ශ්‍රී ලංකාව තුළ මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.
ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් බොහෝ දෙනෙක් මේ වන විටත් තම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනගත කර ඇත.
ඒවායේ විවිධ පොරොන්දු ඇතුළත්ය.
ඒ අතරින් ආරක්ෂාවට ප්‍රධාන ස්ථානයක් හිමිව තිබෙන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශන පරිශීලනය කළ විට පැහැදිලි වේ.
ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. සහරාන් හෂීම් නායකත්වය දැරූ මුස්ලිම් අන්තවාදී ජාතික තවුහීද් ජමාත් සාමාජිකයන් පිරිසක් කතෝලික දේවස්ථාන සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර අප්‍රේල් 21 වෙනිදා එල්ල කළ එම ප්‍රහාර මාලාවෙන් 270 කට අධික පිරිසක් මරණයට පත්වූහ.
මීට වසර 10කට පමණ පෙර ශ්‍රී ලංකාවේ වසර තිහක් පමණ පැවති සිවිල් යුද්ධය නිම වීමෙන් පසු නැවත වරක් ජනතාව තුළ බියක් ජනිත කිරීමට එම මරාගෙන මැරෙන ප්‍රහාර හේතු වූ බව විශ්වාස කෙරේ.
එම ප්‍රහාර එල්ල කිරීමට 'ජාතික ආරක්ෂාව' සම්බන්ධයෙන් රට තුළ ඇති අඩුපාඩු හේතු වූ බවට ද විවිධ මත පළවිය.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක් වූ කොච්චිකඩේ දේවස්ථානය
ඕක හුදු දේශපාලන ස්ලෝගන් එකක්- කුසල් පෙරේරා
"ඕක බලය පිළිබඳ හදාගත් මතයක්. ඩීප් ස්ටේට් (Deep State) සංකල්පයක්. ඒවගේම මේක සිංහල බෞද්ධ ආධිපත්‍යය සඳහා හදාගන්න මතවාදයක්. ඔය කතා කරන බොහෝ දෙනෙක් ගාව ජාතික ආරක්ෂාව ගැන නිර්ණායකයක් වත් නැහැ. ජාතික ආරක්ෂාව කියන්නේ කාගේ ආරක්ෂාව ද? ඕක හුදු දේශපාලන ස්ලෝගන් එකක්. රටක් හැටියට මේ රටට වෙන රටවලින් තර්ජනයක් නැහැ," යනුවෙන් ජාතික ආරක්ෂාව යන මතවාදය ගැන සිය අදහස් පළ කරමින් ප්‍රකට දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිපදෙනෙක් 'ජාතික ආරක්ෂාව' පිළිබඳව සාකච්ඡා කර ඇති කරුණු ගැන කෙරෙන විග්රහයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ "රට හදන සෞභාග්‍යයේ දැක්ම" නම් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ඔක්තෝබර් 25 වෙනිදා එළි දැක්විය.
ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන බව ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ පවසයි.
"ජාතික ආරක්ෂාව රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. රටක සාමය සහ සුරක්ෂිත බව නැතිනම් මානව නිදහස අහිමි වන නිසා එය එදිනෙදා ජීවිතයේ පටන් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ කටයුතු දක්වා බලපැවැත්වේ. දේශීය සහ විදේශීය ආයෝජකයන් දිනා ගැනීමට නම් රටේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට ස්ථීර විශ්වාසයක් තිබිය යුතුය. රටක ජාතික ආරක්ෂාව බිඳවැටුණු විට ආර්ථිකය බිඳවැටේ. එවැනි රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කිරීම අසීරුය. එම නිසා ජාතික ආරක්ෂාව අප ආණ්ඩුවේ පළමු වගකීම බවට පත් වේ."
ඊට අමතරව, එහි මෙසේ ද දැක්වේ.
* ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යන අතර ඊට එරෙහිව කටයුතූ කිරීමට කිසිවෙකුට හෝ ඉඩක් තබන්නේ නැත.* මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැති අතර සෑම පුරවැසියෙකුට ම බියෙන් සහ සැකෙන් තොර ව ජීවත් වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කෙරේ.
* ආරක්ෂක බුද්ධි යාන්ත්‍රනය නැවත සක්‍රීය කර දක්ෂ නිලධාරීන්ට නැවතත් මෙම වගකීම් පැවරීම. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සතු බුද්ධි අංශ සියල්ල ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන, බලතල සහිත බුද්ධි අංශ ප්‍රධානියෙකු යටතට ගෙන අදාළ අංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරනු ලැබේ.
* විදේශ බුද්ධි සේවා සමග මනා සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම.* රටේ හමුදාමය ආරක්ෂාව මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව ද සහතික කරන අතර අපරාධ, මත්ද්‍රව්‍ය, මුදල් විශුද්ධිකරණය, සහ දූෂණයන්ගෙන් රට බේරා ගැනීම.
* රටේ සියලුම රටවැසියන්ට විශේෂයෙන් ම කාන්තාවන්ට සහ දරුවන්ට නිදහසේ තම ජීවිත ගත කිරීමට අවශ්‍ය රැකවරණය පවත්වා ගෙන යාම.
* දෙස් විදෙස් ආයෝජකයන්ට බිය සැක රහිතව තම ආර්ථික කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය පරිසරය සැකසීම.
අප්‍රේල් 21 වෙනිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ සටහනක් තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ "ත්රස්තවාදයට උඩගෙඩි දෙන සමාජ පසුබිමක් රට තුළ ගොඩනැගී තිබීම ඊට හේතුව බවය. එබැවින් අන්තවාදය පෝෂණය කරනු ලබන සියලු ම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුලාලීමට අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන" බවය.
ජාතික ජනතා පක්ෂය - ජෙනරාල් මහේෂ් සේනානායක
හිටපු හමුදාපති මහේෂ් සේනානායක, ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුනි.
ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ඔක්තෝබර් 24 වෙනිදා ඉදිරිපත් කෙරිණි.
එහි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්වෙන්නේ මෙසේය.
"ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ආරක්ෂක උපායමාර්ගය සැලසුම් කර ඇත්තේ සාම්ප්‍රදායික මිලිටරි වැරදි, නාගරික ගරිල්ලා යුද්ධ, සහ වෙනත් ආකාරයේ අස්ථාවර කිරීම් වැනි රාජ්‍ය සහ රාජ්‍ය නොවන තර්ජන වෙත සක්‍රියව ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ජනගහනය, එහි ස්වෛරීභාවය, එකමුතුකම, භෞමික අඛණ්ඩතාව සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහාය."
ජාතියේ ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා, "අතථ්‍ය හා සම්ප්‍රදායික නිරීක්ෂණ සඳහා දැනුම සහ තාක්ෂනයන් ලබා ගැනීම සහ බුද්ධි රැස්කිරීම, විශ්ලේෂණය, සැකසීම, තක්සේරු කිරීම සහ බෙදාහැරීම් මගින් ජාතියේ ආරක්ෂක හැකියාවන් විශේෂයෙන් වැඩිදියුණු කෙරෙනු ඇත."
ඵලදායී ආරක්ෂක සහ ආරක්ෂක සයෝගිතා උපායමාර්ග තුළින් කලාපීය සහ ගෝලීය බලවතුන් අතර ඉන්දියානු සාගර කලාපයේ බලය ක්‍රියාත්මක කිරීමේ බලපෑම අවම කිරීම කෙරෙහි කටයුතු කරන බව ද ජෙනරාල් සේනානායක සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් පවසයි.
අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා අන්ත ජනවාර්ගික සහ ආගමික අන්තවාදයට සහ රැඩිකල්කරණයට ගොදුරු විය හැකි ස්ථාන සහ කොටස්වල පොදු ජනතාවගේ සහයෝගය සුරක්ෂිත කිරීම, ජාතික සංහිඳියාවට ප්‍රමුඛත්වය දීම සහ ජනතාව අතර සමගිය ප්‍රවර්ධනය කිරීම මෙන්ම දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු සම්පාදනය කරන බව ද ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ දැක්වේ.
