දුප්පත්කම විකුණන ආණ්ඩු වෙනුවට දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක ප්‍රකාශ කරයි.

ඔහු එබව පැවසූවේ අම්පාර නගරයේ පැවති ජාතික ජන බලවේගයේ ජනතා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මෙසේද සඳහන් කළේය.

“දැන් ඡන්දයක් ඇවිත් තිබෙනවා. හැබැයි මේක මේ සැරේ පෙනෙන්නේ ඡන්ද කාලයක් වගේ නොවෙයි. නත්තල් කාලයක් වගේ. එක්කෙනෙක් කියනවා මම ආවොත් වී ගොවිතැනට නොමිලේ පොහොර දෙනවා. අනෙක් කෙනා කියනවා එයා බලයට ආවොත් සෑම වගාවකටම නොමිලේ පොහොර දෙනවා කියලා. 

දරුවෝ ඉන්න තැනකනම් කියනවා මම බලයට ආවම කිරි වීදුරුවක් දෙනවා කියලා. උපාධිධාරීන් ඉන්න තැනකදි කියනවා, ඔක්කෝටම රස්සා දෙනවා කියලා. ගැබිණි මව්වරු හිටියොත් කියනවා මම ඔක්කෝටම පෝෂණ මල්ලක් දෙනවා කියලා. නත්තල් පප්පලා දෙන්නෙක් ඇවිල්ලා වගේ. 

එදා සිරිමා කියනකොට මම ඔක්කෝටම නිකල් හාල් දෙනවා කියලා, කවුද අහලා තියෙනවා කොහෙන්ද ඔච්චර හාල් ගෙනල්ලා දෙන්න තියෙන්නේ කියලා. එතකොට එයා කිව්වලු මම හඳෙන් හරි ගෙනත් දෙනවා කියලා. ඒකටත් මිනිස්සු අත්පුඩි ගැහැව්වාලු. ඡන්දෙ දුන්න. 

ජේ.ආර්. මහත්මයා ඇවිල්ලා රටේ ජනතාවගේ ශරීර දුර්වල වෙලා; පෝෂ්‍ය පදාර්ථ අඩුවෙලා, ධාන්‍ය වර්ග රාත්තල් 08ක් මම නිකම් දෙනවා කිවුවා. ජනතාව එයාටත් කතිරෙ ගැහුවා. 
ප්‍රේමදාස මහත්තයා කිවුවා, මම කිරි වීදුරුවක් දෙනවා. බත් කාලා කන්න ගස්ලබු කෑල්ලක් දෙනවා කියලා. චන්ද්‍රිකා නෝනා ඇවිල්ලා කිවුවා, දැන් පාන් ගණන් නේද? මම 3.50ට පාන් දෙනවා කියලා.

ඉවරයක් නැතිව දෙනවා කිය කියා යනවා. ඇයි ඒ? 

 මේ කට්ටියම ඉවරයක් නැතිව දෙනවා කිය කියා යනවා. ඇයි ඒ? දුප්පත් ගෙවල්වල ඉන්න ගැබිණි දූලට ආහාර වේලක් දෙන්න අම්මලාට මුදල් නැහැ. ඒත් පෝෂණ මල්ලක් දෙනවා කියපු ගමන් දුවලා ගිහිල්ලා ඡන්දේ දෙනවා.

මේ දෙගොල්ලෝ දැන් දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාවගේ නැතිබැරිකම, දුප්පත්කම විකුණනවා. මේ බෙදන්න කතාකරන්නේ මේ රට පාලනය කරපු අයමයි. 

රාජපක්ෂලා අවුරුදු ගණන් රට පාලනය කළානේ. ඉතිං මේව කලින් දෙන්න තිබුණනේ. දැන් රට පාලනය කරන්නේ සජිත්ලනේ. ඉතිං ඒ ගොල්ලන්ටත් ඔය කියන ඒව දෙන්න තිබුණනේ. 

මේ තමුන්නාන්සේලගේ දුප්පත්කම විකුණන ආණ්ඩු වෙනුවට අපි මේ වතාවේ හදමු දුප්පත්කම තුරන් කරන ආණ්ඩුවක්.

''රටේ ගිණුම හිස්. නමුත් පාලකයාගේ ගිණුම පිරිලා''

රට ණය කන්දරාවකට යටකරලා. රටම ණය කරලා. රටේ ගිණුම හිස්. නමුත් පාලකයාගේ ගිණුම පිරිලා. දුප්පත්කමට හේතුව මේක තමයි. 

අපි දුප්පත් ගම්වල ඉපදිලා අතිශය අසීරු ජීවිත ගතකරපු අය. දැනු සජිත් ඇවිල්ලා කියනවා එයා දුප්පතාලු. මරු දුප්පතා.

අපිට මේ රටේ ජනතාව දුක් විඳින එක ගැන ඇත්ත වේදනාවක් තියෙනවා. ඒක ඡන්දය ගන්න කියන ව්‍යාජ එකක් නොවෙයි. අපි විඳින දුක ඈත ගම්වල අපේ දරුවෝ විඳිනවා. මේක වනස් කරන්න ඕන නැද්ද? 

මේ දුකින් ඔබලාට ගැලවෙන්න වුවමනා නම් ජාතික ජන බලවේගය බලයට ගේන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.''

''මේ රට හදන්න බැරි නම් ලෝකයේ හදන්න පුළුවන් රටක් කොහෙවත් නැහැ.'' අනුර කුමාර වැඩිදුරටත් අවධාරණය කළේය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්