මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් දහ අට මාසයකට

ඉහතදී අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් හය දෙනකු හට ඇප ලබාදීම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙසේ මහාධිකරණය හමුවේ ඇප අයැදුම ගොනු කරනු ලැබුවේ, ප්‍රාථමික අධිකරණය විසින් දෙවතාවක්ම එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරු විජූ ඒබ්‍රහම් ප්‍රකාශ කර සිටියේ "පෙත්සම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන බැවින්, ඔවුන්ට පලා යාමට සෑම අවස්ථාවක්ම පවතින බවත්, නඩු විභාගය සඳහා ඔවුන්ගේ පැමිණීම සහතික කළ නොහැකි බවත්" ය.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට අනුව, 2021 මාර්තු 7 වන දින ඉන්දීය මුහුදු සීමාවේදී, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ව, ඔවුන්ගේ ‘ආකර්ෂා දුව’ යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හය දෙනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක හවුල්කරුවන් බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූවන් බවත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.



කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික ධීවරයින් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් තර්ක කර සිටියේ, ඔවුන් සාමාන්‍ය ශ්‍රී ලාංකික ධීවරයින් වන අතර සිය එදිනෙදා ධීවර කටයුතු සඳහා යමින් සිටි බවත්, ඔවුන් ‘ඉන්දියානු වෙරළාරක්ෂක නිලධාරීන් විසින් හදිසියේම අත්අඩංගුවට ගත්තත් ඔවුන් සන්තකයේ තිබී කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් සොයා ගැනීමට නොහැකි වූ’ බවත් ය.




එම හයදෙනා වනුයේ තොඩුවාව ප්‍රදේශයේ පදිංචි සුනිල් කුරේරා සහ ඩබ්ලිව්. රනිල් ජයන්ත් ප්‍රනාන්දු, මහනුවර චාමික ගමගේ දේශප්‍රිය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ මධුෂ ඩිල්ෂාන් ජයතිස්ස, ඩබ්ලිව්. නිපුන් සදරුවන් සහ ඩබ්ලිව්.එම්. නිලත අරුණකුමාර බව උසාවි ලේඛණ වල දැක්වේ.

චාමික ගමගේ දේශප්‍රියගේ සැබෑ නම කේ එම් තාරක නිශාන්ත් රූපසිංහ බවත්, මෙම මෙහෙයුම වෙනුවෙන් ඔහුට ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දී ඇති බවත්, විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මුහුදේ හෂීස් කිලෝග්‍රෑම් 100 ක් සහ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 150 ක් ලබා ගැනීමේ මෙහෙයුමක, හය දෙනාම යෙදී සිටි බවට ප්‍රාන්ත රජය තර්කය විය.

ඔවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවන් බව පැමිණිල්ල විසින් ප්‍රකාශ කරද්දී, ලාංකිකයන්  වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින් විනිසුරුවරයාට පෙන්වා දෙනු ලැබුවේ, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී කිසිදු තහනම් ද්‍රව්‍යයක් සොයාගත නොහැකි වූ බවයි.

එහෙත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ජීපීඑස් ස්ථානගත වීම්, චන්ද්‍රිකා ඇමතුම් වාර්තා සහ බැංකු ගනුදෙනු උපුටා දක්වමින් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් තර්ක කළ අතර, එය ශ්‍රී ලාංකිකයන්ගේ නීතීඥයන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී.

සුනිල් කුරේරා 2000 වසරේ සිට වසර 13ක් ඉතාලියේ සේවය කළ බවත්, ඔහුගේ දරුවන් 5 දෙනා තවමත් ඉතාලියේ රැඳී සිටින බවත් නඩු තීන්දුවේ පිටපත මඟින් පෙන්වා දෙයි.

විනිසුරු ඒබ්‍රහම් විසින් ඔවුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළද, නඩු විභාගය කඩිනම් කරන ලෙස ප්‍රාථමික අධිකරණයට නියෝග කර තිබේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්