පොහොටුවේ මජර දේශපාලනයට ජනාධිපති, අගමැති යටවුණා දැඩි පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව පත්වූ ගෙවිඳු කුමාරතුංග
විමසයි.
'යුතුකම' ජාතික සංවිධානයේ සභාපති, උත්තර ලංකා සභාගයේ උපලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග එම කාරණය විමසා සිටියේ, පසුගිය බ්‍රස්පතින්දා (ඔක්තෝම්බර් 06) වන දින පැවති මාධ්‍ය හමුවක දීය.
ඔහු එම මාධ්‍ය හමුවේදී මෙසේද සඳහන් කළේය.
'' 22 සම්මත කරගැනීම වැළැක්වීමට හිතාමතා සැලසුම්සහගතව කටයුතු කළා ''
''අද (06) දවසේ පාර්ලිමේන්තු කාලය වෙන් වෙලා තිබුණේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡාවට ගන්න. එය සම්මත කර ගැනීම මඟින් වඩාත් ප්රජාතන්ත්රවාදී අංග ලක්ෂණ අපේ රටේ පාලනයට එකතු කරගන්න. එහෙත් ආණ්ඩුව ඒ පනත විවාදයට ගෙන සම්මත කරගැනීම වැළැක්වීමට හිතාමතා සැලසුම්සහගත ව කටයුතු කිරීම පිළිබඳ අපි කනගාටු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විදේශ සංචාර සහ එහි දී සිදුකළ රාජතාන්ත්‍රික සාකච්ඡා පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කරන්න අවශ්‍ය නම් මෙයට පෙර දිනවල ඒ සඳහා කාල වේලාව වෙන් කරගත හැකි ව තිබුණා.
එහෙත් අද ජනාධිපතිතුමා හදිසියේ ම සිය රාජතාන්ත්‍රික සාකච්ඡා පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට කටයුතු කිරීම, 22 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය කල්දැමීම සඳහා සැලසුම් සහගතව සිදුකළ දෙයක් විදිහට යි, අපි දකින්නේ.
22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය මේ විදිහට ඊළඟ සභා වාරය දක්වා කල් දැමෙන්නේ, පක්ෂ නායක රැස්වීමේ දී සාමුහිකව එළැඹි තීන්දුව පවා නොතකා ආණ්ඩු පක්ෂයේ උවමනාව මත යි.
''මේක කිසිසේත් හදිසියේ ගෙන ආ පනතක් නෙමෙයි. මේ පනත ගෙන ආවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ සමයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකයින් ඇතුළු පක්ෂ විපක්ෂ නායකයින් 40කට අධික පිරිසක් කිහිප වරක් හමු වෙලා සාකච්ඡා කොට එකඟ වෙලා.''
ඒ නිසා මේ පනතට සංශෝධන එනවා නම් පැමිණිය යුතුව තිබුණේ විවිධ සිවිල් සංවිධාන සහ ජාතික සංවිධාන එය ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ අභියෝගයකට ලක්කිරීම නිසා විතරයි. එ මඟින් ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුව අනුව කෙරෙන සංශෝධන හැරුණු විට 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කරන්න කිසිදු බාධාවක් අපි නම් දකින්නේ නෑ.
ප්රජාතන්ත්රවාදයේ අඳුරු මොහොතක්...
එ වැනි පසුබිමක 22 වන සංශෝධන විවාදය කල් දමමින් එය සම්මත කර ගැනීම වැළැක්වීම ප්රජාතන්ත්රවාදයේ අඳුරු මොහොතක් විදිහට යි, අපි දකින්නේ.
ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න තිබූ තවත් අවස්ථාවක් අපට අහිමි වීමේ අවධානමක් අපි ඉදිරියේ තියෙනවා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා, ජනතා පරමාධිපත්‍ය බලය පවා තම තමන් ගේ බල වුවමනාවන් අනුව, තම පක්ෂවල බල ලියැවිල්ලක් බවට පත් කර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති සමයේ පටන් පැවැති සංසිද්ධීන් නැවත සිදුවන බව අද නැවත නැවතත් තහවුරු වෙනවා.
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ අවශ්‍යතාව, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ අවශ්‍යතාව, උදෙසා ජනාධිපති තනතුරට පැවරී ඇති ඇතැම් අනවශ්‍ය බලතල අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවට පවරා දීමේ සූදානම සංකේතාත්මකව ප්‍රදර්ශනය කරන්න අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා කියලා අපි හිතුවා.
