ෆේස්බුක් සටහන් මගින් මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව පිළිගත් අයකු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ

කාරක සභාව ඉදිරියේ සමාව ගනිද්දි, අපහාසාත්මක  ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් සිංහල පුවත්පතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනකුට අවවාද කර තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව පිළිගත් පුද්ගලයා ඒ පිළිබදව කනගාටුව ප්‍රකාශ කරමින් ඔක්තෝබර් 4 වැනිදා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී සමාව ගැනීම සිදු වු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ට අපහාසාත්මක අයුරින් පළ කර තිබූ  වීඩියෝවක් මගින් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවී ඇතිබවට පාර්ලි‍මේන්තු මන්ත්‍රී  එම්.ඒ සුමන්තිරන් සිදුකළ පැමිණිල්ලකට අනුව ෆේස්බුක් පිටුව අයත් යෝහරාසා චන්ද්‍රකුමාර් වරප්‍රසාද කමිටුවට කැදවා තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගේ සභාපතීත්වයෙන් ඔක්තෝබර් 4 වැනිදා  පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී මෙම සිදුවීමට අදාළ විමර්ශන  කටයුතු සිදුවු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

sumanthiran

WIJEDASA

" මෙහිදී තමා අතින් මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවී ඇති බව එම පුද්ගලයා පිළිගැනීම නිසා දෙපාර්ශවයේ එකගතාව මත කොන්දේසි සහිතව සිද්ධිය සමථයකට පත්කිරීමට තීරණය විය. මේ අනුව මේ පිළිබඳව කනගාටුව පළ කරමින් සමාව අයැද ප්‍රසිද්ධ පුවත්පතක  මෙන්ම එම ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් පළ කිරීම යන කොන්දේසි මත  පැමිණිල්ල විභාග කිරීම අවසන් කරන ලද අතර ඉදිරියේදී මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙස තරයේ අවවාද කරමින් කමිටුව විසින් ඔහුව නිදහස් කරන ලදී."


මාධ්‍යවේදීන් දෙදෙනා


පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන්ටම අපකීර්තියක් ගෙන දෙන අයුරින් අසත්‍යය ප්‍රවෘත්තියක් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සිංහල දිනපතා පුවත්පතක පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනකු ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට කැදවා තිබු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

“මැතිසබේ කැන්ටිමේ දියර කිරි හිඟවී මන්ත්‍රීවරු යකා නටති” යන සිරස්තලය යටතේ 2022 මාර්තු 09 දින ලංකාදීප පුවත්පතේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසිනි.

lankadeepa

මාසයකට ආසන්න කාලයක් තිස්සේ දියර කිරි සපයා නැති බව පවසන පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ නම් නොකළ උසස් නිලධාරියකුද මුලාශ්‍ර කොට ගනිමින් එම ප්‍රවෘත්තිය පල කොට තිබුනේ සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනාය.

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය හරහා සමස්ත පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් කෙරෙහි මහජනතාව තුළ වෛරයක් ඇතිවීමට හේතුවී ඇති බව කැටගොඩ මන්ත්‍රීවරයා චෝදනා කොට තිබේ.

පාර්ලිමේන්තුවේ ආහාර හා ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා‍ද කාරක සභාව ඉදිරියට කැදවා ඇති අතර එහිදී  ඔහු පවසා ඇත්තේ මේ පිළිබදව තමා සොයා බැලීමක් සිදුකළ බවත් එහිදී එවැනි කිසිදු සිදුවීමක් පිළිබද තොරතුරු වාර්තා නොවූ බවත්ය.

මේ අනුව අසත්‍ය තොරතුරු පළ කිරීමක් මගින් සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවයට හානියක් සිදුවී ඇති බව පෙනී යන බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ලෙස වඩාත් වගකීමෙන් යුතුව වාර්තාකරණයේ නියැලීමේ අවශ්‍යතාවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දී ඇත.

අධිකරණයමය ක්‍රියාමාර්ගවලින් තොරව මෙය විසදා ගැනීමට දෙපාර්ශවය එකග වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.


"මේ අනුව මෙම අසත්‍ය තොරතුරු පළ කිරීම පිළිබදව කනගාටුව පළ කරමින් ප්‍රකාශයක් සති දෙකක් තුළ පෙර ප්‍රවෘත්තියට ලබා දුන් ප්‍රසිද්ධියම ලබා දෙමින් අදාළ  පුවත්පතේ පළ කිරීම සහ එහි පිටපතක් සතියක් තුළ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එවීම, ඉදිරියේදී පාර්ලිමේන්තුව හෝ මන්ත්‍රීවරුන් කෙරෙහි එවැනි අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ පළකිරීමෙන් වළකින බවටද එකගවීම යන කොන්දේසිවලට යටත්ව මෙය සමථයකට පත්කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය."


කර්තෘට ලියුම්

එසේම මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට ලිඛිතව දන්වන ලෙසද නියෝග කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පොදුවේ පාර්ලිමේන්තුව පිළිබදව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළහොත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ය‍ටතේ  දඩුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පවතින බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දී තිබේ.


පාර්ලිමේන්තු බලය යටතේ අවවාද කිරීමට හෝ සය මසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමට ද බලය පවතින බවත්, යම් වරදක් සිදුවී ඇති බව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකි බවත් තව දුරටත් පෙන්වා දි තිබේ.


"ඒ අනුව ඊට වරදකරු වුවහොත් වසර දෙකකට නොවැඩි සිර දඩුවමකට හෝ දඩ මුදලකටද නොඑසේනම් මෙම දෙකටමද යටත් කළ හැකි බවද සභාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී."

 
 
  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්