සමගි ජන බලවේගය 22 වන ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව සතුට පළකළ බව විපක්ෂනායක කාර්යාල මාධ්‍ය අංශය පවසයි.


ඒ, විපක්ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු ජාතික සංවිධාන 12ක නියෝජිතයන් අතර පැවති හමුවේදීය.

ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික සංවිධාන වල මතය විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කිරීමටත්, වත්මන් අර්බූදය විසඳීම සඳහා ජාතික මහජන රාජ්‍යය සභාව ඉදිරිපත් කළ 61 වැදෑරුම් වැඩපිළිවෙල විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කිරීමටත් මෙම හමුව සිදුවූ බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමරසේකර මෙසේ සඳහන් කළේය.

''විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

 එහිදී එතුමා ඒකීය රටක් ආරක්ෂා කර ගැනීම සමගි ජන බලවේගයේ ප්‍රමුඛතම කාර්යභාරය බව පැවසුවා.


''ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී රට කැබැලි වලට ලක්වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව එතුමා ප්‍රකාශ කර සිටියා. කාරක සභා අවස්ථාවේදී එවැනි යෝජනාවක් ගෙන ආවොත් එය පරාජය කිරීමට උපරිම උත්සාහය ගන්නා බවට ඒ මහතා අපට පැහැදිළි ස්ථිරසාර පොරොන්දුවක් ලබා දුන්නා. ''



ඒ වගේම අපි ඉදිරිපත් කළ 61 වැදෑරුම් සමාජ ගිවිසුම නම් වූ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට ජාතික සංවිධාන නියෝජිතයන් සහ සමගි ජන බලවේගය අතර හමුවක් සූදානම් කිරීමට ඉතා නුදුරේදීම කටයුතු කරන බවද දන්වා සිටියා.

සමගි ජන බලවේගය 22 වන ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඉන්නා ස්ථාවරය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව සතුටට පත්වෙනවා.” ගුණදාස අමරසේකර වැඩිදුරටත් පැවසුවේය.

(විපක්ෂනායක කාර්යාල මාධ්‍ය අංශය)

 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්