“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා
දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.
ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය ඊයේ පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ ස්ථාපත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා එම ප්‍රබල දේශපාලනඥයා සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත ඔහුගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇති බව දේශබන්දු තෙන්නකෝන්ගේ ලිපියේ සඳහන් වේ.
මෙම නව සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබා දී ඇති බවද එම ලිපිය මගින් තෙන්නකෝන් දැනුම් දී ඇත.
මෙම නව සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂ යටතේ ක්‍රියාත්මක සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින්ගේ සහය හිමිව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි 'ලංකාදීප' වාර්තා 'ලංකාදීප' වාර්තා කර තිබේ.
අරගලයේ නිරත ව සිටි පාර්ශව ඒකාබද්ධව නව සංවිධානයක් ආරම්භ කර නව සාමාජිකයන් බදවා ගැනීම සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
මෙම නව සංවිධානයේ අනුශාසකවරුන් වශයෙන් ජීවන්ත පීරිස් පියතුමා, කොස්වත්තේ මහානාම හිමියන් කටයුතු කරන බවත්, සම කැදවුම්කරුවන් වශයෙන් මාධ්‍යවේදී කැලුම් අමරසිංහ, සේනාධි චතුරංග ගුරුගේ, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් මංජුල සමරසේකර යන අය තෝරා පත්කිරීමට නියමිත බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇතැයි 'ලංකාදීප' වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
''පට්ටපල් බොරුවක් '' - මංජුල සමරසේකර
මංජුල සමරසේකර
මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදී මාධ්‍යවේදී මංජුල සමරසේකර පැවසුයේ, කිසිඳු දේශපාලකයකු සමග තමාගේ සම්බන්ධයක් නොමැති බවයි.
ඔහු තවදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.
''අරගලය ජාතික මධ්‍යස්ථානයෙ පටන් ගත්තේ නිර්පාක්ෂික අරමුණු මූලික කරගෙන ඇරඹුණු අරගලයයේ පාර්ශ්වකරුවන් සියලු දෙනාට දේශපාලන අනන්‍යතා පැත්තක තියලා එකතු වෙන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්, සංස්කෘතික වැඩ කරන්න පුළුවන්, මාධ්‍ය වැඩ කරන්න පුළුවන් තැනක් හදන්න. ඒකට අයිතිකාරයෝ නෑ. පොදු අවකාශයක්.
ඒත් අරගලයට සම්බන්ධ සියලු අංකුර විනාශ කිරීමේ ආණ්ඩුවේ වුවමනාව නිසා මේ උත්සාහයත් පෙසපෙයේ වැඩක් බවට පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ හරහා මේ සියල්ල පෙසපයේ සැලසුම් බව පෙන්වලා පෙසපය මර්ධනය කරන්නත් ඔවුන් සැලසුම් කරනවා වෙන්න පුළුවන්.
2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වුන සරත් ෆොන්සේකාට සමාජ මාධ්‍ය හරහා සහාය දුන්නා මිසක් ඉන් පස්සේ කවදාවත් ඔහුගේ දේශපාලන මතවාදය නියෝජනය නොකරපු, ඔහු එක්ක දේශපාලන නොකරපු අපිව එතැනට ඇදලා දාන්න උත්සාහ කරන්නේ, පෙසපය සහ සරත් ෆොන්සේකා අතර තියනවා යැයි කියැවෙන දේශපාලන හිතවත්කම ඉස්මතු කරන්න බව පැහැදිලියි.
ආණ්ඩුව තමන්ගේ මර්ධනය තීව්ර කරන්න නොයෙකුත් උපක්‍රම හොයමින් ඉන්නවා. පට්ටපල් බොරු ගොතමින් ඉන්නවා. ලේසියෙන් ගූගල් කරලා හොයාගන්න පුළුවන් අපේ විස්තර වෙනුවෙට එයාලගේ පිටපතට අනුව ගොතපු කතන්දර පැළ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. පොලිසියේ බුද්ධි අංශ හොයාගත්තේ ඔය වගේ බොරු ටිකක් නම්, මේ වෙලාවේ මහජන ආරක්ෂාව කොච්චර අනතුරකද තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න.
'මර්දනයට එරෙහිව පැමිණිලි දහසක්'
අපි ආණ්ඩුවේ අලුත් උපක්රමවලට මුහුණ දෙන්න ලෑස්තියි. අද සිට 'මර්දනයට එරෙහිව පැමිණිලි දහසක්' වැඩසටහන අපි පටන් ගන්නවා. ව්‍යාජ චෝදනා ගොනු කරමින්, නීති විරෝධීව අරගලකරුවන් මර්දනය කරන පොලිසියේ හැමෝම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මුහුණ දෙන්න සූදානමින් ඉන්න වෙයි.
මේ සෙල්ලම්වල කල් ඉකුත්වෙන දවසක් තියන බව මතක තියාගන්න. එදාට නීතිය ඉස්සරහට එන්නත්, අලුත් රස්සාවක් හොයාගන්නත් පොලිසියේ මහත්වරුන්ට සිද්ධ වෙයි.
ඒ මදිවට මේ ලිපි නිකුත් කරන්නේ, පරීක්ෂණ පවත්වන්න අණ දෙන්නේ මැයි 9 ගෝල්ෆේස් ප්‍රහාරයේ ප්‍රධානතම චූදිතයෙක් වීම මාර ම විහිළුවක්. රනිල් වික්‍රමසිංහගෙන් අපි අහන්නේ දේශබන්දු ඔයාගේ දේශපාලන අතකොලුවක් ද, නැත්නම් ඔයා දේශබන්දුගේ දේශපාලන අතකොලුවක් ද? කියලා.
අපි පුද්ගලිකවත්, සංවිධාන ලෙසත් මේ මර්දනයට නීතිය ඉදිරියට යනවා. අරගලයට මේ දෙන ප්‍රාණ වායුවට නම් ආණ්ඩුවට ස්තුතියි කියන්නම ඕන.''