ආසියනු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමා වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට

තවත් වීරයන් කිහිප දෙනෙකුම එක් කරමිනි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අත්පොත් තැබූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට 2009 වසරේදී අවස්ථාව උදා කරගත්තේය

එම වසරේදීම ඔස්ට්‍රේලියා යොවුන් කණ්ඩායමට එරෙහිව පන්දු 111කදී රැස්කළ ලකුණු 154, භානුකගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව කියාපාන කදිම සාධකයක් බවට පත්විය.

එම දක්ෂතා නිසා 2010දී යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකරගත් භානුක එම තරඟාවලියේදී සුපිරි ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබ පණිවිඩයක් එක් කරමිනි. යොවුන් කණ්ඩායමේදී දැක්වූ දක්ෂතා අනුව භානුක නුදුරේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළ කළ ද ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගන්නට තවත් වසර 9ක් බලා සිටින්නට සිදුවිය.



dgsd2011 දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබමින්


2019 වසරේදී පකිස්ථානයට එරෙහිව ලාහෝර් නුවරදී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගන්නට භානුක සමත්වුණේ එම සංචාරය ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

එම තරගාවලියේ තමන්ගේ හැකියාවන් ගැන තේරීම් කමිටු සාමාජිකයන්ගේ දෙනෙත් විවර කරවූ භානුක තමන් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බව අවස්ථා කිහිපයකදීම ඔප්පු කර පෙන්විය.

ඉන් වසර දෙකකට පසුව ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් භානුක එක්දින කණ්ඩායමේද සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පාරජයන් රැසකට මුහුණ දී දුෂ්කර අවධියක් ගෙවමින් සිටි අවදියේදී කණ්ඩායමට එක්වූ භානුක ඉන් ගොඩ ඒම සඳහා මහගු පිටුවහලක් සපයමින් සිටියි.

2021 ලෝක කුසලාන විස්සයි ක්‍රිකට් තරගාවලිය භානුකගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක සංධිස්ථානයක් විය.

ඔහු එම තරගාවලියේදී තමන් අර්ධ ශතකයක් සමඟින් තරගාවලිය පුරා ලකුණු 155ක් රැස් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනාගත තරුවක් බවට ඉඟි පළ කළේය. එම දක්ෂතා නිසාම IPL වෙන්දේසියේදී ද භානුකට ඉහළ මිලක් හිමිවිය.


මංගල IPL තරගාවලියේදී පන්ජාබ් කිංස් කණ්ඩයම නියෝජනය කළ භානුක විස්සයි ක්‍රිකට් පිටියේ තමන්ට හිමි ස්ථානය ගැන ලෝකයට කියන්නට සමත්වුනේ තරගාවලිය පුරා තරග 9කදී 159.69ක ලකුණු ලබාගැනීමේ දළ වේගයක් රඳවා ගනිමින් ලකුණු 206ක් රැස් කරමිනි. එපමණක් නොව ලෝකය වටා විස්සයි විස්ස ලීග් තරගාවලි රැසක් නියෝජනය කළ භානුක අබුඩාබි T10 තරගාවලියේදීද කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළේය.


දේශීය ක්‍රිකට් පිටියේදී NCC, BRC සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කළ භානුක මෙවර ආසියානු කුසලානයට එක්වුණේ බාධක රැසක් පසුකරමිනි.

ශාරීරික යෝග්‍යතාව ගැන ඔහුට එල්ල වූ විවේචන නිසා තරගාවලි රැසක්ම අහිමි වූ අතර එම සියලු විවේචනවලට භානුක මේවර පිත්තෙන් ප්‍රතිචාර දක්වන්නට සමත්විය.

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ භානුක අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 71ක් රැස්කළේ ගිලිහෙමින් තිබු ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට නතු කරමිනි.

ඔහු තරගාවලිය පුරා ලකුණ 191ක් රැස්කළේ ලකුණු 47.75ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහුගේ තරගයකදී ලකුණු ලබාගැනීමේ දළ වේගය 149.21ක් ලෙස සටහන් විය.

gljsdමෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ භානුක


අවසන් මහා තරගයේදී ක්‍රීඩා කළ ඉනිම ගැන අදහස් පළකරමින් භානුක පැවසුවේ එය තම ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ විශිෂ්ටම ඉනිම් අතරින් එකක් බවයි.

එමෙන්ම ඩුබායි නුවරදී ප්‍රේක්ෂකයින් ලබාදුන් සහාය පිළිබඳවද භානුක සිහිපත් කළේය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් ලබාදුන් සහාය සිහිකළ භානුක පැවසුවේ පෞද්ගලික දක්ෂතාවලට වඩා කණ්ඩායමක් ලෙස නැගී සිටීම ජයග්‍රහණයේ රහස බවයි.

භානුකගේ අවසන් මහා තරගයේ ඉනිම ගැන අදහස් පළකරමින් ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් පැවසුවේ ඔහුගේ අත්දැකීම් සහ පිතිකරුවෙකු ලෙස තිබෙන හැකියාව භානුක ලෝකයට පෙන්වූ බවයි. භානුක අවසන් තරඟයේ ක්‍රීඩා කළ ඉනිම තමන් දුටු භානුකගේ විශිෂ්ටම ඉනිම බව මහරූෆ් පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහරූෆ් මෙසේ පැවසිය.


"වගකීම කරට අරන් ක්‍රීඩා කරන්නට තමන්ට හැකි බව භානුක හොඳට පෙන්නුවා. මට සිහිපත් වුනේ ඔහු 2019 වසරේදී පකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරපු විදිහ. මම කියන්න කැමති අවසන් මහා තරඟයේ භානුකගේ ඉනිම විශිෂ්ටම විස්සයි විස්ස ඉනිමක් බව."

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා පුහුකරු මෙන්ම වත්මන් එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් භානුකගේ දක්ෂතා ගැන මෙලස අදහස් පළ කළේය.

"භානුක කියන්නේ තරග දිනවන්නෙක්. ඔහු ලොකු පහරවල් සෙල්ලම් කරන්න ආසයි. එයා තරගය තමන්ගේ අතට ගත්තා. ඒ වගේමයි ඔහු ඉතාම වේගයෙන් කඩුළු අතර දුවනවා අපි දැක්කා. ඒක සුබවාදී කරුණක්."

(BBC සිංහල සේවය)


 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්