිපති පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු, හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරු අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කර සිටියේ, ඊයේ (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවති රැස්වීමකදීය.

යල් පැන ගිය ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක වැදගත්කම එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා, සියලුදෙනා අලුතින් සිතා අලුත් ගමනකට සූදානම් විය යුතු බවත්, ජනතා ගැටලුවට විසඳුම් නොසොයා පැරණි සටන් පාඨ කීමෙන් ඵලක් නොවන බවත් අවධාරණය කර සිටියේය.

ජනතා ප්‍රශ්න විසඳමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව පැවසු ජනාධිපතිවරයා, සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනැගීමට එක්වන ලෙස සියලු පක්ෂවල මහජන නියෝජිතයන්ට ආරාධනා කර සිටියේය.

පක්ෂ දෙකකට සීමා නොකොට සියලු දෙනා ඒ සඳහා එක්කරගත යුතු බවත්, නිහඩව නොසිට රටේ සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිළි කර දි රට ගොඩනැගීමේ නව වැඩපිළිවෙළ ගමට ගෙන යාමට කණ්ඩායමක් ලෙස එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

RW 3 22.7.31


මෙම රැස්වීමේදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

“මම අද ජනාධිපති හැටියට සම්ප්‍රදායානුකූලව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සහ මහා නායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගැනීමට මහනුවරට පැමිණියා. අපේ මල්වතු, අස්ගිරි ස්වාමින්වහන්සේ එතනදි ලබාදුන් උපදෙස්වලට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

මේ වැඩකටයුතු අවසන් කරලා මෙතන දී විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත්, එක්සත් ජාතික පක්ෂයෙත් ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් මුණ ගැහෙනවා. ඒක සම්ප්‍රදායික දෙයක් නොවේ, සම්ප්‍රදාය කියන්නේ දෙපැත්තම වාද කරනවා, කාටවත් ඉඩ දෙන්නේ නැහැ. සමහරවිට පොඩ්ඩක් හැප්පෙන ගතියකුත් තියෙනවා.


ඒත් මේකයි අලුත් දේ. අද මේ හැම කෙනාම මෙතන වාඩි වෙලා ඉන්නවා. අන්න ඒකයි වෙනස. ඇයි ඒ වෙනස ඇතිවුණේ? මේ රටේ විශාල ආර්ථික පීඩනයක් ඇති වුණා. ඒ පීඩනයෙන් දේශපාලන විපර්යාසයක් ඇති වුණා. ඒ විපර්යාසයෙන් මම ජනාධිපති වුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැති වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් වුණා. ඒ විපර්යාසය වුණේ ආර්ථික හේතු නිසා. වෙන හේතු නිසා නොවේ, තෙල් නැති වුණා, පොහොර නැති වුණා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. එතනින් ඒ පීඩනය පිපුරුණා.


''ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා''


මේ ඇති වුණ උද්ඝෝෂණවලට, අරගලවලට අපි බලාපොරොත්තු නොවුණ විදියට වෙනත් සංවිධාන ඇවිල්ලා අරගලය මුවාවෙන් වෙනත් වාසි ලබාගත්තා.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් පුච්චන එක, පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙනගත්ත එකක්.

එල්.ටී.ටී.ඊය කළේ වෙඩි තියන එක, බෝම්බ ගහන එක. පළවෙනි වතාවට අපිට ෆැසිස්ට් කණ්ඩායමක් එක්ක සමහර සිවිල් සංවිධාන සියල්ල එතනට ආවා. විශාල කැලඹීමක් ඇති වුණා. එතනින් පස්සේ තමයි මම ජනාධිපතිකම භාර ගත්තේ.


මම ජනාධිපතිකම භාරගත්තට මේ රටේ තිබෙන ආර්ථික පීඩනය නැති වෙලා නැහැ. ජනතාවට තිබෙන ප්‍රශ්න ඒ විදියටම තිබෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩිවන එක රැකියා නැති එක, අද සංවර්ධනයට ප්‍රාග්ධන මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම මේ ගම්මානවල තිබෙනවා. මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අපි වැඩිකරනවාද, අඩු කරනවාද කියලා හිතන්න ඕන. ඒ සදහායි ඔබ සියලුදෙනා මෙතනට පැමිණ තිබෙන්නේ. අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය දිහා බැලුවහම මේක තවත් වැටුණොත් රටක් නැති වෙනවා.