එහෙත් අවාසනාවන්ත ලෙස එතුමා පැමිණ සිටියේ තමන් ගේ විදේශ සංචාරයක් පිළිබඳ කතාවක් පවත්වලා 22 වන සංශෝධනය විවාදයට ගැනීමට තිබූ අවස්ථාව මග හරවා ගැනීමට මාර්ගයක් පාදා දීමට බව පැහැදිලි වෙනවා.
22 වන ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන සහ ජාතික සංවිධාන ශ්‍රේෂ්ඨාධීකරණයට ගියා. මේ ව්‍යවස්ථාව සකසා ඇත්තේ සමස්ත රටේ ජනතාව විසින් තෝරාපත් කර ගන්නා ජනාධිපතිවරයා මුල් කරගෙන නිසා ඒ ධූරයේ බලතල ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධීකරණය කටයුතු කර තිබෙනවා.
''ඒ අනුව එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති සමයේ අපි එකඟ වූ 22 වන සංශෝධනයේ ඇතැම් ප්රජාතන්ත්රවාදී ලක්ෂණ දැන් අහිමි වෙලා. එහෙත් ඒ ඉතිරි ප්රජාතන්ත්රවාදී අංග ටික පවා සම්මත නොකරන තැනට කටයුතු කරන බවක් අද දකින්නට ලැබෙනවා. ''
තමන් අගමැති තනතුරේ ඉන්න කොට ජනාධිපති බලය අගමැතිට, පාර්ලිමේන්තුවට ලැබෙන්න ඕන කියල හිතන, තමන්ට ජනාධිපති තනතුර ලැබුණ ම ඒ බලතල රැක ගන්න විවිධ උපක්‍රම යොදන නින්දිත දේශපාලනයක් අපේ රටේ තියෙන්නේ. මේ රටේ ජනතාවට තවත් වංචා නොකොට අද ලබා දුන් ප්‍රතිඥාව අනුව ඊළඟ සභාවාරයේ දී 22 වන සංශෝධනය සභාගත කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
මේ තත්ත්වය තුළ හෝ 20 වන සංශෝධනය සම්මත කර ගැනීමට අවස්ථාව ලැබුණොත් අවම වශයෙන් අධිකරණය නීතිය හා සාමය යන විෂය ක්ෂේත්රවලට හෝ පක්ෂ දේශපාලන බල යාන්ත්‍රණයෙන් මිදිලා ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා.
22 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමටත් එමගින් කොමිෂන් සභා පිහිටුවීමටත් ඒ ඔස්සේ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධීකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, මහ බැංකු අධිපති ආදී මේ රටේ නීතිය හා සාමය සමග බැඳුණු තනතුරු දේශපාලන බලාධිකාරයෙන් පරිබාහිරව ස්වාධීන පුද්ගලයින් පත්කර ගැනීමේ අවකාශය ලැබෙනවා. එහෙත් ඒ ප්රජාතන්ත්රවාදී අවකාශය පවා තහවුරු නොවන ආකාරයට තමයි, ජනාධිපතිතුමා සහ ආණ්ඩුව කටයුතු කළේ.
ජනතා හඬට කන්දීලා, ප්රජාතන්ත්රවාදී අවකාශය පුළුල් කිරීමේ සංවාදයක් පවතින පසුබිමක, පාර්ලිමේන්තුවෙන් පිටත මහජන සභා පිහිටුවිය යුතු ය කියන පසුබිමක පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට, අධිකරණය ස්වාධීන කිරීමට, නිදහස් රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වන ආකාරයට ඉදිරි සති දෙක ඇතුළත 22 වන සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන ලෙස අපි රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා.
''මේ කල් මැරීම 22ට තිතක් නොවී කොමාවක් වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා''
පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි වීමට අකමැති අය ඇති, අධිකරණයට අත පෙවීමේ මං ඇහිරීමට අකමැති දේශපාලනඥයින් ඉන්න පුළුවන්, පොලිස්පති නීතිපති තම පක්ෂයේ අතකොළු වීම වැළැක්වීමට අකමැති අය ඉන්න පුළුවන්. ඒත් පක්ෂ දේශපාලනය අමතක කරලා රට ගැන හිතල තීන්දු තීරණ ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මේ කල් මැරීම 22ට තිතක් නොවී කොමාවක් වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. මහජන හඬට, මහජන නියෝජිතයින් ගේ හඬට කන්නොදී විධායකය කටයුතු කිරීමේ ආදීනව අපි පහුකාලේ අත්දැක්කා.
තව දුරටත් මේ තත්ත්වය උග්‍ර නොකර මේ රටේ ප්රජාතන්ත්රවාදී අවකාශය පුළුල් කිරීමට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ''
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න