රට තුළ මතුව ඇති වත්මන් දේශපාලනික අවිනිශ්චිතතාව මධ්‍යයේ ගිනි අවි භීෂණය ද හිස ඔසවමින් තිබේ.



ජූලි 26 සිට ඊයේ (අගෝස්තු 01 වැනිදා) දක්වා කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙකු වෙඩිතැබීම් වලින් මිය යෑම මෙම ගිනිඅවි භීෂණයේ දරුණුකම මනාව කියා පන්නකි.

පොලිසිය පවසන්නේ, වෙඩි තැබීමේ සිද්ධිවල පැහැදිලි වැඩි වීමක් ඇති බවයි.

පොලිසියේ දත්තවලට අනුව මැයි 30 සිට මේ දක්වා වාර්තා වන වෙඩි තැබීමේ සිද්ධි සංඛ්‍යාව 17කි.

වෙඩි තැබීමේ සිද්ධි පිළිබඳ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ යතුරු පැදිවලින් මුහුණු ආවරණය කර ගෙන පැමිණෙන තුවක්කුකරුවන් බියකින්, සැකයකින් තොරව සාහසික ලෙස සිය ඉලක්ක ගොදුරුකර ගන්නා ආකාරයයි.

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කල්ලි අතර ආරවුල් හේතුවෙන් සිදුවන ඇතැම් වෙඩි තැබීම් සහ මහමඟ යතුරු පැදිවලින් පැමිණෙන තුවක්කුකරුවන් T56 ගිනිඅවි අමොරාගෙන සිදුකරණ ඝාතන හේතුවෙන් කොලොම්බියාව හා මෙක්සිකෝව වැනි තත්ත්වයක ඇතැම් සේයාවන් මෙරටින් දක්නට ලැබෙන බව සමාජ විශ්ලේෂකයෝ පවසති.

 

මෙම වෙඩි තැබීම්වලින් මිය යන බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ප්‍රතිවිරුද්ධ අපරාධ කණ්ඩායම්වල සාමාජිකයින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නඩුවල අදාළ සාක්ෂිකරුවන් බවට පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සංවිධානාත්මක කණ්ඩායම් ඔවුන් ඔවුන් අතර හෝ විවිධ කණ්ඩායම් අතර විරසක වීම් හෝ ජාවාරමේ මුදල් හුවමාරුව සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න හෝ තොරතුරු පිටතට ලබා දීම පිළිබඳ ප්‍රශ්න මෙම ඝාතනවලට හේතුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

 

සමාජය තුළ මේ අවස්ථාවේ මතුව ඇති වාතාවරණය සංවිධානාත්මක අපරාධකරුවන් ප්‍රයෝජනයට ගනිමින් සිටින බවත් ඇතැම් ඝාතනවලට හේතුව ඉතා පැරණි සිද්ධි බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවට පොලීසිය පවසයි.

 

ආසන්නතම වෙඩි තැබීමේ සිද්ධි


# ජූලි 31 - ගාල්ල රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල.

# ජූලි 30 - කොළඹ වෙරළබඩ පොලිස්වසමේ විවේකානන්ද කන්ද පාරේ වෙඩි තැබීමකින් 51 හැවිරිදි පුද්ගලයෙකු මියයි.

# ජූලි 28 - රත්මලාන සිල්වා මාවතේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙකු මරුට.

# ජූලි 27 - ගම්පහ අධිකරණය අසළ වෙඩි තැබීමකින් සමන් රෝහිත පෙරේරා නොහොත් 'පස් පොඩ්ඩා' ඇතුලු දෙදෙනෙකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල.

# ජූලි 27 - අම්බලන්ගොඩ, ගලගොඩ වෙඩි තැබීමකින් වයස අවුරුදු 49 ක හා 44ක පුද්ගලයින් දෙදෙනෙකු මරුට.

# ජූලි 26 - අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි.


විදෙස්ගත පාතල ක්‍රියාකාරීන් අතර ගැටුම්:


ඉන්දියාවට පළාගොස් සිටින මෙරට පාතාල අපරාධකරුවන් දෙදෙනක් වන පූකුඩිකන්නා සහ කිඹුලා ඇල ගුණා අතර හටගෙන ඇති ගැටුමක් හේතුවෙන් කොටහේන විවේකානන්ද මාවතේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් පූකුඩිකන්නාගේ සමීපතයෙක් මිය ගොස් තිබේ.

