කෝප් කමිටුවේ ප්‍රධානී ලෙස රජයේම මන්ත්‍රීවරයෙක් පත් කිරීම යනු සොරකම් හා වංචා
කරන අයම ඒ අයගේ ගනු දෙනු පිළිබඳව තමන් විසින්ම විගණනය කිරීම හා සමාන යයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිකුරාදා පැවති පුවත්පත් සාකච්ඡාව අමතමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසිය.
'' පසුගිය යහපාලන සමයේ කෝප් හා කෝපා කමිටුවල සභාපතිත්වයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කළේ කිසිවෙකුත් තමාගේ නඩුවේ විනිශ්චයකරු ලෙස තමාම පත් නොවිය යුතුයි යන්න මූලධර්මය අනුවයි. විජේදාස රාජපක්ෂ හා සුනිල් හඳුන්නෙත්ති මහත්වරු පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ සමයේ පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී කමිටුවල සභාපතිත්වය දැරුවේ එම මූලධර්මය නිසායි.''
කෙසේ වෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන බව මුලින් කී රජය දැන් එම තීරණය ආපස්සට හරවා තිබෙන්නේ හොරු ආරක්ෂා කිරීමට දැයි වික්‍රමරත්න ප්‍රශ්ණ කළේය.
''දැන් පවතින්නේ විධායකය විසින් ව්‍යවස්ථාදයකය යටපත් කරන පාලනයක් ''
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ පවත්නා කුළුණු තුනෙන් එකක් අනෙකාගෙන් ස්වාධීන විය යුතු වූවද විධායකය විසින් ව්‍යවස්ථාදායකය යටපත් කිරීමේ ව්‍යායාමයක් මේ රජය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ඉරාන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසිය.
විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන්ව අමාත්‍යවරුන් ලෙස පත් කෙරේ. රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට බැවින් ඇමතිවරුන්ගේ සහා රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව ප්‍රශ්ණ කිරීමට හැකිවන සේ පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී කමිටුවල ප්‍රධානීන් ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් වන බව ද ඔහු කියා සිටියි.
අරගලයේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ, කිසිවක් කරන්නට නොහැකිව, මේ රජයට කොටු වෙලා ඉන්නා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවීමෙන් ඔප්පු වුනා යැයි හෙතම කීය.
කාරක සභා පිහිටුවීමේ අරමුණ වන්නේ රාජ්‍ය පාලනයේ දූෂණය නාස්තිය හා දුර්වල කළමනාකාරිත්වය නැති කිරීමයි. මෙම කාරක සභා කමිටුවල සාමාන්‍යයෙන් බහුතරය තිබෙන්නේ ආණ්ඩුවට බැවින් චන්දයකින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එහි සභාපතිත්වයට පත්විය නොහැක.
කෙසේ වෙතත් දූෂණයට එරෙහි කටයුතු කිරීමට අනිවාර්යයෙන් විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් ප්‍රධානිය ලෙස සිටිම වැදගත් වන බව සාමාන්‍ය දැනීමයි.
රජයේ ඇමතිකම් භාර ගන්නා ලෙස මුල සිටම සමගි ජන බලවේගයට ආරධනා කළා. රාජපක්ෂවරු යටතේ එය කල නොහැකි බැවින් අපි එය ප්‍රතික්ෂේප කළ ද තනතුරු භාර නොගෙන මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවගන්න විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය දෙන බවට සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමා පොරොන්දු වුණා.
රටේ විශාල ගැටළු තිබෙන නිසා ජනතාව වෙනුවෙන් රජයට සහාය දෙන්න විපක්ෂය ඉදිරිපත් වූවද අණ්ඩුවට කළ යුතු දෑ පිළිබඳව අවබෝධයක් නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රථම වතාවට රටේ ආර්ථික අපරාධ සිදුව තිබෙන බව එකී වාර්ථාවේ මේ සතියේ හෙළි කළා.
එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ ඡන්දය දී ඇත්තේ රටවල් හතක් පමණක් කීමෙන් මේ රජයට ජාත්‍යන්තරයේ තිබෙන සහාය පිළිබඳව පැහැදිලි වන බව ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේය.
ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වන රට ආර්ථිකව ප්‍රපාතෙට වැටෙමින් තිබෙන අවස්ථාවේ දී ආණ්ඩුවේ අවශ්‍යතාවය කුමක් දැයි කෝප් කාරක සභාවට ආන්ඩුවේ මන්ත්‍රීවරයෙක් සභාපති කිරීමෙන් පැහදිලි වෙනවා. බදු ගෙවන ජනතා මුදල් සොරකම් හා වංචා කරනවානම් එය පසුපස හඹා යන තමාව නටවන්න කිසිවෙකුටත් නොහැකි යැයි ඉරාන් වික්‍රමරත්න අවධාරණය කළේය.
ඒ සඳහා ජනතාව පෙළගස්වනවා. මේ අර්බුද අවස්ථාවේ රටේ තෙල්, ගල් අඟුරු ප්‍රසම්පාදනයේ තිබෙන ප්‍රශ්ණ මුළු රටම දනී. කෝවිඩ් අවස්ථාවේ එන්නත ගැන ප්‍රශ්ණ තිබ්බා.
පෞද්ගලික අංශය යටතේ ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයට පවරගත් පසු එකතු වූ පාඩුව රු බිලියන 400 ඉක්මවෙනවා. ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා රජයෙන් කරන වියදමට වඩා ගුවන් සේවාවේ දුෂණයේ එකතුව වැඩියි. මේවා කළේ කවුරුන් ද ?
මේවාට එරෙහි ගත් තීරණ කුමක්ද යැයි ඇසුවද මේ රජයෙන් ඒවාට පිළිතුරු නැතුවා පමණක් නොව රට වෙනුවෙන් ගත යුතු පියවරයන් පිළිබඳව රජයට අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැතැයි කී ඉරාන් වික්‍රමරත්න, මේ රටේ තවමත් ආණ්ඩු කරන්නේ රාජපක්ෂවරු බැවින් අරගලය හේතුවෙන් සිදු වූ වෙන්සකම්වලින් රටට හෝ ජනතාවට සෙතක් වී නොමැති බව සඳහන් කළේය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න