ආර්ථික වෙනස් කිරීම සඳහා සියලු දෙනාගේම කැපවීම අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී,  ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

 ''මේ ආර්ථිකය වෙනස් කරන්න අපි හැමෝම කැප වෙන්න ඕනේ. ඒ සඳහා තිබෙන මේ දූෂණය, නාස්තිය, මේ වංචාව වෙනස් කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් ශක්තිමත් පිරිසකට රට භාර දෙන්නට ඕනේ. මේක අපි නැවත නැවත කියනවා. මේ කාරණය කරන්න මේ රටේ ජනතාව සූදානම් නම්,  ඉස්සරහට හරි අපි හිතනවා ආණ්ඩුවක් හරහා අපිට මේ වෙනස කරන්න පුළුවන් කියලා."යයි ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ, අගෝස්තු 09  දා පාර්ලිමේන්තුවේ පැවති රාජාසන කතාව විවාදයේදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.


''හැටනව ලක්ෂයේ ජනතාව බලාපොරොත්තු වුනේ මේ රටේ වෙනසක්''

" මම පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට පත්වෙලා එන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරලා තුන්ලක්ෂ විසිපන්දහස් හාරසිය හැත්තනමයක් ඡන්ද අරගෙන. ඒ මැතිවරණයේ  ලංකාවෙන්ම තුන්වෙනියට ජන්ද ගත්තේ මම. මට ඡන්දය දුන්නේ හැටනව ලක්ෂයේ ජනතාව. ඒ සියළු දෙනාම ඒ වෙලාවේ බලාපොරොත්තු උනා මේ රටේ වෙනසක්.

LDFGහැටනව ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු උනේත් සිස්ටම් චේන්ජ් එකක් ..

අද අපේ රටේ තරුණ පිරිස කතා කරන සිස්ටම් චේන්ජ් එක තමයි ඒ අය බලාපොරොත්තු උනේ. ඒ අය බලාපොරොත්තු උනා සෞභාග්‍යමත් දේශයක්.

ඒ උනාට අවාසනාවකට වගේ අපේ රජයේ පළවෙනි අවුරුදු දෙක, දෙකහමාර ගත වෙනකොට ඒ අපේක්‍ෂාවන් බිඳ වැටෙන්නට පටන් අරං තිබුණා. විශාල ආර්ථික ගැටළු ඇවිල්ලා ඒ ආර්ථික ගැටළු රජයට පාලනය කරගන්න බැරුව ඒ ආර්ථික පීඩනය නිසා අවසානයේදී ජනතාව තුළින් අරගලයක් මතුවෙලා අපේ නායකත්වය පවා වෙනස් උනා. ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්නට සිද්ධ උනා.

ඊට පස්සේ මේ රටේ ව්‍යවස්ථාවට අනුව අපට සිදුවුණා මේ පාර්ලිමේන්තුව තුළින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගන්නට. ඒ වෙලාවෙ ජනාධිපති අපේක්‍ෂකයෝ තුන්දෙනෙක් ඉදිරිපත් උනා. එක්කෙනෙක් තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තෝරා ගන්නට තිබුණේ රහස් ඡන්දයක්.

මම දන්නේ නැහැ ඇයි මේක රහස් ඡන්දයෙන් කරන්න අවශ්‍ය කියලා. මොකද මහජන නියෝජිතයෙකුට පුළුවන් වෙන්න ඕනේ නිර්භීතව ජනතාවට කියන්න මම මේ රටේ පාලකයා විදිහට තෝරා ගන්න ඡන්දය දෙන්නේ අහවල් පුද්ගලයාට කියලා.


මට ඒ නිර්භීත බව තිබුණා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, ඒ වෙලාවේ අගමැතිතුමා, එතුමාගේ කාර්යාලයට ගිහිල්ලා නාමයෝජනා දුන්නු දවසේ කිව්වා, ''ගරු අගමැතිතුමනි ඉදිරියේදී එන ඡන්දයේදී මම ඔබතුමාට ඡන්දය දෙන්නේ නැහැ, මම ඡන්දය දෙන්නේ ඩලස් අලහප්පෙරුම මැතිතුමාට. ඔබතුමාට ඡන්දය නොදෙන්නට හේතුව තමයි මොකද ඔබතුමාගේ පසුගිය මැතිවරණයේදී මම ඔබතුමාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව කතා කළා. මම හම්බන්තොට විකුණන එකට විරුද්ධව කතා කළා. මම එෆ්.සී.අයිඩියට විරුද්ධව කතා කළා. මම බැඳුම්කර මංකොල්ලයට විරුද්ධව කතා කළා. ඒ නිසා මට ප්‍රතිපත්තිමය වශයෙන් ඔබතුමාට ඡන්දය දෙන්න බැහැ. නමුත් ඔබතුමා පළපුරුදු නායකයෙක්. ඔබතුමා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාට සුභ පතනවා කියලා. මට ඒ වෙලාවේ පුළුවන් උනා ඒක කෙලින් කියන්න. මම අදත් ඒක කියනවා.


