දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තෙවැනි චාල්ස් රජු සමග
සුහද කතා බහක නිරතව තිබේ.
ඒ පසුගිය 18 වැනිදා ලෝක නායකයින් සහ තෙවැනි වාල්ස් රජු අතර බකිංහැම් මාළිගයේදී පැවති හමුවේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්ව සිටි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ, ඊයේ (19) මිහිදන් කෙරුණු දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභගී වීම සඳහායි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පසුගිය 18 වැනිදා දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වූහ.
ජනපති රනිල් බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයි
එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ගිය ජනාධිපතිවරයා, බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ එහිදී ඇරැයුම් කළේය.
බංකොලොත්භාවයට එරෙහිව එක්ව සටන් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම හමුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබිණි.
ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.
බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.