වෘත්තිය සමිති වල අදහස් විමසීමකින් තොරව කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කර

තිබීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමට ගිය රටේ ඉහළම කම්කරු නායකත්ව මණ්ඩලයට කම්කරු අමාත්‍යාංශය තුලදීම දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

තර්ජනයට මුහුණ දීමට සිදුවී ඇත්තේ ආණ්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවාගෙන ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ දීර්ඝකාලීන නියෝජිතයකුටය.

"ඒ පුද්ගලයා අපිත් එක්ක සාකච්ඡා කරනවා වෙනුවට අපිට කිව්වා මේ ඔගොල්ලොත් එක්ක අපිට කතා කරන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ කරුණාකරලා එළියට යන්න. එයාගේ ආරක්ෂක අංශය කැදවලා අපිව එළියට දානවයි කියන තර්ජනයකුත් කෙරුවා."



ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති එකතුව සැප්තැම්බර් 13 වැනි අගහරුවාදා කොළඹදී  කැදවා තිබු විශේෂ මාධ්‍ය හමුවකදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් සදහන් කළේ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම් මෙලෙස තර්ජනය කළ බවයි.



ඩොලර් සංචිත හිඟය හමුවේ රට දැඩි ආර්ථික අසීරුතාවයකට මුහුණ දී සිටින මොහොතක වෘත්තිය සමිති සමග සාකච්ඡාවකින් තොරවම පෞද්ගලික අංශයේත්, අර්ධ රාජ්‍ය අංශයේත් සේවකයන්ට බලපාන කම්කරු නීති සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කම්කරු අමාත්‍යවරයා කම්කරු අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව පෙන්වා දෙන ඇන්ටන් මාර්කස් චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යවරයා 'සම්ප්‍රදාය සම්පුර්ණයෙන්ම වෙනස් කරමින්' කම්කරු නීති සංශෝධනය කිරීමට සහ ලිහිල් කිරිමට පියවර ගනිමින් සිටින බවයි.


පවතින නීතිය

වෘත්තිය සමිති නායකයන් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව රටේ පවතින කම්කරු නීති වෙනස් කරමින්, රාත්‍රි  සේවයේ හා අතිකාල සේවා සම්බන්ධයෙන් කාන්තාවන්ට පීඩාකාරී අන්දමින් නීති වෙනස් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති ආකාරයත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එහිදී පෙන්වා දුන්නේය.



"රටේ කම්කරු  නීතියට අනුව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම මාසයටම දින 10 ට  සීමා කරලා තියනවා. කම්කරු කාන්තාවන්ගෙන් අතිකාල ගන්නවානම් මාසයකට පැය 60 ට සීමා කරලා තියනවා. සීමාවන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා කාන්තාවන්ගෙන් රාත්‍රි සේවය ලබා ගැනීම දින 15 දක්වා දීර්ඝකරන්න,  අතිකාල පැය 75 ක් දක්වා  දීර්ඝ කරන්න කම්කරු අමාත්‍යාංශයට උපදෙස් දීලා තියනවා අමාත්‍යවරයා."

එමෙන්ම  1971 අංක 45 දරන සේවකයන්ගේ සේවය අවසන්කිරීමේ පනතට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කර ඇතිබව පෙන්වා දෙන ඇන්ටන් මාර්කස්  අවධාරණය කරන්නේ ජාතික කම්කරු උපදේශක සභාව හා වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමකින් තොරව මීට පෙර කිසිම අවස්ථාවක දී  අමාත්‍යවරුන් මෙවැනි පනත් සංශෝධන ඉදිරිපත් කර නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික කම්කරු උපදේශක සභාව කැදවන ලෙස  අගෝස්තු 31 වැනිදා  අමාත්‍යවරයාගෙන් ලිඛිතවම ඉල්ලා සිටි බවයි.

එම ලිපියට පිළිතුරු ලිපියක් නොලැබුන හෙයින් සැප්තැම්බර් 12 වැනිදා  උදැසන 9.30 ට පමණ කම්කරු අමාත්‍යවරයා හමුවීමේ අපේක්ෂාවෙන් ඇන්ටන් මාර්කස්  වෘත්තිය සමිති නායකයා ඇතුළු පිරිස අමාත්‍යාශයට ගියත් අමාත්‍යවරයා එහි නොසිටි බැවින් ඔහු මුණ ගැසීමේ අවස්ථාව අහිමිව තිබේ.


ඉස්සර විදියට දැන් බෑ

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් චෝදනා කරන්නේ අමාත්‍යවරයා වෙනුවෙන් එහි පැමිනි අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.



"ඒ මහත්මයා අපිව හමුවෙලා අපිට කිව්වේ ඕගොල්ලෝ හිතන හිතන විදිහට සාකච්ඡා කැදවන්න අපි බැදිලා නෑ. ඒ ඉස්සර තමයි එහෙම සාකච්ඡා කෙරුවේ. ඉස්සර තමයි එහෙම ඔගොල්ලන්ට ඔන විදිහට කම්කරු ඇමතිවරයා හමුවෙන්න පුළුවන්කම තිබුනේ. දැන් අපි අපේ ශෙඩුල් එකට තමයි අපි කටයුතු කරන්නේ."



සාකච්ඡා කිරීමට පැමිණි කරුණු මොනවාදැයි විමසීමෙන් පසු කම්කරු නීති වෙනස් කිරීමට හාම්පුතුන් සහ සේවකයන් එකගනම් වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ප්‍රශ්න කළ බව පෙන්වා දෙන ඇන්ටන් මාර්කස් වෘත්තීය සමිති නායකයා අවධාරණය කරන්නේ එම මොහොතේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් හරහා ප්‍රකාශ වුයේ කම්කරු අමාත්‍යවරයා හා අමාත්‍යාංශය ගෙන ඇති තිරණය බවයි.


IMF කොන්දේසියක්ද?

එය අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ලංකාවට පනවා ඇති කොන්දේසියක්දැයි ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා සැක මතු කළේය.

" මේක අපි දකින්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ණය ලබා දීම සදහා ලංකාවට දීලා තියන කොන්දේසි වල නිශ්චිතව ප්‍රසිද්ධ නොකරපු කොන්දේසි ගැන සදහන් වෙනවා. ඒ කොන්දේසියක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන සැකය දැන් අපිට ඇති වෙලා තියනවා."



වෘත්තිය සමිති වල එකගතාවයකින් තොරව හාම්පුතුන්ගේ උවමනාවට රටේ කම්කරු නීති සංශෝධනය උවහොත් රටේ වහල් තත්වයක් ඇතිවිය හැකි බවටත් ඇන්ටන් මාර්කස් මාධ්‍ය හමුවේදී  අනතුරු ඇගවීය.



ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ලංකා වතු සේවා සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය යන  වෘත්තිය සමිති 11 ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරයි.  

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්