හැබැයි කොහොම හරි ඡන්දය පැවත්වුණා. මේ පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් අරගෙන ජනාධිපතිතුමා පත්වුණා. ඒ ජන්දයේ සුජාත භාවය පිළිබඳව අපට ගැටළු තිබෙනවා.

ඡන්ද 134 ක් ඇත්තටම තිබුණානම් පසුගිය හදිසි නීති විවාදයේදී අර එතුමාට විරුද්ධව ඡන්දෙ දුන්න සමහර අයත්, හදිසි නීතිය වීවාදෙදී ආන්ඩුවට පක්ෂව ඡන්දෙ දීලත් චන්ද 120 ක් විතරක් ලැබුණේ ඇයි කියන ප්‍රශ්නෙ අපට තිබෙනවා.

ඒ කෙසේ වෙතත් ඒක අපි අමතක කරලා දාමු. දැන් එතුමා ව්‍යවස්ථානුකූලව පත්වෙලා ඉවරයි. මම හිතන්නෙ අපි කිසි කෙනෙක් ඒක එතනින් එහාට අභියෝගයට ලක්කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි හැමදාම කිව්වේ අපි ව්‍යවස්ථාවට ගරු කරන්න ඕනේ කියන කාරණය.

දැන් මෙතනින් පස්සේ මොකද්ද සිද්ද වෙන්නේ. අපි පසුගිය මාර්තු මාසයේ විතර ඉඳල දිගින් දිගටම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් කතා කරපු අය. මම දෙවෙනි කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත්වුණහම මම ගිහින් මගේ ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නා හිටපු ජනාධිපතිතුමාට.

ජනාධිපතිතුමනි මේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර අරගෙන ඔබතුමාට පුලුවන්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න මම ඒකට සහය දෙනවා. ඒකයි මේ වෙලාවේ රටට අවශ්‍ය. මට වරප්‍රසාද අවශ්‍ය නැහැ. මට තනතුරු අවශ්‍ය නැහැ කියලා. මම අදත් ඉන්නෙ ඒ මතයේමයි.



 ඉතින් අපි සංතෝෂ වෙනවා අලුත් ජනාධිපතිතුමා දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න උත්සාහ කරනවා, එතුමා ආරධනා කරනවා සියළුම පක්ෂවලට. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ සර්ව පාක්ෂික ආණ්ඩුව ජනතාවට අවශ්‍ය දේද? අපි කතා කරපු දේද?


අපි කතාකළේ ඒ වෙලාවේ ගරු නියෝජ්‍ය කතානායක තුමනි, අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන. මොකද මේ වෙලාවේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය වෙන්නෙ නැහැ.

මේ පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය වෙනවානම් මේසා විශාල පිරිසක් ස්වාධීන වෙලා ඉන්න බැහැ. මේ විදිහට විපක්ෂයෙන් කට්ටිය ඇවිල්ලා ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බැහැ. මේ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්ද ලැබෙන්නට බැහැ. ඒ නිසා මේ විකෘති පාර්ලිමේන්තුව අපට හැමදාම තියා ගන්න බැහැ.



යම්කිසි කාලසීමාවකට පසු මේ පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුව විසුරුවන්න ඕනේ. එහෙමනම් කාලසීමාවක් කියලා තාවකාලිකව දක්ෂම පුද්ගලයින් කිහිප දෙනෙක් දාලා කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගෙනියන්න කියන එකයි අපේ මතය වෙන්නෙ.



ඒ නිසා පහුගිය දවස්වල මමත් අපේ සහෝදර මන්ත්‍රීවරු 14 දෙනෙකුත් ගරු ජනාධිපතිතුමා හම්බවෙන්න ගියහම අපි එතුමාට කිව්වා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න, හැබැයි කුඩා කැබිනට් මණ්ඩලයක්, විශාල කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. යම් කිසි කාලරාමුවක් සඳහා ඒක කරන්න අපි සහය දෙන්නම් කියලා.

