ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පහ කිරීමෙන් පසු, රනිල් වික්‍රමසිංහ

ජනාධිපති ධුරයට පත්ව මේවන විට මාසකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සර්ව පාක්ෂික වැඩසටහනක් සඳහා ඔහු ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ප්‍රමුඛ සියලු පක්ෂවලට විවෘත ආරාධනයක් කළේය. පක්ෂනායකයින් හා නියෝජිතයින්ද වෙන්වෙන්ව හමුවී සාකච්ඡා කළේය.

එහෙත් මෙතෙක් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැඟීමේ සූදානමක් පෙනෙන්නට නැතැයි විපක්ෂ දේශපාලනඥයෝ පෙන්වා දෙති.

සර්ව පාක්ෂික කතා බහ කල්මැරීමක් පමණද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.


සාකච්ඡා මෙතෙක් අවසන් නැහැ


කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවයි.

cvbcfgh


මෙම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් විස්තරාමක් වාර්තාවක් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම උදෙසා එම සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කරගෙන ආර්ථික හා සමාජ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා මේවන විට කටයුතු කර ගෙන යන බවයි.

"ආර්ථික අර්බුදය සහ ණය අර්බුදයත් පිළිබඳ පොදු එකඟතාවක් ඇති කරගෙන රට ගොඩ නැඟීම සඳහා වන ආර්ථික, සමාජ, දේශපාලන වැඩපිළිවෙලක් පොදු එකඟතා මත ඇති කර ගැනීම සඳහා වන උත්සාහයේ තමා යෙදෙන්නේ," කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"ඒ සඳහා ගරු ජනාධිපතිතුමා පුද්ගලිකව සෑම සාකච්ඡාවකට සහභාගි වී වෙමින් මේ දක්වා ලබා ගෙන ඇති ප්‍රගතිය තමා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළත් පාර්ලිමේන්තුවේ විධායක සභා ඇති කිරීමත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර විවිධ පාර්ලිමේන්තු තනතුරු හා ආයතනවල නායකත්වයන් බෙදී යාම පිළිබඳවත් ලබන සතිය,දෙක ඇතුළත අවසන් තීරණයකට එළඹෙන්න පුළුවන් වෙයි."

සමගි ජනබලවේගයේ ස්ථාවරය මොකද්ද?

xfgdfhg

"රාජපක්ෂලාගේ කුණු සෝදන සර්ව පාක්ෂික සූදුවට අපි නෑ. හැබැයි සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට අපි සූදානම්." බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

විපක්ෂයක් ලෙස සර්ව පාක්ෂික ඇමති සූදුව තුළින් රාජපක්ෂලාගේ කුණු ඇදීමට කැමති නොවන බවත් කමිටු හරහා සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

රටේ වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව බවත් ඔවුන්ට බලය ලබාදුන් මන්ත්‍රීවරුන්ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමට නම් ජනාධිපතිවරයා ඇතුලු පාර්ලිමේන්තුවේ 225ම කැපකිරීම් සිදු කළ යුතු බවත් මේ එළඹ ඇත්තේ කැපකිරීමේ කාලය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.


සර්ව පාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියකට පමණක් සීමා වෙලා

 fhdrte
අවශ්‍ය වන්නේ නිශ්චිත වැඩපිළිවෙලක් - මුජුබර් රහුමාන් 


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් චෝදනා කළේ, සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියකට පමණක් සීමා වී ඇති බවයි.

"අපි දැන් ජාතික ආණ්ඩුව, සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන කතාකළත්, දැන් ජනාධිපතිතුමා පත්වෙලා මාසයකට ආසන්න කාලයක් වෙනවා. අපිට පේන්න තියෙන දෙයක් තමා ඒක කතා පෙට්ටියකට පමණක් සීමා වෙලා තියෙනවා කියන එක "මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ "නිශ්චිත වැඩ සටහනක් තුළ ඉදිරි මැතිවරණයේ දින වකවානු තීන්දු කරලා යන්න පුළුවන් වැඩපිළිවෙලකට තමයි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව නිශ්චිත කාලසීමාවක් නැතිව, වැඩ පිළිවෙලක් නැතිව, දින වකවානුවක් නැතිව අයාලේ යන්නනම් සර්ව පාක්ෂික ආණ්ඩු හදලා වැඩක් නැහැ."

මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ අවශ්‍ය වන්නේ නිශ්චිත වැඩපිළිවෙලක් බවයි.