68b205d6 0e2d 44aa bb5c ccc8e80eaee60e46b0fa 7abf 49ed a2ce 1dcf0c0830fc4f6d895c 2c54 4abe 84c1 328fcba7d82ab45092e7 e4a4 4623 bedf d0d1a329b8cc

දළ දේශීය නිෂ්පාදනය 7% කට අඩු වෙලා...


මේ අවුරුද්දේ අපේ ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදනය 7% කට අඩු වෙලා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. එන අවුරුද්දේ අපි ගන්න පියවර නිසා ඒක 3%කින් වැඩි වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ අපිට පුළුවන් 1% ක අතිරික්තියක් ලබා ගන්න. අපේ උද්ධමනය වැඩි වෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නොවේ, මේවට විසඳුම් සොයන්න තියෙන්නේ. ඒ විසඳුම් තුළින් තමයි අපිට අලුත් දේශපාලනයකට එන්න පුළුවන්.

විසඳුම් සොයන්නේ නැතිව පරන සටන් පාඨ කියලා හරියන්නේ නැහැ. දැන් සමහරු කියනවා මේ ආර්ථික අර්බුදය ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර ගෙනාවේ නැති නිසා කියලා. අපේ පක්ෂයෙන් කියනවා මේ තත්ත්වය ඇති වුණේ අයි.එම්.එෆ්. එකට වේලාවට ගියෙ නැති නිසා කියලා. පොදුජන පෙරමුණෙන් කියනවා මේක ඇති වුණේ මේ ආණ්ඩුව විතරක් නොවේ ඊට පෙර පැවති ආණ්ඩුවත් විශාල ණය ගත්ත නිසා කියලා.

මම අහන්නේ, මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා, අපි මේවා ගැන වාද කරනවද,  නැත්නම් වැඩ කරනවද, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොහොර ගෙනාවේ නැ කියලා වාද කලාට මොකද වෙන්නේ, ඒක පොහොර නැවක් ගේනවනම් කරුණාකරලා වාද කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අයි.එම්.එෆ් එකට ගියෙ නැහැ කියලා වාද කරනවා, එක තෙල් නැවක් එනවනම් වාද කරන්න. යහපාලන ආණ්ඩුව නිසා මේ ණය බර වැඩි වුණේ කියලා වාද කරලා ඩොලර් මිලියන 50ක් ගන්න පුළුවන්නම් වාද කරන්න. මේ එක වාදයකින්වත් රට දියුණු වෙන්නේ නැහැ. මේවා දැන් වෙලා ඉවරයි.

 

අපේ මුලික කාලය යෙදවෙන්නේ මේ ප්‍රශ්න ගැන වාද විවාද කරන්නද, නැත්නම් මේවට විසඳුම් සොයන්නද? සමහරු කියනවා පෙළපාලි යනවා කියලා රනිල් ගෙදර යන්න කියලා. කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගෙයක් නැහැ. ඔගෝලලෝ ලෑස්තිනම් විශාල සෙනගක් ගේන්න මාස 06ක් ඇතුලත මගේ ගෙදර හදලා දෙන්න.

 

මගේ ගෙදර හදලා මම ගියායින් පස්සේ ගෙදර පහු කරලා යන්න රනිල් ගෙදර යන්න කියලා. නැත්නම් වැඩක් නැනේ ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන එක. නිකන් කාලේ නාස්ති කරන එකක්නේ. ගම හදන්න, නැත්නම් මගේ ගෙදර හදන්න, ඒ දෙකින් එකක් කරන්න, රනිල් ගෙදර යන්න කියන්න එපා.

අපි ඉන්නේ පැරණි දේශපාලනයේ. අරයට ඇගිල්ල දික් කරනවා, මෙයාට ඇගිල්ල දික් කරනවා මේකෙන් උද්ධමනය අඩු වෙනවද, මේකෙන් දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවද. අපිට දැන් මුදල් හොයන්න තියෙනවා ඉන්ධන ලබා ගන්න, මහ කන්නයට පොහොර ලබා ගන්න, මේවා නේද දේශපාලනය කියන්නේ, ඒවනේ අපි කරන්න ඕන.