නමුත් මට පේන විදිහට ඒක නෙමෙයි සිද්ද වෙන්න යන්නේ. අපිට දැන් දැනගන්න ලැබෙන විදිහට විශාල කැබිනට් මණ්ඩලයක්, විශාල රාජ්‍ය ඇමතිවරු ප්‍රමාණයක් ,ඒ විතරක් නෙමෙයි මේ පිහිටුවන්න යන ආංශික කාරක සභා වල සභාපතිලටත් කැබිනට් බලතල දීලා, කරන්න යන, කොහොම හරි බලය රඳවා ගැනීමේ විකාරයක් තමයි මේ සිද්ධ වෙන්න යන්නේ.

ගරු නියෝජ්‍ය කතානායක තුමනි අපිට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නට බැහැ ඒක නම් සිදුවන්නට යන්නේ. මෙතනින් එහාට ගිහිල්ලා ඊළඟට දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරුන්ටත් වරප්‍රසාද දෙයි. ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් වරප්‍රසාද දෙයි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් හැමදේම කරලා අන්තිමේ හැමෝම සංතෝෂ කරලා පාර්ලිමේන්තුව සංතෝෂ කරලා තියා ගන්න එක නෙමෙයි ජනතාව අපේක්‍ෂා කරන්නේ. ජනතාව අපේක්‍ෂා කරන්නේ මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම්.

sdgrtජනාධිපතිගේ කතාවේ හොඳ සාධනීය දේවල් තිබුණා..


අපි විශ්වාස කරනවා මේ රටේ තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අපට කෙටි කාලීන විසඳුම් අවශ්‍යයි. මධ්‍ය කාලීන විසඳුම් අවශ්‍යයි. දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. මේවා ගැන අපි කතා කරලා තිබෙනවා.  

අපි බණ කියනවා නෙමෙයි පහුගිය කාලේ අපි විපක්ෂයේ කණ්ඩායම සමගත් එකතු වෙලා , මේ පාර්ලිමේන්තුව තුළම කමිටු කාමරවල රැස්වෙලා අපි වැඩපිළිවෙලක් සකස් කළා.

අවුරුද්දක් ඇතුළත අපි කරන්න ඕනේ මොනවද, අවුරුදු දෙකක් ඇතුළත කරන්නේ මොනවද, අවුරුදු 7 ක් ඇතුළත අපි කරන්න ඕනේ මොනවද කියලා අපි සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගෙන් එතුමගේ වැඩපිළිවෙල මොකද්ද කියලා අපිට කියාවි කියලා.



අපි එතුමාගේ කතාව අහං ඉන්න කොට ඒකේ හොඳ සාධනීය දේවල් තිබුණා. නමුත් මම පුදුම උනා එතුමා කිව්වහම අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ඕනේ කියලා. ඒකට අපට වෙලාව නැහැ. වත්මන් ජනාධිපතිතුමා අගමැතිතුමා වශයෙන් පත් වෙලා දැන් මාස තුන සම්පූර්ණ වෙනවා මේ 12 වෙනිදට. මාස තුනක් කියලා කියන්නේ දිගු කාලයක්. ඒ නිසා අපට අඩුම ගානේ මොකද්ද කෙටි කාලීන වැඩපිළිවෙලවත් කියලා ඉන්න සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න කලින්.

 


මොකද ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. තෙල් පෝලිම් ටික QR ක්‍රමවේදය නිසා අඩු උනා අපි පිළිගන්නවා. හැබැයි ජනතාවගේ සියළු ප්‍රශ්න ඒකෙන් විසඳෙන්නේ නැහැ.  ජනතාවගේ බඩගින්නට ඒකෙ විසඳුමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් ඔබතුමාගේ කෙටි කාලීන වැඩපිළිවෙලවත් කියාවි කියලා සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න කලින්. ඊට පස්සේ මධ්‍ය කාලීන, දීර්ග කාලීන කතා කරන්න පුළුවන්. ඒවා සාකච්ඡා කරන්න පුළුවන්.

මේවා සම්බන්ධයෙනුත් අපි කතා කරන කොට අපි මොනවද කතාකරන්න ඕනේ දේවල් ?