"රජය පැත්තෙන් යෝජනා වෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න එන්න. අවශ්‍ය ඇමතිකම් ටික මොකද්ද? ඇමතිකම් කීයක් ඕනේද? මණ්ඩලය කීයද කියන එක තමයි ඒ පැත්තෙන් යෝජනා වෙන්නේ. මෙතන මේ ඇමතිකම් භාර ගැනීමේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. තියෙන්නේ වැඩපිළිවෙලක්. ඇමතිකම් භාර ගත්තයි කියලා මේ තියෙන තත්ත්වය තුළ කාටවත් මැජික් පෙන්නන්න බැහැ. කාටවත් මැජික් පෙන්වන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි මේ රටේ තියෙන්නේ," මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.

"මහපොලොවේ ගමන් කරන්න පුලුවන්, යතාර්ථවාදී වැඩ පිළිවෙලක්, ජාත්‍යන්තරය දිනා ගන්න පුළුවන්, මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අනෙකුත් මුල්‍ය සංවිධාන සමඟ යන්න පුළුවන් වැඩසටහනක් සඳහා තමයි අපිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන යම් කිසි ආකාරයක සංවාදයක් ඇති කරගන්න පුළුවන්" ඔහු අවධාරණය කළේය.


පොහොට්ටුව මොකද කියන්නේ ?
 
xfgnjසෑම පක්ෂයක්ම තම දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටිනවා - ඩබ්ලිව්. ඩි. වීරසිංහ
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩි.වීරසිංහ චෝදනා කර සිටියේ සෑම පක්ෂයක්ම තම දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බවයි.

"මේ මොහොතේ අපේ රට තුළ තිබෙන කතිකාවත තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවාද නැද්ද කියන එක. මේ රටේ නිර්පාක්ෂික අරගලකරුවන් විසින් ඇතිකරපු අරගලය දිය වුණා. රාජපක්ෂවරුන්ට යන්න කියලා ඉල්ලීමක් කළා. ඔවුන් තමන්ගේ ධුරවලින් ඉල්ලා අස්වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා. එතුමා ජනාධිපතිවරයා බවට පත්වෙන්න කලින් මේ අරගලය කරපු පිරිස් සහ අද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් කිව්වේ මේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය විසඳන්න නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඒ තුළින් ජාත්‍යන්තර සහය ලබා ගන්න පුළුවන් සහ අපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩනගමු කියලා පහුගිය කාලයේ කිව්වේ." ඔහු පෙන්වා දුන්නේය.

"නමුත් දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කළාම සජබය කියනවා මෙය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් කියලා. අද එන්න බෑ කියනවා. රාජපක්ෂවරු අද සියලු දෙනාම තනතුරු අතඇරලා ගිහින් තිබෙනවා. ඒ මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. එහෙම තිබෙන අවස්ථාවක හැම පක්ෂයක්ම අද මේ වන විට තත්ත්වය මඟ හරිමින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යන්න කටයුතු කරමින් සිටිනවා." ඔහු කියා සිටියේය.

"සැබෑ ලෙස අරගලය කරපු අරගලකරුවන්ගේ වුවමනාවත්, මේ රට ගොඩනගන්නත්, අපේ අනාගතය සුරක්ෂිත කරන්න පෙනි හිටපු දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ලබාගත්ත ජයග්‍රහණ පාවා දෙමින් ඉන්නවා. සද්භාවයෙන් ආරාධනා කරාම නොයෙකුත් හේතු කියමින් මෙය මඟ හරිනවා වෙනුවට මේ සඳහා එකතුවෙලා කටයුතු කරමු." මන්ත්‍රීවරයා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියේය.


"මේ ආණ්ඩුවට හවුල්වීම පලක් නැති වැඩක්"

akdසර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තවදුරටත් කතා කිරීම යථාර්ථවාදී නොවේ - ජවිපෙ නායක
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තවදුරටත් කතා කිරීම යථාර්ථවාදී නොවන බවත් දැනට පිහිටුවා තිබෙන රනිල් හා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වීම ඵල රහිත බවත් දන්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් සිය ස්ථාවරය දැනුම්දී ඇත.

ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සලසමින් අන්තර්කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙළකට යෑමට අවංක වුවමනාවක් තිබුණේ නම් එම අවස්ථාව තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කරමින් රටින් පිට වීමත් සමඟ යැයි ජාතික ජන බලවේගයේ නායකයා එහි සඳහන් කර ඇත.

එම නිසා කාටත් පිළිගත හැකි කාගේත් එකඟතාවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වන විට මඟහැරී ඇති බව අනුර දිසානායක මන්ත්‍රිවරයා සිය ලිපියෙහි අවධාරණය කර ඇත.

