දෙමළ ජාතික සන්ධානයේ (TNA) සංවිධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ තමිල් අරසු කච්චි පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ‌ප්‍රේමදාසට සහාය දීමට තීන්දු කිරීමෙන් අනතුරුව ඒ සන්ධානයේ අනෙක්

ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වූ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අ‌ඩෛක්කලනාදන්  හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සිද්ධාර්ථන් පෙරේදා (04) අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී කරන ලද සාකච්ඡාවකින් පසු ඔවුන්ද සජිත් ‌ප්‍රේමදාස ට සහාය ‌දීමට තීරණය කරන ලදැයි වාර්තා ‌වේ. 

මේ හමුව අගමැතිවරයා විසින් කැඳවා තිබුනේ ජනාධීපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එම සංවිධානවල සහය ලබා ගැනීම සඳහාය. 

ජාතික ප්‍රශ්නයට විසඳුම් පිළිබඳ එජාපයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර අගමැතිවරයා මෙහිදී සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය හරය සවිස්තරාත්මකව පැහැදිලිකර ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට මෙම නායකයන් දෙපළ තීරණය කර ඇති බවට වාර්තා වන අතර ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පවසා ඇත්තේ එම තීරණය ඉදිරි දින දෙක ඇතුළත නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

බොහෝ දමිළ ‌දේශපාලන නායකයන්ට ප්‍රශ්නයක් ව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දේශපාලන ස්ථාවරයන් පිලිබඳ ඔවුන් තුළ වූ අනවබෝධය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්ව එම සැකය දුරුකරලීමට මේවනවිට විශාල වැඩකොටසක් ඉටුකරමින් සිටින බවත් 'අරලියගහ මන්දිර' ආරංචිමාර්ග පවසයි.

රාජපක්ෂවරු උත්සාහ කරන්නේ ජාතිවාදය වපුරා බලය ගන්නයි - අගමැති

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ඊයේ (05) දින පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේම අපේක්‍ෂාව වුවද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බවයි.

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකගේම එකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යාම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බව ද අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමක් සඳහා තමන් කැපවී සිටින බවත්, එම විසඳුම සකස් කිරීමේ දී රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් සකස් කර ඇති යෝජනා පදනම් කර ගන්නා බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙත රැගෙන යාම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් ලබන නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස බලයට පත් කර ගන්නා ලෙස අගමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්