ආරක්ෂක ව්‍යූහය ද ප්‍රතිසංවිධානය කරන බව එහි දැක්වේ. ඒ, "ව්‍යවස්ථානුකූල නීතියක් විසින් ජාතික ආරක්ෂක සභාවක් සහ ආරක්ෂක අමාත්‍යවරයා සමන්විත කමිටුවක් ස්ථාපිත කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය සහ ජාතික බුද්ධි සංවිධානය ප්‍රතිසංවිධානය කර ප්‍රතිසංස්කරණය," මගිනි.
"අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ජාතික ආරක්ෂාව ගැන කතා කරන විට මේ ත්‍රස්තවාදී ප්‍රහාරය වගේ දෙයක් පිළිබඳව. නෑ එය විශාල පරාසයක් සහිත දෙයක්. දූපත් රාජ්‍යයක් ලෙස අපි මේ ගැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි," යනුවෙන් මහේෂ් සේනානායක සඳහන් කර තිබුණි.
ජාතික ජන බලවේගය - අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂකයා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ය. ඔහුගේ ප්‍රතිපත්ති ප්රකාශනය "දිනන රටක ගමන" යනුවෙන් නම් කර තිබේ. එම ලියවිල්ලේ ජාතික ආරක්ෂාව ගැන සඳහන් වන්නේ මෙසේය.
"වසර 30ක යුද්ධය හා මෑත කාලයේ වරින් වර ඇති වූ ආගමික ගැටුම් නිසා ජාතික ආරක්ෂාව යනු ශක්තිමත් යුද යාන්ත්‍රණයක් ඇතිකිරීම යන පටු නිර්වචනයට ලඝුවී ඇත. එම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින සීමිත හා පටු සංකල්පීකරණය පෘථුල කරගැනීමේ අවශ්‍යතාව අප හමුවේ පවතී."
ජාතික ජන බලවේගයට අනුව, ජාතික ආරක්ෂාව යනු ,"බාහිර යුදමය හා අනෙකුත් උපාය මාර්ග මැදිහත් වීම්වලට එරෙහිව පියවර ගනිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමත් අභ්‍යන්තර ගැටුම්වලට ඉඩ නොතබමින් මහජනයා එහි ගොදුරු බවට පත්වීමට ඉඩ නොතබමින් පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීමත්ය."
ඔවුන් පවසන්නේ මෑත කාලයේදී ජාතික ආරක්ෂාව උපක්රමිකව භාවිත කරනු ලැබුවේ ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම්වල බලය තහවුරු කර ගැනීමටත් ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දුර්වල කිරීම අරමුණු කරගෙන බවය.
ඒ අතරම විරුද්ධ පක්ෂවල ඇතැම් කණ්ඩායම් ආණ්ඩුබලය ලබා ගැනීමේ කෙටි උපක්‍රමයක් ලෙස ජාතික ආරක්ෂාව යන සංකල්පය අවභාවිත කිරීම දක්නට ලැබුණු බව ද ඔවුහු පවසති.අරමුණු:
• යුදමය, ආර්ථික සහ අනෙකුත් උපක්රමික විදේශීය මැදිහත් වීම්වලට එරෙහිව කටයුතු කරමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම
• රටේ සියලුම ජාතිකත්වයන් ආගමික හා වෙනත් විවිධත්වයන් සහිත ජනකොටස්වලට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් එකිනෙකා අතර විශ්වාසය හා අවබෝධය සහිතව ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගීම
• ජාතික හා මහජන ආරක්ෂාවට අදාළ සියලු යාන්ත්‍රණයන් මහජනයාට වගකියන ආයතන බවට පරිවර්තනය කිරීමක්රියාමාර්ග:
• ගෝලීය දේශපාලනයේ කිසිම බල කඳවුරකට ගැති හෝ පක්ෂග්රාහී නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්
• රටේ ස්වභාවික සම්පත් හෝ භූමිය කිසිදු අයුරකින් විදේශීය රටකට හෝ ආයතනයකට පැවරීමෙන් හෝ තනිව දීර්ඝකාලීන බදු දීමෙන් වැළකීම
• ඕනෑම බාහිර හෝ අභ්‍යන්තර බලවේගයකින් එල්ල විය හැකි යුදමය තර්ජනයකට මුහුණ දිය හැකි පරිදි ආරක්ෂක හමුදා සහ අනුබද්ධ ආයතන ශක්තිමත් කිරීම
සජිත් ප්‍රේමදාස - නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ය. ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය "ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු." ලෙස නම් කර තිබේ. එය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 31) ජනගත කරන ලදි.