මම අගමැති වෙලා මුදල් ඇමති වුණාට පස්සේ අයි.එම්.එෆ්. සංවිධානය සමග සාකච්ඡා කළා. අපි ඒ සාකච්ඡා මගින් විසඳුම් ගණනාවක් හොයාගෙන ආවා. මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේ දී එකඟතාවකට ඇවිල්ලා අගෝස්තු පළමු සතියේ අයි.එම්.එෆ්. මණ්ඩලයෙන් අනුමත කර ගන්න. ඒත් ජනවාරි 09 ඉදන් අද වෙනකන් මුකුත් තිබුණේ නැහැ. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසයේ අන්තිමට. එතකොට අපිට අනුමත කරන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ විතර. මේ එකඟත්වය නැතිව කවුරුත් මුදල් දෙන්නේ නැහැ.



අපි තවත් මේ දේශපාලනයේ යනවද, අපි තවත් මේ දේශපාලනයේ ඉන්නවද, අපි අලුතින් හිතනවද?

37d1d435 8ff7 4fb5 a432 7c17d6d9ee41

''මේ තරුණයෝ ඉස්සෙල්ලා අරගල භූමියට ආවේ මේ රටේ ප්‍රතිසංස්කරණ වුවමනායි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය අරගෙන ප්‍රචණ්ඩත්වයට යොමු කළා. ''



අපි කොහොමද අපේ ගම්මාන දියුණු කරන්නේ. අයි.එම්.එෆ්. එක්ක අපි ගිවිසුමක් ඇති කරගත්තා. එහෙන් සල්ලි ගත්තහම හිතන්න එපා ප්‍රශ්නය ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා.

අපි කොහොමද මේ ණය ගෙවන්නේ, වැඩි වැඩියෙන් විදේශ විනමය ඕනෑ. අලුත් මාවත් ඕන, අපේ කෘෂිකර්මයේ නවීකරණයක් ඕනෑ. අපි මේ දිහා බලලා වැඩ කරනවාද, නැත්නම් සටන් පාඨ කියනවද, මෙතන ඉන්න පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ ගැන හිතලා තීරණය කරන්න ඕනෑ.

 

මොකද අපි මේ අභියෝගය භාරගත්තේ නැත්නම් මේ රට නැති වෙනවා. ඊළග පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද, නැගිටිනවද කියන එක අද අපිට තිබෙන අභියෝගයයි. අපි මේක භාරගෙන අලුත් ලංකාවක් හදනවද, ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවද, කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවද, අපි අපනයනයට බර වෙන ආර්ථිකයක් ඇති කරනවද?

 

දැන් තිබෙන ආර්ථිකය ඇති කළේ 1977 ජේ. ආර් ජයවර්ධන මැතිතුමා. මම ඒකේ කොටස් කාරයෙක්. ඒ ආර්ථිකයේ කාලය දැන් ඉවරයි. විශේෂයෙන් මේ සිද්ධි එක්ක ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. අපි එතනට යන්න බැහැ. ඊට ඉස්සෙල්ලා තිබ්බ බ්‍රිතාන්‍ය යුගයට යන්න බැහැ. මහනුවර යුගයට යන්නත් බැහැ. අපි අලුතින් හිතලා ඉස්සරහට යන්න ඕන.

අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාම ඩිජිටල් ආර්ථිකයක් නැහැ. අපි අලුතින් හිතන්න ඕන. ඒ වගකීමයි අපි භාරගන්න ඕන. ඒක අපි බෙදිලා කරනවද, එකතුවෙලා ඒ පණිවිඩය දෙනවද, වෙන අයට ඇවිල්ලා බෙදන්න ඉඩ දෙනවාද?


''අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි''  


අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීම, කොයි පක්ෂයේ වුණත්. මම කිසි දවසක ගෙවල් පුච්චන, ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ.

අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන.

අද ගම හිස්. පොදුජන පෙරමුණෙන් වුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලයි ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ ආණ්ඩු බලය අපේ අතේනේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු.


මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය. එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර අය වාද කරයි, ඒත් ගමේ ඒක නැහැ. ගමේ පන්සලට, පාසලට යන්න මොකක්ද කියන්නේ? ඇයි අපි ඒ පණිවිඩය දෙන්නේ නැත්තේ. මේකයි සිදු වුණේ අපි දැන් එකතුවෙන්න ඕන කියලා ඇයි කියන්නේ නැත්තේ?


