ගෝල්ෆේස් අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධායකයින් මෙවනවිට කටයුතු කරමින් සිටියි.
'ගෝඨාගෝගම' ජනතා පුස්තකාල කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව දැනුම් දී සිටියි.
මෙතැන් සිට 'ගෝඨාගෝගම' ජනතා පුස්තකාලය 'අරගලයේ ජනතා පුස්තකාලය' ලෙස නම් වනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් 'ගෝඨාගෝගම' ජනතා පුස්තකාල කණ්ඩායමේ නීල නුවන් මුණසිංහ ලියු සටහනක මෙසේ සඳහන් වේ.
"අරගලය කියන්නෙ ගාලුමුවදොර නෙවෙයි" ... මේක පුස්තකාල කණ්ඩායම විදිහට අපි අප්‍රේල් 11 වන දින පටන් දිගටම යොදාගත් වැකියක්.
ඒ කියපු වචනවලට පහුගිය දින 117 ක කාලය තුල යම් අයුරකින් සාධාරණයක් ඉටු කරන්නට ඇති කියලා අපි හිතනවා.
අරගලය බාහිරින් සමාජය පරිවර්තනය කරන්නේ කෙසේද, එසේම අපව අභ්‍යන්තරයෙනුත් පරිවර්තනය කරනවා.
සිව්මසකට කලින් අරගලයට පැමිණි මම නෙවෙයි දැන් ඉන්නේ. ඒ කාලය අතරතුර අරගල භූමිය යනු මට විශ්ව විද්‍යාලයක් තරම් දැනුම් සාගරයක්. එහි සිදුවු සංවාද, විවාද, විවේචන, චෝදනා තුලින් ඉගෙන ගත් දේ අපමණයි.
ඇතැම් තීන්දු තීරණ ජීවිතය ගැන පවා දෙවරක් නොසිතා ගත් තීන්දු තීරණ ගනයට වැටෙනවා.
පුස්තකාල කණ්ඩායම ලෙස වීරකැටිය, අන්දරවැව, සූරියවැව ඇතුලු දකුණත්, යාපනය, කිලිනොච්චිය, ස්කන්ධපුරම් ඇතුලු උතුරත් යා කරන්නට හැකි වීම අමතක නොවන මතකයන්. ඒ සියළු මතකයන්, හමුවු සුන්දර මිනිසුන්, ගැහැණුන් පිළිබඳව මතකයන්, සංවාද විසංවාද පිළිබඳ මතකයන් දරාගෙන ගාලුමුවදොර අරගල භූමියට භෞතිකව සමුදීමට කාලය පැමිණ තිබෙනවා.
සිදුකරගෙන ආ සියළු ක්‍රියාන්විත තවදුරටත් ක්‍රියාත්මකයි. බිම්කඩක පරිඡ්ඡේදය අවසන් වුවත්.. අරගලය තවමත් ක්‍රියාත්මකයි. අප ඒ ක්‍රියාත්මක අරගලයේ පාර්ශවකරුවන්.
පුස්තකාලයේ ගාලුමුවදොර මෙහෙයුම් අහවර කිරීමත් එක්ක පෞද්ගලිකව අරගල භූමිය තුල මම සම්බන්ධ වු, වැඩිම දායකත්වය දැක්වු අවසන් කණ්ඩායමේ නික්මීම සටහන් වෙනවා.
ඒ හැම කණ්ඩායමක්ම දේශපාලන පක්ෂවලට සම්බන්ධයක් නොමැති සිවිල් පුරවැසි කණ්ඩායම්.
ඒ අතරිනුත් පුස්තකාල කණ්ඩායම අතර තිබු අනෝන්‍යය අවබෝධය සහ ගරුත්වය, අරමුණක් වෙනුවෙන් ඒකාත්මීකව ක්‍රියාත්මක වීම සහ කාර්යක්ෂම බව මන් හිතන්නෙ ජීවිත කාලයටම සංවිධිත ආයතනයකින්වත් බලාපොරොත්තු වීමට නොහැකි කාරණාවන්.
ගාලුමුවදොරට මම ආවේ කිසිඳු පක්ෂයකට ගැති නොවන, මගේ අයිතීන්, මගේ සහෝදර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ අවදි කරන්නෙකු ලෙස. මම ගාලුමුවදොර භූමියෙන් ඉවත් වෙන්නෙත් එලෙසමයි.
අරගලයට ජය !
නීල නුවන් මුණ්සිංහ
https://theleader.lk/news/12816-2022-08-05-06-38-41#sigProId641aa3a667
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.