ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන වංචාවට දූෂණයට පමනක් නොව මෝඩ දේශපාලන තීන්දුවලටත් එරෙහිව ජනහඬ නිරන්තරයෙන් අවදි විය යුතු බව

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එබව කියා සිටියේ, නාවල තුන්වන පටුමගේ පිහිටි 'නිදහස' කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් අර්බිදය හමුවේ  'නිදහස' කණ්ඩායමේ ස්ථාවරය පැහැදිලි කළ ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා, '' අපේ වගකීම තවදුරටත් වංචාවට දූෂණයට වගේම මෝඩ තීරණ, තීන්දු වලටත් එරෙහිව හඬක් නගන බලවේගයක් වීම'' යයි අවධාරණය කළේය.

කෙසේවුවද ආර්ථිකය අමාරු තත්වයක් තිබියදී ආන්ඩුවේ කකුලෙන් ඇදීමේ කිසිඳු බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු අවධාරණය කර සිටියේය.


''අරගලකරුවන් දහස් ගණනක් අත් අඩංගුවට අරගෙන''


''අරගලය දැන් මර්ධනය කරලා. 2500 කට වැඩි පිරිසක් අත් අඩංගුවට අරගෙන. එදා අරගලයට නායකත්වය දුන්න තරුණ හඬ වෘත්තිකයන්ගේ කලාකරුවන්ගේ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හඬ තාවකාලිකව නිහඬ කරලා තිබුනාට ඉන් අදහස් වෙන්නේ නෑ රටේ ප්‍රශ්ණ විසඳිලා කියලා.

තමුන්ගේම ප්‍රශ්ණ ඉදිරිපත් කරගන්න බැරි සාමාන්‍ය ජනතාව මොනතරම් පීඩනයකින්ද ඉන්නේ කියලා අපි නෙමෙයි පසුගියදා ලංකාවට ආපු USAID ආයතනයේ සමන්තා පවර් මහත්මියම ප්‍රවෘත්ති සාකච්චා කිහිපයකදීම කියලා තිබුනා.

ඇය කියලා තිබ්බා පසුගිය දශකය තුල ඇය ලංකාවට වාර ගනනාවක ආවා. විවිධ ප්‍රශ්ණ සාකච්චා කරන්න නමුත් මේ වගේ ඛේදවාචකයක් දැක්කේ පලමු වතාවට කියලා. මේ අර්බූධයට හේතුව අසීමාන්තික වංචාව දූෂණය වගේම දේශපාලනඥයින්ගේ අදූරදර්ශී තීරණ කියා ඇය කියා තිබුනා.


''ආන්ඩුවේ කකුලෙන් අදින්න අපිට කිසිම බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවයක් නෑ''


අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේ අපේ වගකීම තවදුරටත් වංචාවට දූෂණයට වගේම මෝඩ තීරණ, තීන්දු වලටත් එරෙහිව හඬක් නගන බලවේගයක් වීම කියා. ඒ හැරුණ විට ආර්ථිකය අමාරු තත්වයක් තිබියදී ආන්ඩුවේ කකුලෙන් අදින්න අපිට කිසිම බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවයක් නෑ.

නමුත් අපි ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා මේ ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්නට ඔවුන්ගේ සැලැස්ම කුමක්ද කියා රටට ප්‍රසිද්ධියේ කියන්න කියා. එතකොට තමයි අපට එහි අනතුරක් පෙනෙනවානම් කල් වේලා ඇතුව ජනතාවගේ පැත්තෙන් අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් වන්නේ.

ජනතාව මේ වෙලාවේ අවධියෙන් ඉන්නේ. ඔවුන්ගෙන් කරුණු සඟවන්න එපා. මොකද රජය ගන්නා තීන්දු තීරණ වල ප්‍රතිවිපාක වලට අවසානයේ මුහුන දෙන්නට වන්නේ ජනතාවටයි.

 

දැන් අපි ඉල්ලා තිබෙනවා රජය IMF ආයතනය සමඟ ඇතිකරගත් මූලික එකඟතාව කුමක්ද කියා මේ රටේ පාර්ලිමේන්තුවට කියන්න කියලා. මොකද මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් පාලනය පිලිබඳ අවසාන වගකීම තියෙන්නේ.

 

නමුත් රජය දැන් කියනවා ඒක රහසක් දැන්ම රටට හෙලිදරව් කරන්න බෑ කියා. අපට මේක පිලිගන්න බෑ. තවදුරටත් එක එක්කෙනා කරන වැරදි වලට ජනතාවට වන්දි ගෙවන්න බෑ.


''පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැතුව ගත්තු බරපතල තීන්දුවක්''


ඒ නිසා බරපතල ආර්ථික තීන්දු තීරණ ගන්න කලින් ජනතාවට කියන්න කියා අපි රජයට තරයේ කියා සිටිනවා.

උදාහරණයක් වශයෙන් පසු ගිය මැයි මාසේ රජය ණය පැහැර හරින්න ගත් තීන්දුව බලන්න. එදා මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව තීරණය කරනවා ඉදිරියේදී ගෙවන්නට තියෙන ඩොලර් මිලියන 78 ක පමණ ණයක් නොගෙවා ඉන්න. ඒ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැතුව ගන්නා බරපතල තීන්දුවක්.

 

මොකද නිදහසින් පසු මේ වසර වෙන තුරු කිසිම අවස්ථාවක ණය ගෙවීම පැහැර හැරියේ නැති රටක් වශයෙන් අපට තිබුණ ගෞරවය අපට ඉන් නැති උනා. මොකද ඒ තීන්දුවෙන් අදහස් වෙන්නේ රට බංකොලොත් බව ප්‍රසිද්ධියේ ලෝකයා ඉදිරියේ පිලිගැනීමයි. ඉන් පසුව ලෝකය  අප දිහා බලනා විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. 

 

කිසිම රටක් හෝ ජාත්‍යන්තර ආයතනයක් බංකොලොත් රටකට ණය දෙන්නේ නෑ. IMF යනවා හැර වෙන කිසිම විසඳුමක් නෑ.

මෙතනදී ප්‍රශ්ණය තිබෙන්නේ  අපට ඒ අවස්ථාවේ වෙන කිසිම විසඳුමක් තිබුනේ නැද්ද ?

ඩොලර් මිලියන 78 ක් දේශීය බැංකු පද්ධතිය තුලින් හොයා ගන්න බැරිද. මේ තෙල් නැව් දෙකකට යන සල්ලි.  

මීට කලින් මෙවැනි අමාරු අවස්ථාවලට අපේ රට මුහුණ දී නැද්ද ? ඒ අවස්ථාවල මුදල් සොයා ගත්තේ කොහොමද ? බංකොලොත් කියා මුලු ලෝකයටම කියන්නේ නැතුව ඒ අවස්ථාවේ ගෙවන්නට තිබුන.


ණයට අදාල ණය හිමියන් සමඟ සාකච්චා නොකලේ ඇයි.


අපටනම් පෙනෙන්නේ තීන්දුව ගත්ත අය ඔවුන්ට පහසුම ක්‍රියාමාර්ගය අනුමත කොට රට දුෂකරතාවකට පත් කල බවයි. මම මේ කාරණය මතක් කලේ ඉදිරියේදී වත් රටේ ආර්ථිකයට සමස්ථ ජනතාවටම බල පානා  තීන්දු තීරණ ගන්නා විට  ඒ තීන්දු ගැන ජනතාවට රටේ ඉන්නා විද්වතුන්ට මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල ඉතා වැදගත් බව මතක් කරන්නටයි.
 
 
අපට තිබෙනා දෙවන ගැටලුව මේ තරම් ආර්ථික දුෂකරතා තිබෙනා අවස්ථාවකවත් රජය ආර්ථික කලමණායකරනයේ ප්‍රමුඛතා හඳුනාගෙන නැති එකයි. මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛතාව විය යුත්තේ සෑම අකාරයකින්ම රටේ අදායම වැඩිකරගැනීමට හා රජයේ වියදම අඩු කරගැනීමට කටයුතු කිරීමයි.
 
 
 
මතක තබා ගන්න මම කීවේ රටේ ආදායම වැඩිකරගන්න කියා මිස රජයේ අදායම වැඩිකරගන්න කියා නොවෙයි. මොකද අපි දන්නවා රජයේ ආදායම වැඩි කරගැනීම රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම නොවෙනා බව.

රජය කරන්නේ ලැබෙන ආදායම වියදම් කිරීමයි. ඒ වියදම කරන්නේ බොහෝ විට පරිභෝජනයට මිස අනාගතයට මුදල් උපයන ක්ෂේත්‍ර වලට නොවෙයි.


''රජයේ ආදායමෙන් 80% ක්ම වැය වන්නේ රාජ්‍ය සේවයේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවන්න''
 
 
උදාහරනයක් වශයෙන් අද රජයේ ආදායමෙන් 80% ක්ම වැය වන්නේ රාජ්‍ය සේවයේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවන්නටයි. 2021 රජයේ ආදායම රුපියල් බිලියන 1400 ක් පමන වෙන කොට වැටුප් හා විශ්‍රාම වැටුප් රුපියල් බිලියන 1100 යි. තවත් රුපියල් බිලි‍යන 1000 වැය වුණා ණය ගෙවන්නට. ඊට අමතරව රජ‍යේ අනෙකුත් වියදම් සමඟ රුපියල් බිලියන 3500 ක් වැය කරලා තිබෙනවා.
 
 
 
රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1400 ක් පමනක් වෙද්දී, පරතරය පියවාගෙන තිබෙන්නෙ මුදල් අච්චු ගහලා. එය උද්ධමනය මේ තරම් වැඩි වන්නට එක හේතුවක්.

ඒ නිසා රජය දැන් අවධානය යොමු කරන්නට ඕනේ වියදම් අඩු කරගන්නටයි.