ඔබ සියලුදෙනාම පසුගිය මැයි 09 ඉදලා විදපු දුක මම දන්නවා. සමහරුන්ගේ ගෙවල් නැති වුණා.  සමහරුන්ට ගමෙන් යන්න වුණා, විශාල තර්ජන තිබුණා. ඔබ සියලුදෙනා මරලා දානවා කිව්වා. ඒ කාලය දැන් ඉවරයි.

අපි බලමු එකට එකතු වෙන්න. අපි බලමු එකට රට වෙනුවෙන් වැඩ කරන්න. මම ඒකයි කියන්නේ. මෙතන එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම කැමතියි මම ආවහම මේ ශාලාවේ ඉතිරි කොටසත් පිරිලා තියෙනවට. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්, බැරිද මේ අයවත් අරන් එන්න.

 

මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි, පොදුජන පෙරමුණටයි සීමා කරන්න වැඩක් නැහැ. ඡන්දයට වෙනම එන්න ඕනනම් ඒක වෙනම එකක්. ඒක පස්සේ කතා කරමු. අද ගමේ ඉන්නවා කන්න නැති අය, රැකියා නැති අය, ඒ ගැන හොයලා බලමු. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා, ඒ ගැන අලුත ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුළදී දැනුම් දෙනවා කියලා මම කියන්න කැමතියි.

 

මම යෝජනා කරන්නේ මහනුවර මන්ත්‍රීතුමන්ලා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතවරු සියලුදෙනා ප්‍රාදේශීය සභාවට ගිහින් කතා කරන්න. මේ පණිවිඩය දෙන්න, රටට කියන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕන කියලා විශාල බලවේගයක් අපි හදමු. ඒක කරන්න ලේසිනේ, අපි නිහඩ වෙලා හිටියා දැන් ඇති.

දැන් කතාකරන්න පටන් ගන්න. රටේ ප්‍රශ්න ජනතාවට කියමු, මේකයි තියෙන  ප්‍රශ්නේ. අපි මේ ක්‍රියා කරන්නේ මේ ප්‍රශ්න විසදලා දෙන්න. තෙල් පෝලිම් නැති කරන්න. පොහොර ලබා දෙන්න, ගමේ තියෙන ප්‍රශ්න අපිට කියන්න.

ඒ නිසා විශේෂයෙන් මහනුවර ඉන්න මේ මන්ත්‍රීතුමන්ලාගෙන් ඒ ඉල්ලීම මම කරනවා. මේක මේ පක්ෂ දෙකකට සීමා කරන්න එපා. ඕන කෙනෙක්ට එන්න දෙන්න. ඒ බලවේගය වැඩි කරගන්න. එතකොට වඩා බලවත් හඩක් මෙතනට එනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ හඩ එනවා. තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න, තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට හොඳ අනාගතයක් ගොඩනගන්න කණ්ඩායමක් විදියට මේ පොදු පණිවිඩය දිලා අපි  ක්‍රියාත්මක කරමු කියලා මම කියනවා”


''අපි පක්ෂ පාට භේදයක් බලන්නේ නැතුව සියලුදෙනාම එක් වෙන්න ඕන'' - එජාප නියෝජ්‍ය නායක

cf3a48b4 a6f2 4c79 978c 459f704adfef

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන

 

මෙහිදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මෙසේ සඳහන් කළේය.

''අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. ආර්ථික අර්බුදයේ නරකම කාලය තමයි දැන් අපි විඳින්නේ. මේ ආර්ථික අර්බුදයෙන් අපි එළියට එන්න නම් මේ රට ඉදිරියට යන්න නම් අපි පක්ෂ පාට භේදයක් බලන්නේ නැතුව සියලුදෙනාම එක් වෙන්න ඕන.  

පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවානම් මේ රටට අනාගතයක් නෑ. ආර්ථික අර්බුදයෙන් අපිට එළියට යන්න බෑ. මේ රට ගොඩගන්න අපි සියලුදෙනා අපේ පක්ෂ දේශාපලනය පැත්තක තියලා පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන සියලු දෙනා, පළාත් පාලන නියෝජිතයෝ සියලුදෙනාම එකතු වෙන්න ඕන.

පක්ෂ දේශපාලනය පමණක් නෙවෙයි පසුගිය කාලයේ අපි රටක් හැටියටත් බෙදිලා හිටියේ. ආගම් වශයෙන් ජාති වශයෙන් බෙදිලා හිටියා. එවැනි භේද බින්න තියාගෙන අපිට ඉදිරියට යන්න අවස්ථාවක් නෑ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙන්න ඕන. එයින් පමණයි අපිට ‍මේ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ.

