නාගොඩ බෝඹුවල වී පර්යේෂණායතනය අසල පෞද්ගලික හිමිකරුවකුට අයත් ඉඩමක තිබී

අගෝස්තු 30 දින පස්වරුවේ පස් කපන යන්ත්‍රයකින් භූමිය සකස් කිරීමේ දී හමුව තිබු කිලෝ ග්‍රෑම් 250ක් පමණ බරැති දෙවන ලෝක යුද්ධ සමයේ බවට සැකකෙරෙන ගුවන්යානා නාශක මෝටර් බෝම්බය සැප්තැම්බර් 1 පස්වරුවේ විශේෂ කාර්ය බලකාය විසින් දොඩන්ගොඩ ප්‍රදේශයේ ගල් වළක් තුළ දී නිෂ්ක්‍රිය කිරීමේදී ප්‍රදේශය පුරා දැඩි දෝංකාරයක් සමග ගල් වර්ෂාවක්සේ විසි වී කම්පනයක් ඇතිවී නිවාස කිහිපයකට ද අලාභානි වී ඇත.


දිනය සැප්තැම්බර් මාස පළමුවැනිදා ය. වෙලාව සවස 6.30ට පමණ ඇත.

එක්වරම ඇති වූ පිපිරුමක් සමග නිවසේ බඩුමුට්ටු සහ වහලය සෙලවෙන්නට විය. නිවසේ රූපවාහිනිය නරඹමින් සිටි කුඩා දියණිය වාඩි වී සිටී පුටුව ද සමග බිම ඇදවැටිණි.

ඇති වූ කම්පනය නිසා තත්පර කිහිපයක් යන තෙක් අප කිසිවෙකුට කිසිවක් කතා කරගත නොහැකි විය. භූමිකම්පාවක්, බෝම්බයක් ආදී විවිධ උපකල්පන කරමින් සිටින විට මගේ ජංගම දුරකතනය නාද විය.

‘ජනක අයියෙ, බෝම්බයක් පුපුරලා අපේ ගෙවල් විනාශ වෙලා තියෙන්නෙ. බෝම්බය පුපුරලා තියෙන්නෙ සීඑම්එල් ගල් වලේ.’


ජනතාවගේ චෝදනාව

එම තොරතුරට අනුව මම ද යතුරුපැදියෙන් බෝම්බය පිපිරුණු තැනට ගියෙමි. මා එහි යන විට එතැන එක ම ගාලගෝට්ටියකි. සියයක පමණ පිරිසක් එහි රැස්වී සිටි අතර, ඔවුහු දිගින්-දිගටම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට චෝදනා කරමින් සිටියහ.

‘මෙතැන එස්ටීඑෆ් එකෙන් බෝම්බයක් පුපුරවලා තියෙනවා. ඒකෙන් අපේ ගෙවල් විනාශ වෙලා තියෙනවා.’

‘අපේ දරුවා බය වෙලා, කැලේ පැනලා. සමහරු තවම අඬනවා. සමහරු තවම කතා කරන්නෙ නෑ.’

‘වහල කඩාගෙන ගෙවල් ඇතුළට ගල්, යකඩ කෑලි වැටුණේ. මෙහෙම ගමක් ඇතුළේ මේ විදිහට බෝම්බ පුපුරවන්න පුළුවන්ද?’


පිළිතුරු මොනවාද?

ජනතාව ඇසූ මේ ප්‍රශ්නවලට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් මෙසේ පිළිතුරු ලැබිණි.

‘පස් කන්දක් කපන කොට මේ බෝම්බය හම්බෙලා තියෙන්නෙ. මේක පිපිරෙව්වෙ අධිකරණයෙන් අවසර අරගෙන.’

සංවාදය කෙසේ වුවද, ඕනෑ තරම් සංවාද කළ හැකි වුවද, මේ බෝම්බය පිපිරීමෙන් ජනතාවට සිදු වූ හානිය ඉතා බරපතළ ය. ජීවිත හානි නැති වුවද, එක් අයෙකු තුවාල ලබා ඇති අතර, නිවාස ගණනාවකට අලාබහානි සිදු වී ඇත.


වසර 24ක් පීඩාවිඳින ජනතාවක්


මේ ප්‍රශ්නය තවත් බරපතළ වන්නේ ගල් වළවල් හේතුවෙන් වසර 24ක් තිස්සේ පීඩා විඳින ජනතාවකට මේ විනාශයටත් මුහුණ දෙන්නට සිදු වීම ය.



මේ අනතුරින් බරපතළ ම හානි සිදු වී ඇත්තේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානිල්ල ගම්මානයට ය. මේ ප්‍රදේශය වටකරගත් මහා පරිමාණ ගල් වළවල් ප්‍රමාණය පහකි. මීට අමතරව කුඩා පරිමාණයේ ගල් වළවල් 27ක් පමණ ප්‍රදේශය පුරා ක්‍රියාත්මක ය.

