බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන් වෙනුවෙන් රට තුල යුක්තිය ඉටු කරවා ගැනීමේ බලාපොරොත්තු කඩවුණු දිවයිනේ උතුරේත් දකුණේත්

පීඩිතයන් ජාත්‍යන්තර සරණ ඉල්ලා සිටියදී, ආණ්ඩුවේ ක්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.

සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා දින 2000කට වැඩි කාලයක් කුසට නිසි ආහාරයක් පවා නොමැතිව වීදියේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මවුවරුන් අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙන් වු ජාත්‍යන්තර දිනය යෙදී තිබු අගෝස්තු 30 අඟහරුවාදා උතුරු නැගෙනහිර පුරා විරෝධතා පවත්වමින් නැවත නැවතත් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙසයි.

උතුරුකරේ අගනුවරදී ඔවුන් තම ඉල්ලීම ඉදිරිපත් කළේ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිටදීය.

සිය සමීපතමයන් අතුරුදහන් කරවීමට වගකිවයුතු රටින් පලා ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කරන තෙක් සිය අරගලය නතර නොකරන බවට ඔවුන් එහිදී සපත කර තිබුනි.

"අපරාධකාරයා දැන් රටින් රටට පැන පැන යනවා. මිනිහා ජාත්‍යන්තර අධිකරණයට ගෙනිහිල්ලා යුක්තිය හරියට ඉෂ්ඨ කරන තාක් කල් අපි අපේ අරගලය නවත්වන්නේ නෑ," යි විරෝධතාවට එක්ව සිටි එක් මාතාවක් වේදනාබරව පැවසුවාය.

උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් යුද්ධයේ අවසාන සමයේ රජයේ ආරක්ෂක අංශ වලට භාර දෙනු ලැබුවන්ය.

 

අතුරුදහන් කරනු ලැබීමේ ගොදුරු බවට පත්වූ තම ඥාතීන් සොයා යන දකුණේ මවුවරුන් පිරිසක්ද කොළඹ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයට සන්දේශයක් බාර දෙමින් කියා සිටියේ දේශීය විසඳුමක්  කෙරෙහි  විශ්වාසයක් නැති බැවින් ලබන මාසයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල (UNHRC) සැසිවාරයේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුල් කරගන්නා ලෙසයි.

 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳ වාර්තාවක් සැප්තැම්බර් 12 වැනිදා UNHRC වෙත ඉදිරිපත් කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා යෝජනාවක් ද සම්මත කරගැනීමට නියමිතය.

ජිනීවා යන ආණ්ඩුවේ නියෝජිත පිරිසට නායකත්වය දෙන විදේශ ඇමැති අලි සබ්රි ඒ පිළිබඳ පොදු සාකච්ඡාවේදී කරුණු දක්වනු ඇත. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද එම කණ්ඩායමට ඇතුල් කිරීමට රජය තීරණය කර ඇත.

"සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ මේ දැන් මේ රජය කරන දේවල් වලට," යයි පළමු රාජපක්ෂ පාලන සමයේදී අතුරුදහන් කරන ලද ඩිලාන් ජමාල්දීන්ගේ මව ජෙනිෆර් වීරසිංහ බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියා ය.

ඩිලාන් ජමාල්දීන් ඇතුළු පිරිමි එකොලොස් දෙනකු කොළඹ සහ ඒ අවටින් පැහැරගෙන ගොස්, ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පොලොව යට වධකාගාරයක සිරකොට තබා, වද දී අතුරුදහන් කරන ලද බවට චෝදනා ලබා සිටින්නේ ශ්‍රී ලංකාවේ ඉහලම නාවික සම්මානය වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් පදවියෙන් බුහුමන් ලද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසකි.