 

අරගලය සමග සම්බන්ධ වෙලා හිටපු තරුණ තරුණියන්ගේ සමහරක් අයගේ හොඳ අදහස් තියෙනවා මේ රට කොහොමද වෙනස් කරන්න ඕනෑ කියලා. අරගලයත් සමග සම්බන්ධ වුණා විවිධ දේශපාලනය කරන පිරිස්. ඒ පිරිස් රට තුළ අස්ථාවර බවක් ඇති කරන්නට වැඩ කටයුතු කළා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන්ගේ නිවාස ගණනාවක් ගිනිබත් කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසත් ගිනිබත් කළා. ඒ‍ගොල්ලන්ගේ අදහස රට අස්ථාවර කර මේ රටේ නායකත්වය ගන්න. අස්ථාවරභාවයක් මේ රට තුළ තියෙනවානම් එයාලටවත් මේ රට මේ ආර්ථික අර්බු‍දයෙන් ගොඩගන්න බෑ.

මේ ර‍ට තුළ ස්ථාවරභාවයක් තියෙන්නේ ඕනෑ ආර්ථිකය හදන්න. IMF සමග ඉදිරියට යන්න නම් මේ රටේ ස්ථාවරභාවයක් තියෙන්න ඕනෑ. දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්න ඕනෑ. එවිටයි අපිට ආර්ථික ස්ථාවරභාවයකට යන්න පුළුවන් වෙන්නේ. ''


''වෛරයෙන් කටයුතු කරපු සියලුදෙනා අද එක වේදිකාවට ඇවිල්ලා' - එජාප මහ ලේකම්

 

3a355c35 9cd9 4c93 a5a8 8c44c4d164ee

එජාප මහ ලේකම් පාලිත රංගේ බංඩාර

 

රැස්වීම ඇමතු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මෙසේ සඳහන් කළේය.


''වෛරී දේශපාලනයෙන් දෙකට බෙදිලා රණ්ඩු කරමින්, ගෙවල් ගිනිබත් කරමින් පහරදී දේපළ විනාශ කරමින් ජීවිත හානි කරමින්, දේශපාලනයේ යෙදුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂය මේ සියලු දෙනා. ඒ වෛරයෙන් කටයුතු කරපු සියලුදෙනා අද එක වේදිකාවට ඇවිල්ලා. වෛරය නතර කරමින්, අනාගත සුබසිද්ධිය වෙනුවෙන් එකට එකතු වෙලා වැඩකරන දිනයක් විදියට තමයි අද ජූලි මාසේ 30 වෙනිදා මම දකින්නේ.

මේක තුළ අපි දවසින් දවස වැටුණා. අපේ ජීවිත නැති වුණා. අපේ දේපළ නැතිවුණා. අපි වෛරයෙන් ජීවත් වෙන පුද්ගලයින් බවට පරිවර්තනය වුණා.

ඒ පරිවර්තනය නැවත පරිවර්තනය කරමින් අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කෙරෙහි කලින් විශ්වාසයක් නොතිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගරු මන්ත්‍රීතුමන්ලා, තුමියන්ලා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන 134 දෙනා එකට එකතු වෙලා රට ගොඩගන්න මේ වැටිලා තියෙන ආර්ථිකයට මුහුණ දෙන්න ආර්ථිකය ගොඩනගන්න, ඖෂධ, ඉන්ධන, ගෑස් හිඟය තුරන් කරන්න අධ්‍යාපනය නැවත යථාවත් කරන්න, මේ සියලු වගකීම් දරන්න පුළුවන් ජාතික සහ ජාත්‍යන්තර නායක‍ත්වයක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියන බව තේරුම් අරගෙන සියලු දෙනා එකතු වෙලා, රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කරගැනීමට කටයුතු කළා.

 

රනිල් වික්‍රමසිංහ කියන්නේ විශ්වාසකයින් අතර විශ්වාසවන්තයෙක්. කවදාවත් වාසිය වෙනුවෙන් බොරු නොකියෙන මිනිහෙක්. කොපමණ අලාභ සිදුවුණත් බලය ගිලිහී ගියත් බලය රැකගැනීමටවත්, බලය ලබාගැනීමටවත් චංචා කරන රැවටිලිවන්තයෙක් නොවෙයි. ඔබ සියලුදෙනා ඒ විශ්වාසය තියාගන්න. ඔබ තබාගත්ත විශ්වාසයත් එක්ක ඉදිරියට යන්න මේ රටේ දැවෙන ප්‍රශ්නවලින් මේ පීඩනයෙන් මිනිසුන් මුදාගමු.