නමුත් මොකද වෙලා තියෙන්නේ පසුගියදා සම්මත කරපු අතුරු අයවැයෙන් රජයේ වියදම තවත් බිලියන 1000  කින් පමන වැඩිකරගෙන 2022 ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4427 යි. වැටුප් වැඩිවෙලා නෑ.
 
 
ණය ගෙවන ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නෙ 30% කින් පමන. නමුත් අනෙකුත් වියදම් වැඩිවෙලා. මේක අපට පිළිගන්න පුලුවන්ද මේ වගේ අසීරු අවස්ථාවක.
 
 
ආන්ඩුව කට වචනයට කියනවා රජයේ වියදම් අඩු කරන්නට ඕනේ කියා. නමුත් ආන්ඩුව ඒ වෙනුවෙන් දී තිබෙන ආදර්ශය කුමක්ද ? අඩුම ගානේ අමාත්‍ය මන්ඩලයවත් අඩු කරලා තිබෙනවාද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ තිබුනාට වඩා.
 
 
Group

මේ වන විටත් රාජ්‍ය අමාත්‍යවරුන් 38 ක් පත්කරලා. ආරංචි විදියට රාජ්‍ය ඇමතිවරු ගාන 40 ට ත් කැබිනට් ඇමතිවරු ගාන 30 ටත් ඉහල නංවනවලු. විශාල ඇමති මන්ඩලයක්.

බොරුවට වියදම් අඩු කරනවා කිව්වට අළුත්ම චක්‍ර ලේඛනය අනුව වාහන කාර්ය මන්ඩල වල ලොකු වෙනසක් නෑ.

ඊට අමතරව ජනාධිපතිතුමාම කියනවා අංශික කාරකසභා 16 ක් ඇතිකරලා ඒවයේ සභාපති ලෙස පත්වන මංත්‍රීලාටත් කැබිනට් පහසුකම් දෙනවා කියා. ඒ කියන්නේ කැබිනට් වරප්‍රසාද සහිත 86 දෙනෙක්. අපි අහනවා මේ තරම් රටේ ජනතාව පීඩනයට පත් වී ඇති අවස්ථාවක මේකද ආන්ඩුව රටට දෙන ආදර්ශය කියා.  

අනික් අතට රජය ජනතාව හා ව්‍යාපාර මත විශාල වශයෙන් බදු පනවා මේ වියදම් පියවාගන්නට මුදල් හොයන්නට බලාපොරොත්තු වෙනවා නම් එය භයානක තත්වයක්. එක අතකට රජය දැනටමත් පනවා තිබෙනා වක්‍ර බදු නිසා පාරිභෝගික භාන්ඩ හා සේවා වල මිල විශාල වශයෙන් වැඩි වී තිබෙනවා.

වර්ථමාන ආන්ඩුව විසින්ම වසර දෙකකට පෙර 8% අඩු කොට තිබූ වැට් බද්ද 15% දක්වා ඉහල නංවා තිබෙනවා. සමාජ ආරක්ෂක බද්දක් කියා අලුතින් පනවා තිබෙන 2.5% බද්දත් මේකට එකතු වෙනවා. එතකොට බදු මත බදු නිසා අවසානයේ පාරිභෝගිකයාට 20%  ආසන්න ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවන්න වෙනවා.

අනික් අතට ව්‍යාපාරිකයන් මත බදු වැඩිවීම ව්‍යාපාරිකයන්ව අධෛර්‍යමත් කරනවා. විශේෂයෙන්ම අද  අපේ රටේ කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් විශාල පීඩනයකට ලක්වී තිබෙනවා. එක පැත්තකින් ඉහල ගිය බදු බර. ඊටත් වඩා ඔවුන්ට ප්‍රශ්ණයක් ඉහල ගොස් ඇති පොලී අනුපාත.
 
 
28%- 30% වැනි ඉහල පොලියකට ණය  අරගෙන කොහොමද අද සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපරිකයෝ ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්නෙ. මේ රටේ මෙවැනි ව්‍යාපාර මිලියනයකට ආසන්න ප්‍රමානයක් තිබුනා. රටේ  ආර්ථිකයෙන් 55% පමන දායක වන්නේ මේ අය. රටේ වැඩ කරණ ජනතාවගෙන් 75% පමණ රැකියා කරන්නෙ මේ ක්ෂේත්‍රයේ. අද මහබැංකුව විසින් පනවා තිබෙන ආනයන සීමාත් මේ බොහෝ ව්‍යාපාර වලට ඍජුවම බලපානවා. 
 
 
ඉතින් මේ ආකාරයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය අනතුරට ලක්වීම රටේ අනාගතයට මොන තරම් බරපතල ප්‍රශ්ණයක්ද. නමුත් අපට පෙනෙන්නේ නෑ රටේ කිසිම ඇමතිවරයෙක් මේ අය වෙනුවෙන් කතා කරනව. මේ අයගේ ගැටලු වලට කඩිනමින් විසඳුම් සොයන ලෙස අපි රජයට අවධාරණය කරනවා.''


(සටහන - නිදහස මාධ්‍ය ඒකකය)


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්