 

"සෑම පාලකයකුගේම අත් වල ලේ තැවරී ඇති නිසා" කිසිම ආණ්ඩුවක් අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කරගැනීම වෙනුවෙන් උනන්දුවක් දක්වන්නේ නැති බව එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල නියෝජිතයන්ට පැවසු අතුරුදහන්වූගේ ඥාතීන්ගේ සංගමයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු රජය විසින් පිහිටුවා ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

 

"මෙතන ඉන්න හැම දෙනාම OMP එකට විස්තර දීලා තියෙනවා. ඒත් ඒ කාටවත් කැඳවලා නෑ. ඒගොල්ලෝ කියනවා විමර්ශන දෙදාහක් විතර කරලා තියෙනවා කියලා. ඒත් කවුරුත් මුකුත් දන්නේ නෑ. ඕගොල්ලෝ වත් මේ ගැන හොයා බලන්න."

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ නායකත්වයෙන් පස් අවුරුද්දකට පෙර වර්තමාන ජනාධිපති රටේ අගමැති සමයේ පිහිටුවන ලද OMP කාර්යාලය අතුරුදහන් එක් අයකුට හෝ අත්වූ ඉරණම හෙළි කර නැත.

කාර්යාලය පිහිටවූ දවසේ පටන් එහි පලදායී භාවය ගැන සැක පහල කළ දෙමළ මව්වරුන් අතුරුදහන් කරනු ලැබුවන් පස් දෙනකු පිළිබඳ විස්තර ලබා දී කියා සිටියේ ඔවුන් පිළිබඳ සත්‍යය අනාවරණය කරතොත් ස්වේච්ඡාවෙන්ම  OMP යේ සහායට පැමිණීමට තමන් සුදානම් බවයි.

 

ඔවුන්ගේ ඉල්ලීම අද වන තුරු ඉටුවී නැතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අතුරුදහන් වූවන් වෙනුවෙන් වූ දිනය සමරමින් OMP කාර්යාලය ප්‍රශංසාවට ලක් කළේ 'නිවැරදි දිශාවට තබන ලද තවත් පියවරක්' ලෙස හඳුන්වමිනි.

 

"OMP ය වෙත ලැබී, ප්‍රකාශයට පත් කරන ලද 'සොයාගත නොහැකි සහ අතුරුදහන් කිරීමට ලක් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි සහ තොරතුරු ලැයිස්තුව', සිදුවීම් පැහැදිලි කරගැනීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා ප්‍රයෝජනවත් පදනමක් සකස් කර තිබේ," යි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණාය.

"වින්දිතයින්ගේ පවුල්වල විශ්වාසය දිනා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා විශ්වසනීය ක්‍රියාදාමයන් සැපයීමට තවත් බොහෝ දේ සිදුකළ යුතුව තිබේ," යි ඇය වැඩිදුරටත් කියා තිබුණි.

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය ඥාතීන්ට යුක්තිය ඉල්ලා මන්නාරම, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, අම්පාර හා ත්‍රිකුණාමල  දිස්ත්‍රික්ක වලදීද පැවැත්වුණු විරෝධතා වලදී යළි යළිත් ඉල්ලා තිබුනේ සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමකි.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් පුදුකුඩිඉරිප්පු නගරය දක්වා පැමිණි යුද පීඩිත දෙමළ මව්වරුන් අගෝස්තු 30 වැනිදා  රජයට බල කර සිටියේ සිය ලේ ඥාතීන් අතුරුදහන් කිරීමට රජයේ ආරක්ෂක අංශ සහ යුද හමුදාව සම්බන්ධ බැවින් ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.

කොළඹ පදනම් කොටගෙන ක්‍රියාත්මක වන අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීමේ කමිටුවේ (CID) සාමාජිකයන් කිහිප දෙනකුද විරෝධතාවයට එක්වෙමින් සිය සහයෝගය පළ කර තිබු අතර දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, උතුරු නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදා හරිනු, බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ට අත් කළ  ඉරණම ගැන සත්‍ය හෙළි කරනු, ආදී සිංහල බසින් ලියන ලද සටන් පුවරු රැගෙන ඔවුන්  අත තිබෙනු දක්නට ලැබුණි.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්