රාජපක්ෂ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලදී මෑතකාලීනව මියගිය දකුණේ අරගලකරුවන් සිහිපත් කිරීමට

ගාලු මුවදොර පිටියට රැස්වු සාමකාමී විරෝධතාකරුවන්ට සිදු කළ පහරදීමට වගකිවයුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස මාධ්‍ය සංවිධානයක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.  


උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුල්ලිවයික්කාල් ඇතුළු අනුස්මරණ පැවැත්වීම කඩාකප්පල් කිරීමට ආරක්ෂක අංශ හා එක්ව වසර ගණනාවක් තිස්සේ අඩන්තේට්ටම් කරන පොලිසිය ඔක්තෝබර් 9 දා කොළඹදී ද මළවුන් සිහිපත් කිරීමට ගාලු මුවදොර පිටියට පැමිණි කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජනකායට හිරිහැර කරනු දැකගත හැකිවිය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ ගාලු මුවදොර පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සහකාර පොලිස් අධිකාරී නලීන්  දිල්රුක් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස යි.

police

''කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ, සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් ඇතුළු පිරිසගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලවා අපක්ෂපාතී විමර්ශනයක් කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, ඔවුන්ට එරෙහිව අපරාධමය වශයෙන් ක්‍රියාකරන ලෙසත්, ඊට සමගාමීව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිමු.''

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පොලිස්පතිට පෙන්වා දෙන්නේ කොළඹ ගාලු මුවදොර ඔක්තෝබර් 9 වැනිදා පැවැති සාමකාමී විරෝධතාවයකට සහ  මළවුන් සැමරුමකට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඊට බාධා කළ අතර ඊට සහභාගී වූවන්ට "කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස"  සලකු බවයි.



භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබියදී ශ්‍රී ලංකා පොලිසිය ඊට අවස්ථාව නොදුන්නා පමණක් නොව සාමකාමීව සිටි පිරිසට පහරදීම ද සිදු කර පාසල් ශිෂ්‍යකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබු බවත් එහි සදහන්ය.

 

''දරුවකු ඇතැතිව සිටි යුවළකට සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් ඇතුළු පොලිස් නිලධාරීන් හිරිහැර කළ දැරියක සමඟ සිටි මවකටද හිරිහැර කළහ. ඊට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම සජීවීව විකාශය කරමින් සිටි පාසල් ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබා ගෙන සිටි අතර තවත් සාමකාමී විරෝධතාකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.''

පොලිස් හිරිහැර නිසා අවුරුද්දක් පමණ වයසැති දරුවකු ද රෝහල් ගත කළ   අතර එම දරුවාගේ පියා ද රෝහල් ගත කරනු ලැබ සිටින බව පොලිස්පතිට සිහිපත් කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ මෙම පොලිස් නිලධාරීන් පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා පමණක් නොව වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ගැණෙන වරදවල් ද, දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැණෙන වරදවල්ද සිදු කරන ආකාරය පැහැදිලිවම වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙන බවයි.

පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධමය වශයෙන් ක්‍රියාකරන ලෙසත්, ඊට සමගාමීව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසත් පොලිස්පතිගෙන් ඉල්ලා සිටින මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වැඩි දුරටත් අවධාරණ්‍ය කර ඇත්තේ විමර්ශනය ආරම්භ වූ පසු අවශ්‍ය සාක්කි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්