ඉකුත් ජූනි 06 වෙනිදා කිඹුලා ඇලේ ගුණාගේ පාර්ශවයේ සාමාජිකයෙකුට මෝදරදී වෙඩි තබා ඝාතනයකර ඇති අතර ජූලි 12 වැනිදා අලුත් හෙට්ටිවීදියේ වෙඩි තැබීමකින් 29 හැවිරිදි පුද්ගලයෙකු ද තුවාල ලැබීය.

මේ අතර රත්ගම ගම්මැද්දේගොඩ පිහිටි නිවසකට ජූලි 31 දහවල් කඩා වැදුණු පුද්ගලයෙක් ටී 56 අවියකින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් බෝට්ටු හිමිකරුවෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබීය.

යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරු එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රත්ගම දේවිනීගොඩ පදිංචිකරුවෙකි. ඔහු වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව තිබුණේ මාළු දැල් අලුත්වැඩියා කරන පුද්ගලයෙකුගේ නිවසකදීය.

මෙයද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිද්ධියක් බවට පොලීසිය සැක කරයි.

සාමාජය තුළ ඇතිවී තිබෙන වාතාරණය හරහා සංවිධානාත්මක අපරාධකරුවන් ඉන් ප්‍රයෝජනයට ගැනීමට උත්සහ ගන්නා බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ මෙම ඝාතනවලට සම්බන්ධ සැකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනි අවි සොයා ගැනීමට ද හැකි වී ඇති බවයි.

 

සංවිධානත්මක අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ ක්‍රියාත්මකව ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. ඔහු කියා සිටියේ තත්ත්වය පාලනය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

 

විමර්ශන මන්දගාමී ද ?


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ඝාතන සිද්ධි පිළිබඳ පරීක්ෂණ නිවැරදිව සිදුවන වන බවයි.

"නමුත් ප්‍රායෝගිකව තේරුම් ගත යුතු කාරණයක් තමා රටේ මේවන තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මොකද පොලිස් නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් 1300කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය සඳහා යොදවා තිබෙනවා, ඒවායේ ගැටුම් පාලනය සඳහා වෙනම පොලිස් නිලධාරීන් යොදවන්න වෙලා තියෙනවා. ගෑස් බෙදා හරින ස්ථානවල සාමය පවත්වා ගැනීම සඳහා වෙනම නිලධාරීන් යොද වන්න වෙලා තියනෙවා."

"තැනින් තැන විරෝධතා පැවැත්වෙනවා. මෙම විරෝධතා අතර පොදු දේපළ තියෙනවා. පෞද්ගලික දේපල තියෙනවා. ඒවා ආරක්ෂා කරන්න අපිට විශාල නිලධාරීන් පිරිසක් යොදවන්න වෙලා තියෙනවා. යම් යම් ස්ථානවල ආරක්ෂාවට ස්ථිරව නිලධාරී කණ්ඩායම් යොදවන්න වෙලා තියෙනවා. මේ සියල්ලම ගත්තාම විශාල නිලධාරීන් සංඛ්‍යාවක් අමතරව යෙදාවන්න වෙලා තියෙනවා."

මෙම තත්ත්වය තුළ යම් ආකාරයකට පොලිසියය රාජකාරී කිරීමේදී නිලධාරීන් කළමනාකාරණය කිරීමේ ගැටලුවක් ඇති වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"පොලිසියට නොවේ, නීතියට තියෙන බිය, මඟ හැරුණොත් යම්කිසි පුද්ගලයින් පිරිසක් අතින් එහිදී අපරාධ වර්ධනයක් සිදුවෙන්න පුළුවන්." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"අපි මහජනතාවගෙන් හා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පරිභව කරන්න, පහර දෙන්න, අසභ්‍ය වචනයෙන් බැන වදින්න, ගැටුම් ඇතිකර ගන්න යන්න එපා. එහෙම වුණොත් සංවිධානාත්මක අපරාධකරුවෝ වැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාක්මක කිරීමේ අඩුවක් පවතින බවට." ඔහු පැවසීය.

