ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් QR කේතයට අනුව පමණක් ඉන්ධන ලබාදීම දිවයින පුරා අද සිට ක්‍රියාත්මක වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමණාකාරිත්වයෙන් ඉල්ලා සිටියේ QR ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසයි.
QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේදී වාහන අංකයද පරීක්ෂාවට ලක් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
QR ක්‍රමවේදයට පරිභාහිරව කිසියම් පිරවුම්හලකින් ඉන්ධන ලීටරයක් හෝ නිකුත් කළ හොත් ඒ බව පිරවුම්හල් හිමිකරුට මෙන්ම ඛණිජතෙල් සංස්ථාවට ද නිරීක්ෂණය කළ හැකිය.
අදින් පසුව මෙම ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.
විශේෂ දුරකථන අංකයක් - 074 2123 123
QR ක්‍රමවේදයට පරිබාහිරව පිරවුම්හල්වලින් අද සිට ඉන්ධන නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.
ඒ අනුව QR ක්‍රමවේදයට බැහැරව ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පැහැදිළි ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් 074 - 2123 123 අංකයට වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර ලෙස බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය වෙනත් උපකරණ භාවිත කරන පුද්ගලයින්ට ලියාපදිංචි වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳූන්වාදී ඇත.
ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල යන කරුණු ඇතුළත් කර අදාළ ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මාර්ග බලපත්‍ර සහිත පෞද්ගලික බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් කෝටාවක් යටතේ ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව අදාළ බස් රථ ධාවනය කෙරෙන දුර අනුව මෙම ඉන්ධන ලබාදීමේ කෝටාව ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා භාවිත වන රථවාහනවලට ඉන්ධන ලබාදීමද ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් සිදුකරනු ලබයි.
එමෙන්ම ගිලන්රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යංශය සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා සිටියි.
අතිරේක ඉන්ධන ගන්නත් විශේෂ අවසරයක් ලබාදීමට අවධානය:
මේ අතර කිසියම් පුද්ගලයෙකුට QR ක්‍රමයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නම් එලෙස අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලබාදීමට ද බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට සිය වාහනයෙන් දුරබැහැර ප්‍රදේශයකට යාමට අවශ්‍ය නම් අදාළ පුද්ගලයා ගමන් කරන ප්‍රදේශය කෙටි පණිවිඩයක් මගින් යොමු කිරීම අවශ්‍ය වේ. අදාළ ස්ථානයට ගොස් ආපසු පැමිණීමට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට වඩා අවශ්‍ය වේ නම් අදාළ ගමනාන්තයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඔහුට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට මේවනවිට සැලසුම් කර තිබේ.
ඒ අනුව QR ක්‍රමවේදය යටතේ සතියකට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය අදාළ වාහනයට ලබාදී තිබුණ ද, එලෙස නම් කරන ලද පිරවුම්හලකින් අවශ්‍යතාවය සඳහා අතිරේක ඉන්ධන තොග ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ අතර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභපති මේජර් ජෙනරාල් ආර් එම් ඩබ්ලිව් සොයිසා අද එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන එම ධුරයේ වැඩබැලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් පත් කරනු ඇති බව වාර්තා වේ.
කේතය දිගේ ලක්ෂ 50ක් ඇවිත්
ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ (31) රාත්‍රී වන විට වාහන ලක්ෂ 50 ක් ලියාපදිංචි වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 1,140 ක් කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කිරීමට අනුගත වී සිටි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
එම ඉන්ධන පිරවුම්හල් 1,140 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 964 ක් සහ අයි.ඕසී. පිරවුම්හල් 176 ක් ඇතුළත් බවත් එම ඉන්ධන පිරවුම්හල් හරහා ඊයේ දිනයේ ඉන්ධන ලීටර් මිලියන 10 ක් ලබාදුන් බවත් බලශක්ති අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.
ලියාපදිංචි වී ඇති වාහන ලක්ෂ 50 ට යතුරුපැදි 2,891,260 ක්, ත්‍රිරෝද රථ 876,158 ක් සහ කාර් රථ 651,314 ක් ඇතුළත් බව ද එම දත්ත පෙන්වා දෙයි.