මේ ගල් වළවල් හේතුවෙන් බිත්ති පුපුරා නැති ගෙයක් මානිල්ල ප්‍රදේශයේ නැත. මීට අමතරව නෑහින්න, වඩුගම, දේවාලේගම, බෙල්ලන, තුඩුගල ආදී ගම්මාන රැසකට ද මේ ගල් වළවල්වල සෘජු බලපෑමට මුහුණ දීමට සිදු වී ඇත.


විෂ කුඩු – ගල් කැබලි


මානිල්ල ප්‍රදේශය වටකරගත් ප්‍රධාන ගල් වළවල් වන්නේ අයිසීසී, සීඑම්එල්, ආර්ආර් යන සමාගම්වලින් පවත්වාගෙන යන ගල් වළවල් ය.

මේ අතරින් අයිසීසී සහ ආර්ආර් ගල් වළවල්වල සිදු කරන්නේ කාපට් සැකසීමයි.

මේ හේතුව නිසා බොහෝ අවස්ථාවලදී ප්‍රදේශය දුමාරයකින් වැසී යයි.

එය කාපට් මිශ්‍රණ සැකසීමේදී පරිසරයට මුදා හැරෙන විෂ සහිත කුඩු වර්ගයක් බව අනාවරණය වී තිබේ.

මෙය පෙනහලුවලට දැඩි බලපෑමක් එල්ල කරන බවට සෞඛ්‍ය අංශවලින් පවසා ඇත.

ප්‍රදේශයේ පිළිකාවලට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ද පසුගිය වසර කිහිපයේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

 මීට අමතරව ගල් වළවල්වලින් විසි වන ගල් කැබලි වැටී නිවාසවලට හානි සිදු වූ අවස්ථා ද තිබේ.

ජනතාවට භාවිත කිරීමට සිදු වී ඇත්තේ ගල් වළවල්වලින් මුදාහරින ඇමෝනියා සහ තාර මිශ්‍ර වූ ජලයයි.


නාය යෑම් අවදානම් කලාපයක්

මෙම බෝම්බ පිපිරුමේ ඇති තවත් බරපතළ කාරණයකි, බරපතළ ලෙස නාය ගිය ප්‍රදේශයක මෙය සිදුකිරීම.

බෝම්බය පුපුරුවා හරින ලද ස්ථානයට මීටර් 500ක් දුරින් 2019 සැප්තැම්බර් 15 දින නාය යෑමක් සිදු විය.

එයින් වඩුගම සදානන්ද විද්‍යාලයට බරපතළ හානි සිදු විය.

එදින ම මේ ගල් වළ පිහිටි කන්දේ අනෙක් පැත්තේ පිහිටි නෑහින්න කන්ද ද නාය ගියේය. තරමක් විශාල සත්ත්ව ගොවිපොළක් එයින් සම්පූර්ණයෙන් ම පස්වලින් යට විය.

මීට අමතරව මේ අසල පිහිටි නෑබඩ ප්‍රදේශයේ සිදු වූ නාය යෑම් ගණනාවකින් ජීවිත සහ දේපොළ රැසක් අහිමි විය.

පුරාවෘත්තවලට අනුව මෙම ප්‍රදේශය දීර්ඝ කාලයක තිස්සේ නාය යෑම්වලට ලක්වන ප්‍රදේශයක් වන අතර, ඒ නිසා ම නාය බඩ යන අර්ථයෙන් නෑබඩ යන නම භාවිත කරයි.


කම්පනයේ තරම


මෙම බෝම්බය පුපුරුවා හරින ලද ගල් වළ අඩි 20කට වඩා ගැඹුරු ය. එසේ තිබියදීත් බෝම්බයේ කැබලි කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි නිවෙස්වල වහල මතට ද වැටී තිබේ. කිලෝමීටර් 10කට ආසන්න දුරකට මෙහි කම්පනය දැනී ඇත. එයින් ම බෝම්බයේ විශාලත්වය පිළිබඳව අදහසක් ගත හැකිය.



අනාගත අවදානම

භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් නාය යෑම් අවදානම් කලාපයක ලෙස නම් කර ඇති මෙවැනි ප්‍රදේශයක මෙතරම් විශාල බෝම්බයක් පුපුරුවා හැරීම මගින්, පස් තට්ටු තවදුරටත් බුරුල් වී අනාගතයේ බරපතළ නාය යෑම් අවදානමක් නිර්මාණය වී තිබේ.


කණගාටුව පළකරයි

සිදුවීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් හානියට පත් නිවෙස්වලට ගොස් නිවැසියන්ට කණගාටුව පළකර ඇත. එය වැදගත් ය. එහෙත් කළ යුත්තේ එය ද?
 
 

වගකියන්නේ කවුද?

බෝම්බය පුපුරුවා හැරීමට පෙර ප්‍රදේශය ගැන හෝ බෝම්බයේ විශාලත්වය සහ ධාරිතාව පිළිබඳව ඔවුන් කිසිදු අවබෝධයක් ලබාගෙන නැති බව පැහැදිලි ය. මේ නොසැලකිලිමත් බව නිසා ජන ජීවිත බරපතළ අවදානමක හෙළා තිබේ. මේ ජනතාවගේ අනාගතයට වගකියන්නේ කවුද ???


(ජනක විජේගුණතිලක)
නිදහස් මාධ්‍යවේදී 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා