විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩුවේ

නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුවූ රාජ්‍ය මුදල් රුපියල් බිලියන ගණනක අවභාවිතයක් පිළිබඳව වන වාර්තාවක්ද විගණකාධිපතිවරයා නිකුත් කර තිබේ.

සංස්කෘතික අරමුදලට මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ දෙස් විදෙස් සංචාරකයින් මෙරට සංස්කෘතික උරුමයන් නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායමෙනි.

එම අරමුදල අවභාවිත වී ඇති අයුරු එම විගණන වාර්තාවෙන් තහවුරු කර ඇත.

2015 සිට 2019 දක්වා කාලය තුළ සංස්කෘතික අරමුදලේ සමස්ත වියදමෙන් සියයට 38ත් සියයට 58ත් අතර මුදලක් වැය කර ඇත්තේ සේවක නඩත්තුව සඳහා බව පෙන්වා දෙන විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ, සංස්කෘතික අරමුදලේ ප්‍රමුඛතම අරමුණ වන පුරාවිද්‍යා කැණීම්වලට සහ සංරක්ෂණ කටයුුතුවලට මුදල් වෙන්කර ඇත්තේ අවම ප්‍රතිශතයක් බවය.

අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා බඳවාගැනීම් සිදුව ඇති බවත්, කාර්යමණ්ඩල සංයුතියේ නොමැති තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකර ඇති බවත් එහි සඳහන් වෙයි.



2017 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරු තුළ ඇතුළත් නොවූ මුරකරුවන් 2,271ක් සහ කම්කරුවන් 1,130ක් වශයෙන් සේවකයින් 3,401ක් බඳවාගැනීමට පාලක මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙම විගණන වාර්තාවට අනුව 2019 වසර තුළ අතිරික්ත සේවක තනතුරු සංඛ්‍යාව 1,596කි.





2018 වසරේදී මෙලෙස බඳවාගත් සේවකයින් වෙනුවෙන් රුපියල් හතලිස් හත් කෝටි අනූ තුන්ලක්ෂ පනස්හයදාස් නවසිය අනූ තුනක් (479,356,993.00) සහ 2019 වසරේදී රුපියල් පනස් අට කෝටි දාහත් ලක්ෂ හැත්තැ තුන්දහස් එකසිය අටක මුදලක් වැටුප් වශයෙන් ලබාදී තිබේ.

එසේම 2015 වසරේ සංස්කෘතික අරමුදලේ ආදායම රුපියල් බිලියන 2.9ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 2.01ක් ලෙස සඳහන් වන අතර, 2019 වසරේදී ආදායම රුපියල් බිලියන 4.037ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4.168කි.

2019 වසරේ ආදායම ඉක්මවා රුපියල් බිලියන 0.131ක් වියදම් කර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

සංස්කෘති අරමුදලේ මුදල් වැය කිරීම සඳහා ඉටුකරන ලද ව්‍යාපෘතිවලට සහ ඉටු කරමින් පවතින ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යවරයා සභාපතිත්වය දරන පාලක මණ්ඩලය අනුමැතිය ගත යුතුව ඇත.



කෙසේවෙතත් 2019 වසරේ මාර්තු 15 වැනිදායින් පසුව පාලක මණ්ඩලය රැස්වී නොමැති අතර එම වසරේ පැවති ජනාධිපතිවරණයට දින 04කට පසුව එනම් නොවැම්බර් මස 20 වැනි දින සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය රැස්වීමක් නොපවත්වා එහි සාමාජිකයින්ගෙන් අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදෙන පාලක මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය ලබාගෙන ඇති බව මෙම වාර්තාවේ සඳහන් වෙයි.



විධිමත් රීති මාලාවක් සම්පාදනය කිරීමෙන් තොරව 2018 සහ 2019 වසරවලදී සංස්කෘතික අරමුදලේ මුදල් වලින් ආදාහන පූජෝත්සවය, පින්කම් සඳහා, පෙරහර මංගල්‍ය, සාහිත්‍ය මංගල්‍ය, කලාකරුවන්ට , ලේඛකයින්ට, චිත්‍ර ශිල්පින්ට, සංගීතඥයින්ට , මූර්ති ශිල්පින් ඇතුළු විවිධ පුද්ගලයින්ට රුපියල් තුන්කෝටි විසි එක්ලක්ෂ හැටතුන්දහස් එකසිය පනහක් (32,163,150) ලබාදී ඇති බව විගණන වාර්තාවේ සඳහන් විය.

සජිත් ප්‍රේමදාස නිවාස හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සිටියදී සංස්කෘතික අරමුදලේ මුදල් යොදාගෙන සිදුකළ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සහ වැඩ අවසන් කර නොමැති ඉදිකිරීම්වල ඡායාරූප විගණන වාර්තාවට ඇතුළත් කර ඇත.


(adaderana.lk)

 

 

 


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්