ප්‍රධාන වශයෙන්ම අපට ප්‍රශ්න දෙකක් තිබෙනවා.

අපි දන්නවා අපේ රටේ මේ වෙලාවේ තියන ප්‍රශ්නේ. ප්‍රධාන වශයෙන්ම අපට ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ අයවැය පරතරය, අනෙක තමයි ගෙවුම් ශේෂ හිඟය. මෙන්න මේ දෙකට තමයි අපි විසඳුම් හොයාගන්න ඕනේ. අනෙක් සියළුම ප්‍රශ්න තිබෙන්නේ මේ දෙක වටා.

එතකොට අයවැය පරතරය ගැන කතා කරන කොට 2021 වන විට මේ රටේ අයවැය පරතරය 13% දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. ට්‍රිලියන දෙකක්, රුපියල් බිලියන 2000 ක් අයවැය පරතරය. මේක අපි පියවා ගන්නේ කොහොමද? ඒ වියදම අඩුකර ගන්නේ කොහොමද? ඒක දිහා අපි බලන්න ඕනේ.



2021 වසරේ අපි වියදම දිහා බැලුවහම රුපියල් බිලියන 3500 ක් අපේ රාජ්‍යයේ වියදම. ඒ රාජ්‍ය වියදමෙන් බිලියන 1100 ක් වැටුප්. බිලියන 1000ක්  ණය. එතකොට බිලියන 1400 ක් අනෙකුත් වර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම්. මේකෙන් අපට ණය අඩුකරගන්න බැහැ. වැටුප් අපට එකපාර අඩුකරගන්න බැහැ. හැබැයි වර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් අපට කෙටිකාලීනව වෙනස්කර ගන්න පුළුවන්. ඒ ගැන අපි අහන්න කැමතියි ආණ්ඩුවෙන් මොකද්ද ඒ ගැන කතා කරන්නේ කියලා.  



ඊළඟට ආදායම වැඩිකරගන්න එක ගැන කතා කරන කොට ආදායමෙන් 88% ක් තියෙන්නෙ බදු ආදායම. ඒ බදු ආදායම වැඩිකරගන්නේ කොහොමද? අපි දන්නව මේ රටේ බදු ආදායම මේ වෙලාවේ රාජ්‍ය ආදායමෙන් 8% ක්. කාට හරි කියන්න පුළුවන් මේක අපි වැඩිකර ගමු. බදු ප්‍රතිශතය 12%,14% කරගමු. ඒ සඳහා බදු වැඩිකරගමු කියලා.

බදු වැඩිකරනවා කියලා කියන්නේ කුමක්ද ? වක්‍රබදු වැඩි කළොත් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් වෙනවා. ඍජු බදු වැඩි කළොත් ව්‍යාපාරිකයා මන්දෝත්සාහි වෙනවා. මේ දෙකම තිරසාර විසඳුම් නෙමෙයි. ඒ නිසා කළ යුත්තේ මේ බදු ගෙවන ප්‍රමාණය වැඩිකර ගැනීම‍යි. බදු වැට පුළුල් ගැනීමයි. මේ බදු අය කිරීම නිසියාකාරව කිරීමයි. ඒ වගේම බදු ගෙවන ව්‍යවසායකයින් ප්‍රමාණය වැඩි කර ගැනීමයි.

ව්‍යවසායකත්වය වැඩිකරන්න මොකද්ද රජයේ වැඩපිළිවෙල. රජයන් ගණනාවක් පහුගිය කාලේ කතා කළා මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දියුණු කරන්න. අපි අහන්න කැමතියි මොකද්ද රජයේ වැඩපිළිවෙල. අපි ඒවා සාකච්ඡා කළයුතු කාරණා.

ඊ ළඟට අපි කතා කරනවා රාජ්‍ය ව්‍යාපාර ගැන. මට කලින් කතා කරපු කතිකයොත් ඒ ගැන කතා කළා.



අපි හැමෝම පිළිගන්නවා අපේ රටේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහ ගත කළ යුතුයි. එතන ප්‍රතිපත්තිමය ගැටළුවක් නැහැ. හැබැයි ප්‍රතිව්‍යූහගත කරන්නේ කොහොමද කියන කාරණය අපි කතා කරන්න ඕනේ. අපි දන්නවා රාජ්‍ය ආයතන තියෙනවා 420 කට වඩා කෝප් ආයතනයට ගේන. ඒ ආයතන 52 ක් රුපියල් බිලියන 12,000 ක් වත්කම් උඩ වාඩිවෙලා ඉන්නේ. හැබැයි ඒ රුපියල් බිලියන 12,000 ක් ටිලියන 12 ක් වත්කම් තිබෙන ආයතනවලින් ගිය අවුරුද්දේ රජයට දීලා තිබෙන්නේ රුපියල් බිලියන 30 යි. ඒ කියන්නේ 0.25% යි ප්‍රතිලාභ. මේක අපි වෙනස් කරන්නට ඕනේ.



