භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම
වෙනුවෙන් චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ විශේෂ උත්සව අවස්ථාවට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි ඇතුළු ස්වාධීන කණ්ඩායමේ පක්ෂ 10 නියෝනයන් සහභාගී වී ඇත.
මෙම නෞකාව පැමිණීමට සම්බන්ධව ඉන්දීය විරෝධය මතුවන අවස්ථාවේ දී නෞකාවට හම්බන්තොටට පැමිණීමේ අවසරය ලබා දිය යුතු බවට බලපෑම් කළ ප්‍රධාන දේශපාලකයා වූයේ විමල් වීරවංශ යි.
මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ඉන්දියාවේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව දන්වා එහි පැමිණීම සම්බන්ධව ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිය කනස්සල්ල ලංකාව වෙත දන්වා තිබිණි.
කෙසේ වෙතත් ඉන්දියානු ඩෝනියර් සමුද්‍ර නීරීක්ෂණ ගුවන් යානය පිළිගැන්වීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය විසින් උත්සවයක් සංවිධානය කිරීමත් සමග චීන තානාපති කාර්යාලය ද යුආන් වැන් 05 නෞකාව හම්බන්තොටට පැමිණීම සැමරීමට මෙසේ උත්සවයක් සංවිධානය කළ බව වාර්තා විය.
නෞකාවක් වරායකට පැමිණීම උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු අවස්ථාවක් නොවුනත් මෙම නෞකාව සම්බන්ධව ඇතිවූ රාජ්‍ය තාන්ත්‍රික විඝටනය නිසාම චීන තානාපති කාර්යාලය මෙම පියවර ගත් බව වාර්තා වේ.
.
භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවේ අවසරය මත අද උදෑසන 8 ට පමණ හම්බන්තොට වරායට පැමිණි අතර මේ වන එහි නැංගුරම් ලා තිබේ.
ඒ අනුව හාබර් මාස්ටර් නිර්මාල් පී සිල්වා පැවසු පරිදි නෞකාවට අද අගෝස්තු 16 සිට එළඹෙන අගෝස්තු 22 දක්වා හම්බන්තොට නැංගුරම් ලා තැබීමට අවසර ලැබෙනු ඇත.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, සියලු කරුණු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමෙන් පසු නෞකාවට මෙරටට පැමිණීම සඳහා වන අවසරය බවයි.
යුවාන් වැන්ග් 5 මුලින් අගෝස්තු 11 දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ අතර, ඉන්දියාවේ විරෝධය මත සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමුණි.
නෞකාවේ හම්බන්තොට සංචාරය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මීට පෙර දැනුම් දී තිබුණි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අනතුරුව මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉහළ මට්ටමේ උපදේශන පැවති බවයි.
"රාජ්‍යයයන්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අභිලාශයන් සැලකිල්ලට ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවාදය තුළින් මෙය විසඳා ගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වු" බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
එහි දැක්වෙන්නේ සියලු රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය නැවත අවධාරණය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි.
"අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ" වන බවද විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.
නෞකාව පිළිගැනීමේ උත්සවයේ අවස්ථාවක්
මොකද්ද මේ යුආන් වැන්ග් 5 නෞකාව?
යුආන් වැන්ග් 5 නෞකාව YUAN WANG 5 (IMO: 9413054) නෞකාව යනු 2007 (වසර 15 කට පෙර) ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවකි.
එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 11000 වන අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර පළල මීටර් 25.2 කි.
යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි.
චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී.
2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වූ නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ.
නෞකාව හම්බන්තොට වරායට පැමිණි අවස්ථාව
චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි.
යුවාන් වැන්ග් 5 පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවක් ලෙස හැදින්වෙන, නමුත් ඉන්දියානු මාධ්‍ය එය හඳුන්වනු ලබන්නේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසටය.
යුවාන් වැන්ග් 5 අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීම සඳහා යොදා ගත හැකි අතර, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් සඳහා ද විශේෂිත නෞකාවක් ලෙස සැලකෙයි.
2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වූ අතර රොයිටර් පුවත්සේවය පැවසුවේ මෙම සබ්මැරීනයට හා යුද නැවට කොළඹ වරයට ඇතුළුවීමට අවසර දීම හේතුවෙන් එවක ජනපති මහින්ද රාජපක්ෂට තම තෙවන ධුරකාලය සඳහා පැවැත්වූ මැතිවරණයන් පරාජය වීමට හේතුවූ බවයි.
(උපුටා ගැනීම් - BBC සහ lankasara.com)
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.