theleaderlk 01

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නව නිෂ්පාදන තුනක් (03) වෙළඳපලට

(රජයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD -  Medical Supplies Division)  හා පුද්ගලික අංශයේ වෙළඳපොළට හඳුන්වාදීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) දිනයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පැවති උත්සවයකදී සිදුකරනු ලැබිය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තම නිෂ්පාදනයන් ප්‍රධාන වශයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයට හා පුද්ගලික අංශයේ වෙළඳපොළට සපයනු ලබයි.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් Mefenamic Acid Tablets BP 500mg යන ඖෂධය රජයේ වෛද්‍ය සැපයුම් අංශයට හා පුද්ගලික අංශයේ වෙළඳපොළටත්, Levothyroxine Tablets IP 50 mcg හා Omeprazole Capsules IP 20mg යන ඖෂධයන් පුද්ගලික අංශයේ වෙළඳපොළටත් (Local Market) ලබාදීම මුලික කරගෙන එදින මෙම නිෂ්පාදනයන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබිය.


1- Mefenamic Acid Tablets BP 500mg

රජයේ වෛද්‍ය සැපයුම් අංශයට හා පුද්ගලික අංශයට නිකුත්කළ මෙම අයිතමය නිෂ්පාදනය කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇත්තේ 2021 වර්ෂයේ දීය.


මෙම නිෂ්පාදනය වෛද්‍ය සැපයුම් අංශයට බෝතල් ඇසුරුම් ( Bulk Packing) ලෙසත්, පුද්ගලික අංශයේ වෙළඳපොළට Blister ඇසුරුම් ලෙසත් ලබාදීම අරමුණු කරගෙන එදින මෙම නිෂ්පාදනයන් අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.



එමෙන්ම මෙම නිෂ්පාදනය සඳහා ඇණවුමක් ලබා දෙන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට දන්වා ඇති අතර එසේ ලැබෙන ඇණවුම් පාදක කරගෙන මෙම නිෂ්පාදනය වෛද්‍ය සැපයුම් අංශයට ලබා  දීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, පුද්ගලික අංශයට අලෙවි කිරීම සඳහා මෙම නිෂ්පාදනය අගෝස්තු 19  වන දින සිට සූදානම් කර ඇති අතර ඉදිරියේ දී මෙම නිෂ්පාදනය අඛණ්ඩව  පුද්ගලික අංශයට ලබාදීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට සිදු කරමින් පවතින බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.


2- Levothyroxine Tablets IP 50 mcg

මෙම නිෂ්පාදනය 2021.08.06 වන දින රජයේ වෛද්‍ය සැපයුම් අංශය මූලික කරගෙන බෝතල් ඇසුරුම් ලෙස ( Bulk Packing)  එළි දක්වන ලද අතර ඉන්පසු මෙම නිෂ්පාදනය 2022 අප්‍රේල් මාසයේදි එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් Blister ඇසුරුම් ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබා දෙන ලදි.


එනමුත්, මෙම නිෂ්පාදනය පුද්ගලික අංශයට හඳුන්වා දීම සිදු කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15 ) දින යි. ඉන් පසු එදින සිට මෙම නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ බලයලත් බෙදාහරින්නන් හරහා දිවයින පුරා ඇති සියලු ඖෂධ වෙළඳසැල් හා අනෙකුත් පුද්ගලික රෝහල් වෙත ලබාදීම ආරම්භ කර තිබේ.



3- Omeprazole Capsules IP 20mg

මෙම නිෂ්පාදනය රජයේ වෛද්‍ය සැපයුම් අංශයට 2021 වර්ෂයේදී සපයන ලදි.

තවද, පුද්ගලික අංශයට මෙම නිෂ්පාදනය Blister ඇසුරුම් ලෙස ලබා දීම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15 වන දින ආරම්භ කළ අතර එතැන් සිට මෙම නිෂ්පාදනයද අඛණ්ඩව සියලුම පුද්ගලික රෝහල් හා ඔසුසල් ජාලයන් වෙත නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විශේෂයෙන් පුද්ගලික අංශය තුළ අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනයන් හා ඖෂධ ආනයනකරුවන්ගේ නිෂ්පාදනයන් සමග ඉතාමත්ම තරගකාරීව කටයුතු කරයි.

සුව ඇමතිට අන්දලා ද ?

කෙසේවුවද සිය උපන් දිනය දා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සතුටු කිරිම සඳහා මීට පෙර හඳුන්වා දුන් ඖෂධ වර්ග දෙකක් නව ඖෂධ ලෙස පෙන්වමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති උත්පල ඉන්ද්‍රවංශ උත්සවයක් පවත්වා ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙසේ රාජ්‍ය අංශය මැදිහත් වීමෙන් එකවර නව නිෂ්පාදනයන් තුනක් පුද්ගලික අංශයේ වෙළඳපොළට ලබාදීම තුළින් මෙම නිෂ්පාදනයන් සඳහා පුද්ගලික අංශය සතුව පැවති වෙළඳපොළ ඒකාධිකාරය බිඳදැමීමට කටයුතු කර ඇති බවයි.

ඒ හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදුකිරීමට පිටරටින් ඖෂධ ආනයනය කරන්නන් පෙළඹී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


සබැඳි පුවත් :
තවත් ඖෂධ දෙකක් ලංකාවේ නිපදවයි : රු. මිලියන 88ක ඉතිරියක්  

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්