 

b02141be 3bb1 40a8 b51a 11b8c7d99daa


''පාර්ලිමේන්තුවේ ශක්තිය දෙනවා වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ හැටියට මෙතන ඉන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු, පළාත් පාලන ආයතන නියෝජිතවරු, නගරාධිපතිතුමා  ඇතුළු අපි සියලු දෙනාගේම ශක්තිය ඔබතුමාට ලබාදීමට  සූදානම්..'' - පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ



පොහොට්ටු පක්ෂයේ මහනුවර දිස්ත්‍රීක් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ රැස්වීම අමතමින් මෙසේ පැවසිය.

''අපි පසුගිය මාස දෙක තුනක කාලයක් තුළ මේ රටේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් කඩාවැටීමක් දැක්කා. මේ රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය අභිබවා මේ රට කොහාටද ගමන් කළේ කියලා අපි දැක්කා. හැමෝටම ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනෑ.

ජනාධිපතිතුමනි, ඒනිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 තීරණය කළා මේ අභියෝගය ඔබතුමාට භාර දෙන්න. පාර්ලිමේන්තුවේ 225න් 127 ක බහුතරයක් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට. ඒ අනුව  ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ අපි තීරණය කළා ඔබතුමාට තමයි මේ වෙලාවේ, මේ අභියෝගය භාර ගන්න පුළුවන් කියලා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න, මේ වගකීම බාරගන්න පුළුවන් නායකයා ඔබතුමා කියලා ශ්‍රී ලංකා පොදුජන ඵක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවේ තීන්දු කළා ඔබතුමාට සහයෝගය දෙන්න.''

 

c607278b 98d0 4b18 9e6e 9e747b2a5e49

එක්සත් ලක් වනිතා පෙරමුණේ  සභාපතිනි, ශාන්තිනී කෝන්ගහගේ

 

රැස්වීම ඇමතු එක්සත් ලක් වනිතා පෙරමුණේ  සභාපතිනි, ශාන්තිනී කෝන්ගහගේ මෙසේ සඳහන් කළාය.

''අපි අපේ රටේ විවිධ වූ අවස්ථාවල දී මේ රට ගිනි ගන්නා ආකාරය පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා. හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල මේ රට ගිනිබත් වූ ආකාරය අපි දැකලා තියෙනවා. අපි කදුළු හලලා තියෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා මේ වගකීම භාර අරගෙන තියෙන්න මේ ගිනි දැවෙමින් තිබිච්ච රටක් කියන එක මං සිහිපත් කරනවා.

අරගලයට නායකත්වය දීපු තරුණ කණ්ඩායම්වලට හැකියාව දක්ෂතාවය ඇති තරුණ තරුණියන්ට මේ රටේ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් බිහි වෙලා ඉන්නවා. සාකච්ඡා කොට ප්‍රශ්න විසඳගන්න. මේ අරගලය සොරකම් කර ගන්න දෙන්න එපා. එතුමා දිගින් දිගටම තරුණයන්ට ආරාධනා කළා සාකච්ඡාවට එන්න කියලා.  ඒනිසා තරුණයන්ගේ මුවාවෙන් තරුණ අරගලය සොරකම් කරන්න ඇතැමුන් බලයි. එයට ඉඩ දෙන්න එපා.මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තරුණ තරුණියන් ආරක්ෂා කරගන්න.

අපි රට ගැන කතා කරන කොට ඔබතුමා නායකයෙක් හැටියට ආසියාව ගැන කතා කළේ. අපි ආසියාව ගැන කතා කරනකොට ඔබතුමා කතා කළේ ලෝකය ගැන. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෝකයේම  බිහිවෙලා නැතුව ඇති. ‍ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන මෙරටේ සියලු පක්ෂවල පිරිස් ඔබතුමා සමග ඉන්න බව අපි විශ්වාස කරනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, වසන්ත යාපා බණ්ඩාර, උදේන කිරිදිගොඩ, මහනුවර නගරාධිපති කේෂර සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1b1a4aba b858 410b 9794 5750e78c4866

7df6cf17 3b64 47ac 9271 8c0e69cee9b2 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්