'සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව' සිය ගාලුමුවදොර මෙහෙයුම් අවසන් කිරීමට තීන්දු කර ඇත.



එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව දැනුම්දී සිටියි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස තම සංවිධානය අද (05දා) ගාලුමුවදොර අරගල භූමියේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කල ද තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බව තරයේ විශ්වාස කරන බවත් සිය නිවේදනය මගින් කියා සිටියි.


එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

2022 අප්‍රේල් 09 වැනිදා එක් අරමුණක් වෙනුවෙන් කොළඹ ගාලුමුවදොරට පැමිණි අතිවිශාල ජනතාවකගෙන් ඇරඹි ගෝල්ෆේස් අරගල භූමියේ සිටි කණ්ඩායම් අතර 'සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව' ලෙස අපි ස්ථානගත වීමු.

ගාලුමුවදොර උද්ඝෝෂණ ස්ථානය මූලික කොටගනිමින් බිහිවුණු 'ගෝඨාගෝගම'ට සමගාමීව එහි ස්ථාපිත කෙරුණු මුල්ම කණ්ඩායම් අතරින් එකක් ලෙස අප එකමුතුව එදා සිට මේ මොහොත දක්වාම 'අරගලයේ සමාජ මාධ්‍ය භූමිකාව'ට වඩා ප්‍රශස්ත හා සාධනීය කාර්යභාරයක් ඉටු කළ බව අපි විශ්වාස කරමු.

 

වි⁣ශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සහ එහි හිතෛෂී බලවේග ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් අරගලයට විරුද්ධව, අරගලය දියාරු කරවන සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන විට, ඒ සියල්ල යටපත් කරවමින් අරගලයේ සැබෑ තතු සහ තත්ත්වයන් සමාජ මාධ්‍ය අවකාශ තුළ තහවුරු කරන්නටත්, අරග⁣ලයේ නිශ්චිත තත්ත්වයන් සමාජ මාධ්‍ය තුළ සටහන් කරන්නටත් අප එකමුතුව දිවා රෑ නොබලා එකා සේ වෙහෙසී කටයුතු කිරීම සතුටට කරුණකි.

 

එමෙන්ම මැයි 09වැනිදා ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂී සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත්, ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් අප සාමාජිකයන් සිය සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීය ය.

තවද අප සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළ ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බවද සිහිපත් කළ යුතුය.

එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටතද, විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටු කළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූහ.

 

කෙසේ වුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස අපි අද (05දා) ගාලුමුවදොර අරගල භූමියේ අපගේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තෙමු. එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු.

 

එහෙයින් මේ දක්වා සිදු කරගෙන ආ පරිදිම ඉදිරියටත් එකමුතුවක් සහ කණ්ඩායමක් ව⁣ශයෙන් ⁣අප පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බවද මෙයින් දැනුම් දෙමු.

අවසාන වශයෙන් ගෝල්ෆේස් අරගලයේ ආරම්භක මොහොතේ පටන් මේ දක්වා අප පිළිබඳ ඔබ තැබූ අචල විශ්වාසයට අපගේ ගෞරවනීය ආචාරය පිරිනමමු.

ඉදිරියටද සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ රටේ පුරවැසියන් ලෙස අප සමග එක්ව මේ පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා එක්ව කටයුතු කරන්නැයිද හෘදයාංගමව ඉල්ලා සිටිමු.

(සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව)


IMG 9589

IMG 9590

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්