සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම සම්බන්ධව ලබන සතිය වනවිට තීරණයක් නොගන්නේ නම් මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව
'ලංකාසර'ට (lankasara.com) අනාවරණය කරයි.
'ලංකාසර' එබව වාර්තා කර ඇත්තේ, සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමිනි.
ආණ්ඩුවට එක්වීම පිළිබඳ මෙම මතය පලවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවටක එක් නොවිය යුතු බවට පක්ෂය තුළින්ම තවත් කණ්ඩායමක් බරපතල බලපෑමක් සිදුකරන පරිසරයකය.
මේ තත්ත්වය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් සමගි ජන බලවේගය නිශ්චිත තීරණයක් ගෙන නොතිබීම පක්ෂය අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.
දැන් පවතින තත්ත්වය තුළ මේ සම්බන්ධව නිශ්චිත තීරණයක් නොගෙන කල් මැරීම නිසා පක්ෂයට දැඩි හානියක් සිදුවිය හැකි බව මධ්‍යස්ථ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ නායකත්වය දැනුම්වත් කර ඇති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් 'ලංකාසර'ට පවසා ඇත.
රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වත්මන් ජනාධිපතිවරයා දියත් කර තිබෙන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත්, ඇමති ධූර හා වෙනත් වරප්‍රසාද ලබා ගැනීමෙන් හෝ එසේ නොමැතිව එය කළයුතු ක්‍රමවේදය කුමක්දැයි එකඟතාවයට පැමිණ ක්‍රියාත්මක විය යුතු බවත් එම මන්ත්‍රීවරයා පවසා තිබේ.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස එම තීරණය කඩිනමින් නොගන්නේ නම් ආණ්ඩුවට එක් වී ඇමති ධුර ලබා ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමති පිරිස තීන්දු කර ඇති බව එම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට සජබ යනවා නම් තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීනව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර සමුහ ආණ්ඩුවකට එක්වීම සඳහා සජබ පක්ෂ නායකත්වය විසින් මුලික කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පොස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කර ඇත.