සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත්

විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගොස්තු 03) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

"මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවාලන්න උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා." ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා. නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීති විරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා." ඔහු පැවසීය.



"නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි." ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අද අවධාරණය කළේය.



"මැයි 09 වැනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙනුත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා."

මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට තමා වග බලා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


විරෝධතාකරුවන් මර්දනය ගැන 'හියුමන් රයිට් වොච්' දැඩි අවධානය

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් අද ප්‍රකාශ කළේය.

2022 ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, විරෝධතාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇතැයි එම සංවිධානය පවසයි.

හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් කොළඹ නගරයේ ඔවුන්ගේ අරගල භූමිය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි. පොලිසිය පසුව විරෝධතා නායකයින් ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම කර ඇති බවයි.

jhsf

"සාමකාමී විරෝධතාවන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මර්දනය කිරීම, රටේ හදිසි ආර්ථික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි සහ නීති විරෝධී උත්සාහයක් බව පෙනේ" යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසීය.

"ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතුය." ඇය අවධාරණය කළාය.

ජුලි 22 අලුයම ආරක්ෂක අංශ කොළඹ ප්‍රධාන ජනතා අරගල භූමියට කඩා වැදීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.


වැටලීමේදී Xposure News හි මාධ්‍යවේදීන් තිදෙනෙකු වන චතුරංග ප්‍රදීප් කුමාර, රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් සහ අවම වශයෙන් තවත් එක් මාධ්‍යවේදියෙකු වන BBC හි ජරීන් සැමුවෙල්ට ආරක්ෂක හමුදා පහර දුන් බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.


බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු කිතුනු පූජකවරු පිරිසක් විරෝධතාවලට එක්ව සිටියහ. එම විරෝධතාවයේ ප්‍රමුඛයෙකු වූ කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු තවත් කිහිප දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 25 වැනි දින විදෙස් ගමන් තහනමක් පැනවූ බව මාධ්‍ය වාර්තා කළේය.

දින දෙකකට පසු පොලිසිය පීරිස් පියතුමාගේ දේවස්ථානයට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝගක් ඇති බව ප්‍රකාශකර ඇති බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.

ජුලි 26 වෙනිදා බලධාරීන් විසින් තවත් ප්‍රමුඛ පෙළේ විරෝධතාකරුවෙකු වූ ධනිෂ් අලි කොළඹින් පිටත් වීමට සූදානම් වූ ජාත්‍යන්තර ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් බවත් හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.


හදිසි නීති විධිවිධාන වහාම අවලංගු කළ යුතුයි

ජනාධිපති වික්‍රමසිංහ ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය යටතේ පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ගෙන ඒමට පෙර රඳවා තබා ගත හැකි කාලය පැය 24 සිට 72 දක්වා වැඩි කර තිබේ.

බලධාරීන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ අතිරේක බලතල ලබා දී ඇති අතර, මිනිසුන් රඳවා තබා ගැනීම හෙළි නොකර දිනක් දක්වා රඳවා තබා ගැනීමට මේ අනුව හමුදාවට බලය ලැබේ.

මෙම විධිවිධාන වධහිංසා පැමිණවීමේ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අවදානම වැඩි කරන බව හියුමන් රයිට් වොච් සංවිධානය අවධාරණය කළේය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ, හදිසි අවස්ථාවකදී ඇතුළුව, වධහිංසාවට එරෙහි ආරක්ෂාව, අධික ලෙස බලය යෙදවීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් කිසිවිටෙක උල්ලංඝණය නොකළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි හදිසි නීතියේ විධිවිධාන වහාම අවලංගු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ හදිසි නීතිය මඟින් ජනාධිපතිවරයාට සහ පොලිසියට මහජන රැස්වීම් තහනම් කිරීමට පුළුල් බලතල ලබා දෙන බවයි.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය