ආසියානු ක්‍රිකට් තරඟාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සදහන් කර තිබේ.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් විසිදෙනෙකු නම් කර ඇත.
පිතිකරණය සඳහා කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, ධනංජයද සිල්වා අයත් වේ.
වනිදු හසරන්ග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම දඟ පන්දු යැවීමේ බලඇණියට නම් කර ඇත.
තමිර දුෂ්මන්ත, බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුලත් වේ.
ඊට අමරතව ඩිල්ෂාන් මධුෂංක සහ මතීෂ පතිරණ, නුවනිදු ප්‍රනාන්දුද කණ්ඩායමට ඇතුලත් කර තිබේ.
කෙසේ වෙතත් දුලිත් වෙල්ලාලගේ මෙම සංචිතයට ඇතුලත් කර නොමැත.
අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා ආසියානු ක්‍රිකට් තරඟාවලිය එක්සත් ආරාබිය එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වය යටතේය.
ආසියානු කුසලාන 2022 ක්‍රිකට් තරගාවලිය සඳහා විසි දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ ලිපිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ප්රමාදකල බවට ඊයේ (19) මාධ්‍ය කිහිපයක ප්‍රචාරය විය. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ආසියානු කුසලාන 2022 ක්‍රිකට් තරගාවලිය සඳහා විසි දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා අනුමැතිය ලබාගැනීමට අදාල ලිපිය අගෝස්තු 12 වෙනිදා අමාත්‍යංශය වෙත යොමුකර තිබු බවයි.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරි පැවසුයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ආසියානු කුසලාන 2022 තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රිකට් කණ්ඩායමේ නම් ඇතුලත්ව යොමු කළ ලිපි ගොනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත ලැබී තිබෙනුයේ 2022.08.19 දිනයෙදී බවයි.
එම ලිපි ගොනුව ලැබුණු සැනින් පැයක් ඇතුළත ක්‍රියාත්මක වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා කිසිදු ප්‍රමාදයකින් තොරව ඒ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කල බව ඔහු සඳහන් කළේය.
මාධ්‍ය මගින් එම ප්‍රවෘත්තිය පළ වීමෙන් පසු ඊට මැදිහත් වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වරයා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හෝ වෙන යම් ආයතනයකින් අඩුපාඩුවක්, ප්‍රමාදයක් හෝ ගැටලුවක් ඇති වී ඇත්නම් සහ එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව වහාම සොයා බලා ඊට අවශ්‍ය නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් කියා සිටියි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.