theleaderlk 01

හෙට (අගෝස්තු 10 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

ඒ සියයට 264ත් සියයට 75ත් අතර වූ අගයකිනි.

ඒ අනුව සාමාන්‍යයක් ලෙස විදුලි ගාස්තු මිල 75% කින් ඉහළ දමා ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවකදී අද (අගෝස්තු 09) මේ බව නිවේදනය කළේය.


භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව විදුලි බිල වැඩිවන ආකාරය


# ඒකක 30 ට අඩු: 264% කින්

# ඒකක 31-60: 200% කින්

# ඒකක 61-90 : 125% කින්

# ඒකක 91-120: 89% කින්

# ඒකක 121-180: 79% කින් වශයෙනි.



විදුලිබල සේවක බෝනස් අත්හිටුවීමට උපදෙස් !

මේ අතර මුල්‍ය ස්ථාවරත්වයක් සැකසෙන තෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම අත්හිටුවීමට ද උපදෙස් දුන් බව ද ඔහු කියා සිටියේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් එකතු වනු ඇත.

ඒකක 30ත් 60ත් අතර 200%කින් සහ 60ත් 90ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයින් සඳහා සියයට 125කින් ගාස්තු ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව, ඒකක 31ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ සහ ඒකක 90ත් 120ත් අතර රුපියල් 2,900ක් අගයකින් ද විදුලි බිල ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

229%කින් විදුලි ගාස්තු ඉහල දැමීමට ලංවිම කළ යෝජනාව ඉවත දැමූ බවත් ගාස්තු ඉහල දැමීමේ සමස්ත බලපෑම 75%කට සීමා කළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු පැවසුවේ මසකට එක්ක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයින් ලක්ෂ 48ක් සිටින බවත්, ගෘහස්ත අංශයේ ඒකක 120 දක්වා පාරිබෝජන්ය කරන පාරිබෝගිකයින්ට සහනාධාර හිමිවනු ඇති බවයි.

සභාපතිවරයා පැවසුවේ ඒකකයක පිරිවැය රුපියල් 32ක් වුවත් ඒකක 30 අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 8 කුත් ඒකක 31ත් 60 ත් අතර ඒකකයකට රුපියල් 12කුත්, ඒකක 61-90 පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 16කුත් ඒකක 91-120 අතර භාවිතාකරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 30ක් වශයෙන් සහන පදනමක් මත අය කිරීම් කරන බවයි.

සංචාරක ක්ෂේත්‍රය සඳහා මිල වැඩිවීමෙන් 50%ක් ක්‍රියාවට නැංවීම මාස 3කට පසුව කරන බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

ඩොලර් මඟින් බිල්පත් ගෙවීමේදී 1.5%ක වට්ටමක් හිමි වනු ඇති බවත් ඔහු පැවසීය.

වහල මත සවිකල සුර්යබල පද්ධති ප්‍රවර්ධනය සදහා මාසික ස්ථාවර ගාස්තුව ශුද්ධ පරිභෝජනයට සීමා කර තිබේ.

පාරිභෝගික ඇප තැන්පතු සදහා පොලී ගෙවීම ඔක්තෝබර් 1 වැනිදා සිට ආරම්භ කරන බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

00e
00ee

විදුලි ගාස්තු වැඩි ක⁣ළේ ඇයි?

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විදුලි ගාස්තු වැඩි කිරීමට හේතු පැහැදිලි කළේය.


"අපි අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් කලේ 2013 වසරේදී. එහිදීද සියයට 25කින් ගාස්තු අඩු කලා. මේ වසර 9ක කාලය සියලුම භාණ්ඩ හා සේවා වල මිල ගණන් සැළකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ජනනය සදහා ආනයනය කරන ෆොසිල ඉන්ධන වර්ග තුනම සියයට 250කට වැඩි ප්‍රතිශතයකින් ඉහල ගොස් තියෙනවා. නමුත් පසුගිය වසර 9 තුළම විදුලි ගාස්තු අපි ස්ථාවර මට්ටමක තබාගැනීමට සමත්වුණා."


සභාපතිවරයා සඳහන් කළේ පසුගිය කාලය තුළ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 143 සිට ඩොලර් 321 දක්වා ඉහල ගොස් ඇති බවයි.