මේ ආයතන ප්‍රතිව්‍යූහ ගත කරලා අපිට අඩු ගානේ 5% ක ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්නම් තව අවුරුද්දකින් දෙකකින්. ඒ කියන්නේ බිලියන 600 ක්. 10% ක ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්නම් බිලියන 1200 ක්. රාජ්‍ය ආදායමට ආසන්න ප්‍රමාණයක් ලාබ ලබාගන්න පුලුවන් මේ ආයතන හරහා. එහෙනම් අපි මේවා ගැන හරියට කතා කරන්න ඕනේ.

 ඊළඟට ප්‍රතිව්‍යූහ කිරීම ගැන කතා කරන්න ගියහම මම පුදුම උනා අපේ ගරු ජනාධිපතිතුමා මේ ලඟදි සම්මන්ත්‍රණයකදි කියලා තිබුණා එතුමා විරුද්ධයි කියලා ලැයිස්තු ගත කරන එකට. එතුමා කියලා තිබුණා කොළඹ කොටස් වෙළෙඳපොළේ හොරකම් සිදුවෙනවා. ඒ නිසා මේ ආයතන ලැයිස්තුගත කිරීමට එතුමා විරුද්ධයි කියලා.

මම මේකට සම්පූර්ණ විරුද්ධයි මේ මතයට. මොකද මම කොටස් වෙළෙඳපොලේ නියාමක වරයා වශයෙන් කාලයක් වැඩ කරපු කෙනෙක්. ඒ කාලේ අපි දැක්කා කොටස් වෙළෙඳපලේ තිබෙන දුර්වලතා මොනවද කියලා. ඒවා කතා කරලා ඒවා වෙනස් කරන්න නීති ගෙනල්ලා පහුගිය අවුරුද්දේ අලුතින් පනතක් ගෙනවා. ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම සපයන්න පුළුවන් ඉතාමත්ම ශක්තිමත් පනතක් ගෙනල්ලා අද කොටස් වෙලෙඳපොල ශක්තිමත් කරලා තිබෙන්නේ.



අපි කළ යුත්තේ මේ රාජ්‍ය ආයතන සාමාන්‍ය ජනතාවටත් මිලදී ගන්න පුළුවන් විදිහට කොටස් වෙළෙඳපොලේ ලැයිස්තු ගත කිරීම මිස ඒවායේ ගිහිල්ලා කාටහරි කොමිස් ගන්න පුළුවන් විදිහට කාගෙ හරි හිතමිතුරන්ට විකුණන එක නෙමෙයි. ඒක නෙමෙයි පෞද්ගලීකරණය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ.

 

මේ වගේ අපට කතා කරන්න පුළුවන් බොහෝ දේවල් තිබෙනවා.

මම නැවත නැවත කියනවා එක දෙයක්. අපි හැමෝම මේ ආර්ථිකය ගැන ඉතාමත් භයංකර පින්තූරයක් මවන්න හදනවා. මතක තියා ගන්න අපි මේ කතා කරන්නේ ඩොලර් බිලියන 80 ක පුංචි ආර්ථිකයක් ගැන. මේක මහා විශාල ආර්ථිකයක් නෙමෙයි. මේ ආර්ථිකය වෙනස් කරන්න පුළුවන්.

හැබැයි මේ ආර්ථිකය වෙනස් කරන්න අපි හැමෝම කැප වෙන්න ඕනේ. ඒ සඳහා තිබෙන මේ දූෂණය, නාස්තිය, මේ වංචාව වෙනස් කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් ශක්තිමත් පිරිසකට රට භාර දෙන්නට ඕනේ. මේක අපි නැවත නැවත කියනවා.

මේ කාරණය කරන්න මේ රටේ ජනතාව සූදානම් නම්. ඉස්සරහට හරි අපි හිතනවා ආණ්ඩුවක් හරහා අපිට මේ වෙනස කරන්න පුළුවන් කියලා."

 

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image