"ඉදිරි කාලසීමාව තුළ තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. තත්ත්වය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.


නාඳුනන මළ සිරුරු

nanduana

කොළඹ - ගාලු මුවදොර වෙරළ තීරයෙන් වයස අවුරුදු 40ක පමණ පුද්ගලයකුගේ මළ සිරරක් ඊයේ (අගෝස්තු 01 වැනිදා ) උදෑසන සොයා ගැණින.
එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මළ සිරුර ජාතික රෝහලේ තැන්පත්කර ඇත.

පසුගිය ජූලි 29 වැනිදා ද 18 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයෙන් සොයා ගැණින.

ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ.

පසුගිය 26 වැනිදා ද තවත් පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගැණුනි.


සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට


රත්මලාන සිල්වා මාවත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යුවලක් පොලිස් අත්අඩංගුවට පත්විය.
ඒ, කටුනායක ගුවන්තොටපුලේදී ඩුබායි බලා පිටත්වයාමට පැමිණි අවස්ථාවේදී ය.

ජූලි (30) රාත්‍රියේ එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 31 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 19 හැවිරිදි කාන්තාවකි.

සැකකරුවන් පසුගිය 27 වැනිදා රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය පැවසීය.

ඩුබායිහි රැදී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයකට මෙම සැකකාර යුවල සම්බන්ධ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර, පසුගිය ජුනි 06 වැනිදා මෝදර පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය ජුනි 06 වැනිදා සවස ස්වයංක්‍රීය ගිනි අවියකින් මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ ස්ටීවන් විනෝදන් යන ප්‍රද්ගලයා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කිඹුලාඇල, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් පදිංචි වයස අවුරුදු 25, 29, 37 පසුවන පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


පොලිසිය අපරාධකරුවන් පසෙක තබා අරගලකරුවන් පසුපසද?

 

"සාමකාමී විරෝධතාවන්ට මහජනතාවට අයිතියක් තියෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. නීති විරෝධීව, ප්‍රචණ්ඩකාරීව, කළහකාරීව හැසිරෙනවා නම් ඒකත් අපරාධයක්. එයත් දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන අපරාධයක්. වෙඩි තැබීම්, සහ මනුෂ්‍ය ඝාතන කියන්නෙත් අපරාධයක්. මේ අපරාධ සියල්ලම දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන අපරාධ. එය වෙන් කරලා දක්වන්න බැහැ පොලිස් නිලධාරියාට." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

 

ඔහු වැඩිදුරත් කියා සිටියේ "දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අපරාධයක් වෙලා තිතියෙනවා නම්, යම්කිසි ආකාරයකට, යම් කිසි ස්ථානයක, එය විරෝධතාකරුවන් සිදුකළ අපරාධයක්ද, සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ අපරාධයක්ද, සාමාන්‍ය ජනතාව විසින් කළ අපාධයක්ද, වෙනත් පුද්ගලයින් සිදුකළ අපරාධයක් ද යන්න කියන කාරණය වැදගත් වෙන්නේ නැහැ, අපරාධය හැඳින්වෙන්නේ අපරාධයක් ලෙසමයි. ඒ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වෙනවා. ඒ චෝදනාව පිළිගන්නේ නැහැ."

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිසිය අතිරේක රාජකාරීවල යෙදවීමට සිදුව ඇති බවයි. මේ හේතුවෙන් දෛනිකව කරන රාජකාරීවලට යම්කිසි බලපෑමක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.


අද බ්‍රව්නින් පිස්තෝලයක් රුපියල් 52,500කට පිටකොටුවෙන් මිලදීගන්න පුළුවන්


නීතිඥ ප්‍රතිභා මහානාමහේවා බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ රටේ පවතින තත්ත්වය හමුවේ පොලීසිය හා හමුදාවට ඉන්ධන හල් හා රජයේ මෙන්ම පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට යොදවා ඇති මොහොතක හා රටේ විශාල වශයෙන් ගණන් නොගැනුණු නීති විරෝධී අවි ආයුධ බහුලව සංසරණය වන විට මෙවැනි දෑ අත්විඳීමට සිදුවන බවයි.

"මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළමුවන දෙය තමයි ලංකාවේ පාතාල කල්ලි හෝ නීතිවිරෝධී කණ්ඩායම් අතරට ගිය නීතිවිරෝධී අවි ආයුධ පිළිබඳව සංගණනයක් වෙලා නෑ. මේක පටන්ගන්නේ 1988/89 කාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවන කාලයේ, දේශපාලකයින්ට ලියාපදිංචි නොකර අවි ආයුධ විශාල ප්‍රමාණයක් දුන්නා. ඒ අයෙගේ පවුල්වල අයව ඝාතනය වෙනකොට."

"එතනින් තමයි පටන් ගන්නේ, ඒ කාලේ හිටියා පැරා මිලිටරි කියලා, ප්‍රා, කළු වලස්සු, කහ බළල්ලු වැනි විශාල ප්‍රමාණයක් එවක මර්දනයට මුහුණ දෙන්න. ඒ අය සතුව තිබූ අවි ආයුධ සංගණනය කළේ නෑ, ඒවා නැවත භාර දුන්නෙත් නෑ."

"දෙක, LTTE ත්‍රස්තවාදී සමයේ අවසාන කාලය තුළ LTTE එකට විශාල වශයෙන් මිනිස් බලය තිබුනේ නැති උනාට විශාල වශයෙන් ඒ.කේ 47 වගේ අවි ආයුධ තිබුනා. ඒවා ඒ අය විකුණුවා. ඒවා දකුණට එහෙම ආවා. අනිත් එක නීති විරෝධී අවිආයුධ එනවා හාලාවත හරහා බෝට්ටුවලින් එනවා. එහෙම ආපු අවස්ථා වල නේවී එක අත්අඩංගුවට ගත්ත අවස්ථාත් තියෙනවා. ඒ එක්කම LTTE එක ඒ අයගේ අවි ආයුධ පොලිතින් වල දාලා වළදාලා තියෙනවා."

"අද බ්‍රව්නින් පිස්තෝලයක් රුපියල් 52,500කට ඕපන් මාර්කට් පිටකොටුවෙන් මිලදීගන්න පුළුවන්. පොලිසිය හා හමුදාව වෙන කාර්යයක් නැතිව රටේ අපරාධ මර්දනය කරන්න ක්‍රියාකළ කාලේදී මේවා මර්දනය වෙලා තිබුනා. ඊට පස්සේ ඇතිවුන තත්ත්වය තමයි මේ දේශපාලන විපර්යාසයත් එක්කම මැතිවරණ කාලයේ මේ පාතාල කල්ලි ලංකාවට ආවා. ඒ අය දේශපාලකයින්ට මුවා වෙලා ඒ අයගේ ක්‍රියා කළා."

 

"දැන් තියෙන තත්ත්වය තමයි ආරක්ෂක හමුදාවන් පෙට්‍රල් ෂෙඩ් හා නිවාස, ගිනිගත් අයගේ දේපළවලට ආරක්ෂාව දෙන්න වෙලා තියෙනවා. ඒත් එක්කම කොවිඩ් කාලයේ විශාල වශයෙන් ඇප දෙන්න පටන්ගත්තා බන්ධනාගාර වල තදබදය නැති කරන්න. එතකොට මේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ විශාල පිරිසක් ඇප මත මුදාහැරුනා. එය හරි. ඒත් මේ අයව මොනිටර් කළේ නෑ."

 

"දැන් වෙලා තියෙන දේ තමයිදේශපාලකයෝ මේ අයට රැකවරණය දෙනවා. අනිත් පැත්තෙන් මත් ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙලා තියෙනවා. මේ අය ඒවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා බරපතල ගණයේ අපරාධවල වැඩිවීමක් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පුළුවන් අනවසර අවි ආයුධ එකතු කිරීම හෝ ක්‍රමවේදයක් සහිතව කොහෙද නිකුත්වෙලා තියෙන්නේ කියලා හොයන්න."


(BBC සිංහල සේවය)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්