"ශක්තිමත් දේශයක් තහවුරු කිරීම" යන මාතෘකාව යටතේ සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්රකාශනයේ "ජාතික ආරක්ෂාව" පිළිබඳ කතා කරයි.
"ශක්තිමත් සහ මැනෙවින් ආරක්ෂිත දේශයක් සඳහා නිසි නායකත්වයක් අවශ්‍ය ය. අපගේ ආරක්ෂක ප්‍රතිපත්ති බුද්ධිමත්, නම්‍යශීලී සහ දූරදර්ශී එකකි. ජාතියට ඇතිවන තර්ජන කල් තබා හඳුනාගෙන යෝග්‍ය ප්රගාමී මූලෝපායන් සංවර්ධනය කරනු ලැබේ. ඒවා අවශ්‍ය විටදී ක්‍රියාවට නංවනු ඇත. අපි නිසි පුද්ගලයා නිසි තැන පිහිටුවන්නෙමු. අපගේ දේශයට යුදමය ආරක්ෂාව පමණක් නොව ආර්ථික, දේශපාලනික, සමාජ සහ පාරිසරික සුරක්ශිතතාව ද අවශ්‍ය ය."
"ජාතියේ ශක්තිය මනිනු ලබන්නේ සතුරන්ගෙන් ආරක්ෂාවීමේ හැකියාවෙන් පමණක් නොවේ. ශක්තිමත් ජාතියක් විසින් සිය පුරවැසියන්ගේ අයිතීන් සහ නිදහස ද ආරක්ෂා කළ යුතුය," යනුවෙන් සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙන්වා දෙයි.
"දැනට පවතින ජාතික ආරක්ෂක රාමුව සහ ප්‍රතිපත්ති විවරණය කිරීමෙන් අනතුරුව ජාතික ආරක්ෂක මූලෝපායන් සංවර්ධනය කරනු ලැබේ. එහිදී ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සහ ප්රචණ්ඩ අන්තවාදය වැළැක්වීමට දැඩි අවධානයක් යොමු කරනු ලැබේ."
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ජාතික ආරක්ෂාව ගැන සඳහන් වෙනත් විශේෂ කරුණු:
* ත්රස්තවාදයට සහ ප්රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම
* ක්ෂේත්රයේ සිටින විශේෂඥයන් විසින් ආරක්ෂක මූලෝපායන් නිර්මාණය කිරීම
* ආරක්ෂක ප්‍රතිපත්ති නිර්මාණයට සහ ජාතික ආරක්ෂාව ගැන තීරණ ගැනීමට ජාතික ආරක්ෂක කවුන්සිලයක් පිහිටුවීම
* නව ජාතික ආරක්ෂක උපදේශක තනතුරක් ඇති කිරීම
* ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය ශක්තිමත් කිරීම
* ආරක්ෂක හමුදා නවීකරණය කිරීම
* ඒකාබද්ධ බුද්ධි ජාලයක් රට තුළ මෙන් ම විදේශයන්හී ද ස්ථාපනය කිරීම
(නිලන්ත කන්කානන්ගේ BBC සිංහල)