"විශ්වවිද්‍යාල ආචාර්යවරු, ලෝයර්ස්ලා, දොස්තරලා ඔක්කොම එකතු කළත් ලක්ෂයක්වත් නැහැනෙ.
මිලියන ගණන් ඡන්ද තියෙන්නේ ගම්වල. ගම අතේ තමයි මේක (බලය) තියෙන්නේ." - අනුර කුමාර දිසානායක (2022 සැප් 9, ඒෂියන් මිරර් සිංහල)
ඉහත ප්‍රකාශය වනාහි ජවිපෙ වත්මන් දේශපාලන පිළිවෙත පෙන්වන කැඩපතකි.
හරිනි අමරසූරිය වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ලාල් විජේනායක වැනි නීතිඥයන්, නිහාල් අබේසිංහ වැනි වෛද්‍යවරුන් ආදී වෘත්තිකයන් ගැන ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර සහෝදරයා මෙහිදී කතා කරන්නේ අවතක්සේරුවෙන්.
අනුරගේ මුහුණේ සරදම් ඉරියව්වල තියෙන්නේ අනෙකා පහත් කොට කතා කරන ඔහුගේ සුපුරුදු උඩඟු ගතියයි.
ඔහු තවදුරටත් කියන්නේ “බලය තියෙන්නේ ඔවුන් (වෘත්තිකයන්) අතේ නොවන බවයි.” එය ලංකාවේ වෘත්තිකයන්ගේ පතාක ඊගෝවට ගහන වාක් කණේ පාරක්.
ඒක හොඳයි. මොකද ජාතික ජනබලවේගය කියන්නේ තනිකරම ඊනියා උසස් වෘත්තිකයන්ගේ ප්‍රභූ බල ව්‍යාපෘතියක් පමණයි.
වියත්මගෙන් පාර්ලිමේන්තු පැමිණි ඇතැම් කුමන්ත්‍රණකරුවන්ටත් ඒ අධිමාන්නය තිබෙනවා. ඔවුන් ටික තමයි ඩලස් එක්ක ගිහිල්ලා මේ දවස්වල අපිට විහිළු සපයන්නේ. ඔවුන් හිතනවා මේ රටේ ජනාධිපතිවරුන්ව ගේන්නෙත්, ගෙදර යවන්නත් ඔවුන්ය කියා. ඔවුන් දිගටම එහෙම හිතාගෙන සිටිය යුතුයි.
නමුත් වියත්මගේ තිබුණු තරම්වත් සාධාරණ සමාජ නියෝජනයක් ජාජබේ නැහැ. ඔක්කොම ඉන්නේ මේ සමාජයේ ඉහළම වරප්‍රසාදලත් ප්‍රභූන්. මාරම වැඩේ තමයි ජාජබේ මහලේකම් වන වෛද්‍ය නිහාල් අබේසිංහගේ වැඩිමහල් පුතා චතුරංග අබේසිංහත් ඔහුගේ විධායක කමිටුවේ සාමාජිකයෙක් වීම… (හිනා).
පවුල් දේශපාලනය ගැන අනුන්ට බණ කියන සුචරිත සූචක චතුරංගලා තමන්ගේ පියාගෙන් යැපෙමින් බලයෙන් ජවිපෙ තුළ පවුල් දේශපාලනය කරන හැටි තමයි ඒ… එහි වරදක් නැහැ. කාගේ පුතෙකුට දුවෙකුට වුණත් සමාන අයිතියක් තිබෙනවා මේ රටේ දේශපාලනය කරන්න. වරද තියෙන්නේ අනෙකාගේ එම අයිතිය ජවිපෙ කාඩරය විසින් විනිශ්චය කරන එකෙයි.
අනුර මෙහිදී රටේ වෘත්තිකයන් සහ ගැමියන් නිශ්චිත ලෙස වෙන්කර දක්වනවා. එය අතිශය ගතානුගතික වර්ගවාදී උපාදානයක්. එක පැත්තකින් වෘත්තිකයා යනු නාගරිකයෙකු ලෙස ස්ටීරියෝටයිප් කිරීමක්. ගැමියා යනු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන් හෝ වෛද්‍යවරුන් හෝ විය නොහැකි වර්ගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අතිශය සරල ලෙස සලකුණු කරනවා.