ජාතික ජන බලවේගය විසින් යොමු කළ ලිපියෙහි යෝජනා වන්නේ ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් ජනාධිපති ධුරයට අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක් නැති මන්ත්‍රිවරයකු ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට පත්කර ගැනීම හා අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකඟතාවෙන් මන්ත්‍රිවරයෙක් පත්කර ගැනීම, සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වන සියලු පක්ෂ සමාන කොටස්කරුවන් ලෙස සලකා ආණ්ඩුවේ සියලුම තීන්දු තීරණ ගැනීම හා එම සියලු පාර්ශ්ව නියෝජනය වන ඉතා කුඩා ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීම, සර්ව පාක්ෂික ආණ්ඩුවට අන්තර්කාලීන ආණ්ඩුවක් ලෙස සලකා මාස හයක් වැනි කෙටි කලකට එම ආණ්ඩුව සීමා කර ඉන්පසු මහ මැතිවරණයක් පවත්වා නව ජනවරමකින් තමන් කැමැති පාලනයක් නිර්මාණය කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම යන ප්‍රධාන කරුණුය.

එමෙන්ම ජනතාව මුහුණ පා තිබෙන ආර්ථික දුෂ්කරතාවලට ඉක්මන් සහන ලබාදී රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම, ජනාධිපති ධුරයේ බලතල හැකි උපරිමයෙන් අඩු කරන හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සවිමත් කරන යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීම හා රට තුළ සිදුකර ඇති වංචා දූෂණ හා මහජන මුදල් නාස්තියට එරෙහිව ගනු ලබන බලගතු පියවර කිහිපයක්ද යෝජනා කර තිබේ.

රට මුහුණදී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදය විසඳීම සඳහා ගැඹුරු ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අන්තර්කාලීන සර්වපාක්ෂික පාලනයකට හැකියාවක් නොමැති බැවින් ජනතාවගේ අනුමැතිය සහිත ජනවරමක් සඳහා මාස හයක් වැනි කෙටි කලක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කර තිබේ.

දැන් පවතින්නේ ජනවරම අහෝසි වූ ජනතා විරෝධයට ලක් වූ රනිල් රාජපක්ෂ පාලනයක් බවත් එම කණ්ඩායම විසින් එම පාලනය පිහිටුවා දැන් සිදු කරන්නේ එහි කොටස්කරුවන් ලෙස ජාතික ජන බලවේගයට ආරාධනා කිරීම බවට චෝදනා කරන අනුර දිසානායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ, එය අවංක ලෙසම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සඳහා වූ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වුවමනාවෙන් කරන්නක් නොවන බවය.

කෙසේ වෙතත් ජනතාව මුහුණ දී සිටින මෙම අර්බුදයෙන් මිදීම සඳහා කිසියම් හෝ පිළිගතහැකි යථාර්ථවාදී වැඩපිළිවෙළක් නිශ්චිත කාල රාමුවක් සහිතව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට සාධනීය ප්‍රතිචාර දැක්වීමට තම පාර්ශ්වය සූදානම් බවත් සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික හෝ නාමකරණයට වත්මන් පාර්ලිමේන්තු තුළින් පිහිටුවා ගනු ලබන ආණ්ඩුවකට දිගුකලක් රට පාලනය කිරීමට ජනවරමක් හෝ සදාචාරයක් නොමැති බවත් එහි අවධාරණය කර තිබේ.

අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ, "සර්ව පාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන කරුණු දෙකක් ගැබ්වී තිබෙනවා. එහි පළවැනි කරුණ තමයි සෑම පක්ෂයකටම සාධාරණ අයිතියක් හිමිවිය යුතු" බවයි.

"තමන් කොටස්කරුවෙකු වෙනවා නම් එම සියලු තීන්දු තීරණවල තමන් වගකිය හැකි ප්‍රශ්න කළ හැකි යාන්ත්‍රණයක් සර්ව පාක්ෂික ආණ්ඩුවක තිබිය යුතුයි. දෙවැන්න නියත වශයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන විය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ අපි කාටවත් එකතු වෙලා ආණ්ඩු කරන්න ජනවරමක් දීලා නෑ. මේ ජනවරමේ තියෙන්නේ එකිනෙකාට විරුද්ධව ලැබුණු ජනවරමක්. එකිනෙකාට ප්‍රතිපක්ෂව ලැබුණු ජනවරමක්. කිසිසේත් එකිනෙකා සාමුහිකව රටක් පාලනය කිරීමට ජන වරමක් නෑ. ඒ නිසා එම ආණ්ඩුව අන්තර්කාලීනවිය යුතුයි." ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.


"සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් මා කිසිවකුට පවසා නැහැ!"
 
xfgfdgdfජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ


පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති මේ මොහොතේ මෙම අන්තර්කාලය පසු කිරීම සඳහා සුදුසුම උත්තරය වන්නේ සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම බව රට හමුවේ මුල්වරට පෙන්වා දුන්නේ තමන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේය.

මෙම යෝජනාව පසුගිය අප්‍රේල් 08 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් ලිඛිතව ඉදිරිපත් කරනු ලැබූ බවත් ඔහු එය සුදුසු පරිදි පිළිනොගත් බවත් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණ ලෙස 'වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාල රාමුවක් තුළ අර්බුද සමනය කර ගැනීම සඳහා අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් යෝජනා 12කින් සමන්විත යෝජනාවලියක් ද පසුගිය ජූලි 28 වැනි දින තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ බවයි.

එසේම එම අවම පොදු ජාතික වැඩපිළිවෙළ සැකසීම සඳහා කැඳවිය යුතු සර්වපාක්ෂික සමුළුවේදී සැළකිල්ලට ගත යුතු නිර්දේශ ඇතුළත් යෝජනා 10ක් ද තමන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කළේය.

"සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ අදාළ සර්වපාක්ෂික එකඟතාවයෙන් යුතු අවම පොදු ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ය."

තම යෝජනා ද සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී සැකසෙන එම 'අවම පොදු ජාතික වැඩපිළිවෙළ' දෙස තමන් විමසිලිමත්ව සිටින බවත් එය ක්‍රියාත්මක කිරීම පිණිස සැකසෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට තමන් එක් වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේය.


43 සේනාංකයේ ස්ථාවරය

xfgdgyපාඨලී චම්පික රණවක


මේ දිනවල තමන් ආණ්ඩුවට එක්වීමට යන බවට සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි පුළුල් ප්‍රචාරයක් දියත් කරමින් පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඔහු කියාසිටියේ මින් පෙර කී ලෙසම තමා ඇතුලු 43 සේනාංකය; රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගනිමින් ජනතා විශ්වාසය යළි දිනාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා ඉටුවන්නේ නම් පමණක් 'සර්ව පාක්ෂික' ආණ්ඩුවක් සඳහා එක් වීමට සූදානම් බවට වූ ස්ථාවරය මේ වන තෙක් වෙනස් කොට නොමැති බවයි.

අදාළ යෝජනා මේ වනවිටත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් ඒවායින් ඇතැම් දේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද එකඟතාවය පළ කොට තිබෙන බවත් ඔහු පැවසීය.

නමුත් මේ වන විට එම යෝජනා බොහොමයක් ඉටු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපොහොසත් වී ඇතැයි රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

"රට ව්‍යවසනයකට ඇද දැමූ දේශපාලකයන් සහ නිලධාරීන්ට දඬුවම් දීම පසෙක තබා, පීඩනය දරාගත නොහැකිව ඊට ප්‍රතික්‍රියා දැක්වූ අරගලයන්ට සක්‍රීයව සම්බන්ධ වූ සාමාන්‍ය ජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුව සිදු කරගෙන යන දඩයම නවත්වන බවක් පෙනෙන්නට ද නැහැ. විරුද්ධ පක්ෂවල එක් එක් පුද්ගලයන් අල්ලා ගැනීම මිස අදාළ පක්ෂ සාමූහිකව සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් කරගැනීමේ වැඩපිළිවෙලක් ද ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර නැහැ."

යෝජනා ඉටු නොවුණු තත්ත්වයක් තුළ, රාජපක්ෂවරු විසින් මෙහෙයවන විධායකයක් ප්‍රමුඛ ආණ්ඩුව සමඟ එක්ව ඇමැති ධුර ලබාගැනීමේ අදහසක තමන් නොසිටින බවත්, විවිධ දේශපාලන අරමුණු උදෙසා ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නන්ගේ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයට?

ඩලස් අලහප්පෙරුම ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මීළඟ පාර්ලිමේන්තු වාරයේ සිට සෘජුවම විපක්ෂය හා සම්බන්ධවීමට සූදානමින් සිටින බවට දේශපාලන විචාරකයෝ පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශයට පත්කර තිබුණු පක්ෂ 9 කණ්ඩායම සමඟ මන්ත්‍රීවරුන් 20 පමණ මෙසේ විපක්ෂයට එක්වන බව එම කණ්ඩායමේ නම හෙළිකිරීමට අකමැති මන්ත්‍රීවරයෙකු සඳහන් කළේය.


(BBC සිංහල සේවය)

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්