"රුපියල් වටිනාකමට අනුව ගණනය කළ විට එය සියයට 550ක ඉහල යාමක්. ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 430 දක්වා වැඩිවී තිබෙනවා. එය සියයට 255ක වැඩිවීමක්. 2013 දී රුපියල් 90ට පැවති දැවිතෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 419ක්. ඒ සියයට 365ක මිල ඉහල යාමක්. මෙම කාලය තුල ඩොලරයේ අගය රුපියල් 127 සිට 368 දක්වා සියයට 190කින් ඉහල ගොස් තිබෙනවා. මේ හේතුවෙන් විදුලි ඒකකයක් ජනනය කර බෙදාහැරීමේ වියදම රුපියල් 16 සිට රුපියල් 32 දක්වා වැඩි වෙලා," යැයි ජනක රත්නායක කියා සිටියේය.

ඔහු තවදුරත් පැවසුවේ එම කාලය තුළ වැඩිවූ උද්දමනයේ අගයට වඩා අඩු අගයකින් මෙම විදුලි ගාස්තු වැඩිවීම සිදුකර ඇති බවයි.

විදුලි ජනනයට අදාළ පිරිවැය වැඩීවීමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය සියයට 183%ක හා සියයට 229%ක් වශයෙන් ගාස්තු ඉහල දැමීමේ යෝජනා 2ක් කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණි.

මේ යෝජනා දෙක අනුමත කිරීමෙන් තොරව ඒ වෙනුවට සාධාරණ ගාස්තු වැඩිකිරීමකට පියවර ගත් බව ජනක රත්නායක පැවසීය.

"ඒකකයක් ජනනය සඳහා රුපියල් 32ක් වැය වුණත් ගෘහස්ත අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් ආරක්ෂා කිරීම සඳහා එම සමස්ත පිරිවැය බර ඔවුන් මත පටවා නැහැ. ඒකක 30 වඩා අඩු පරිභෝජනයක් සහිත කාණ්ඩයෙන් තවමත් අය කරන්නෙ පිරිවැයෙන් සියයට 25ක්".

ඔවුන්ට තවමත් සියයට 75ක සහනාධාරයක් හිමි වන බව ජනක රත්නායක කියා සිටියේය.

"ඒකක 31ට වැඩි 60ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සමස්ත පිරිවැයෙන් සියයට 40ක ප්‍රමාණයක්. ඔවුන්ට සියයට 60ක සහනාධාරයක් ලැබෙනවා. ඒකක 61ට වැඩි 90 ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සියයට 50ක ප්‍රමාණයක් පමණයි. එම කාණ්ඩයටද සියයට 50ක සහනාධාරයක් ලබාදෙනවා."

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 75ක සංඛ්‍යාවකට තවමත් සහනාධාර ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් පාරිභෝගිකයින් විමසා සිටින්නේ ඉන්ධන, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය මිල බොහෝ සෙයින් වැඩි වී ඇති පසුබිමක මෙවැනි මිල විදුලි ගාස්තු වැඩීමක් දරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.


ගාස්තු වැඩිවීම සංචාරයක කේෂත්‍රයට බලපාන්නේ කොහොමද?

ගාස්තු වැඩිවීම සංචාරයක කේෂත්‍රයට බලපාන ආකාරය පිළිබඳ ද ජනක රත්නායක පැහැදිලි කළේය.

"පසුගිය වසර 9ක කාලය තුලදී ඩොලරයේ අගය සියයට 190කින් ඉහල ගොස් තිබෙනවා. ඒ නිසා අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත වලට මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් විශාල බලපෑමක් සිදු වන්නේ නැහැ."

"කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශවල අඩු විදුලි පරිභෝජනයක් ඇති කාණ්ඩ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කල සියයට 116ක ගාස්තු වැඩීවීම වෙනුවට පොදුකාර්ය අංශය සදහා සියයට 39ක වැඩිවීමක් හා කර්මාන්ත අංශය සදහා සියයට 75ක වැඩිවීමක් පමණයි අනුමත කළේ," ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

"විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සදහා අනුමත කල ගාස්තු වැඩීවීමෙන් සියයට 50ක් පමණයි අගෝස්තු 10 වැනිදා බලාත්මක වන්නේ. සංචාරක කර්මාන්තය යම් යහපත් තත්ත්වයකට පත්වන තුරු දිරි දීමක් හා සහනයක් වශයෙන් ඉතිරි සියයට 50ක ගාස්තු වැඩීවීම ක්‍රියාවට නැගෙන්නේ තවත් මාස තුනකට පසුව. ඊට අමතරව සංචාරක මෙන්ම අපනයන කර්මාන්ත වලට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ඩොලර් මඟින් ගෙවන විට සියයට 1.5ක වට්ටමක් ලබාදීමටද යෝජනා කර තිබෙනවා."

ජනක රත්නායක පැවසුවේ මෙම ගාස්තු ඉහළ දැමීමෙන් තොරව ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් පාඩු ලැබීය නොහැකි බවයි.

(BBC සිංහල සේවය)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

නවතම පුවත්