එය කොග්නිටිව් අපහරණයක්. වාමාංශික මතවාදීමය ජවිපෙන් අල්ප මාත්‍රයක්වත් අද වනවිට ඉතිරිව නොමැති බවට මෙය පැහැදිලි සාක්ෂියක්.
අනුරගේ හිරිවැටුණු කතාව හරියට දිලිත් ජයවීර වැනි කොළඹ ඇඩ්වර්ටයිසින් ෆර්ම්කාරයෙක් විසින් සවිඥානික මිනිස් ප්‍රජාවක් අතිශය සරල ලෙස මාර්කට් සෙග්මන්ට් කිරීමකට වෙනස් වෙන්නේ නැහැ.
ජනරජයේ වැසියන් “ඡන්ද කෑලි” වලට ලඝු කිරීමක්. හරියටම කිව්වොත් පැරණි ප්‍රජාතාන්ත්‍රික පෞරරාජ්‍යයන් හී “පුර”වැසියා හෙවත් නාගරිකයා සහ ඔවුන්ට පරිබාහිර කන්ට්‍රිමන් හෙවත් ගැමියා ලෙස එකල කළ ජාතිවාදී බෙදීමක්. මේ තමයි ජවිපෙ නූතනවාදී සමාජ-දේශපාලන කියවීම් සීමාව.
අනුරගේ මේ කතාව මුලදී කියනවා “ලංකාවේ ගැමියාට මහින්ද රාජපක්ෂ යනු සංස්කෘතියක්”ය කියා. එසේ වීමට පදනම ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ යුධ ජයග්‍රහණය ඔස්සේ සහ බුදුන්වහන්සේගේ ඥාතීත්වය අළලා දුටුගැමුණු වැනි දේශපාලන ආඛ්‍යානයක් නිර්මාණය කිරීමයි.
එය වෙනම කතාවක් වුවත් අනුර මේ කියන්නේ ගැමියා මෝඩයෙකු බවයි. එනම් දේශපාලන ආඛ්‍යානයන්ට නොරැවටෙන බුද්ධිමත් නාගරිකයා මෙන් නොවන ගොඩයන් පිරිසක් බවයි.
බුදුන්වහන්සේ ඈඳා ගැනීම තුළින් ඔහු කියන ගැමියා සහ සිංහල බෞද්ධ ප්‍රජාව වනාහී දෙකක් නොව එකක් බව පැහැදිලි වේ. සරලව කිව්වොත් ගමේ ඉන්න සිංහල බෞද්ධයා යනු නගරයේ ඉන්න හරිනිලා හෝ නිර්මාල්ලා හෝ වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝ නීතිඥයන් හෝ වෛද්‍යවරුන් හෝ වැනි වෘත්තිකයන් නොවේය යන්නයි.
නමුත් බලය ඇත්තේ එම ගොඩේ ගැමියන් “අත” බව අනුර තවදුරටත් කියයි. ඔහු කියන්නේ දැන් ගම “කැඩී” තිබෙන බවයි. එබැවින් මේ මොහොතේ ජාජබය විසින් එම ගැමියන්ගේ බලය ග්‍රහණය කළ යුතු බවයි. එනම් දේශපාලන සංස්කෘතික ආඛ්‍යානයන්ට නොරැවටෙන ජාජබේ වෘත්තිකයන් විසින් ඒවාට පහසුවෙන් රැවටෙන ගැමියන් රවටා ගත යුතු බවයි.
“බලය ගන්නවා නම් එයට පාර වැටී තිබෙන්නේ ගැමියා හරහා”ය කියා අනුර අන්තිමට කියනවා. ඔහු අවඥාවට ලක්කරන ගැමියා සතු බලය අල්ලා ගැනීම ගැනයි ඔහු මේ සිය ජාජබ උගතුන්ට උපදෙස් දෙන්නේ.
මේක තමයි ජවිපෙ බල දේශපාලන උපාය මාර්ගය.
කෝච්චියේ එල්ලී ගෝල්ෆේස් ආ ගමේ කොල්ලන්ගේ අතරැඳි දේශපාලන බලය කොලඹ ප්‍රභූ චතුරංගලා යොදවා අල්ලාගැනීම. හරිම සරලයි.
ධර්මය අපට මග වේවා !

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2022 සැප්තැම්බර් 10
***************
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.