හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු පළමුවන බැදුම්කර නඩුවේ විත්තිකරුවන්ට

එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති පොදු දේපළ පණත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම චෝදනා වලින් විත්තිකරුවන් 10 දෙනා නිදහස් කිරීමට (ඔක්තෝබර් 11 වැනිදා) නියෝග කළේය.

ඒ විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවක් ලෙසය.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් කිරීම ඇතුලු අධිචෝදනා 23 ක් යටතේ නඩුව පවරා තිබේ.

චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදි නඩුව කැඳවනු ලැබිණ.

cb

අර්ජුන මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුලුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්ධිය පුංචිහේවා එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබුණි.

නඩුවේ විත්තිකරුවකු ලෙස පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම ද නම් කර ඇති බවත්, භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන අධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කරනු ලැබුවේය.

මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් බහුතරයක් ද, එකී සමාගමේ අධ්‍යක්ෂවරුන් වන බැවින් ඔවුනට එරෙහිව ද එකී චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශවය විරෝධතා ඉදිරිපත් කරනු ලැබීය.


පළමු බැඳුම්කර නඩුව: අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු විත්තිකරුවන් ඇත්තටම නිදහස් ද?

පොදු දේපළ පනත යටතේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් නිදහස් කළද සෙසු චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට විනිසුරු මඬුල්ල දින නියම කර ඇත.

මෙම නඩුව විභාග වන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිවය.

2015 යහපාලන ආණ්ඩු සමයේ සිදුවු මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට මැතිවරණ වේදීකාවේ අදහස් දක්වමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණ කළේ, බැඳුම්කර හොරු අත්අඩංගුවට ගන්නවා පමණක් නොව පාඩුවත් අයකර ගන්න බවයි.

අර්ජුන මහේන්ද්‍රන්ව එවකට මහබැංකු අධිපති ධුරයට පත් කරනු ලැබුවේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට දැරූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට උදර්පනය කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පුරු රජය වෙත භාර දුන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා කිහිපයකදී අනාවරණය කළත්, මේ දක්වා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට හැකිවී නැත.

ඔහුව මෙරටට රැගෙන ඒමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අදහස් දක්වා නොමැත.


ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී නැහැ - ශෙහාන් සේමසිංහ

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වීමට පෙර හෝ ඉන් පසු චෝදනා එල්ලවී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්දීවේදී සමගි ජනබලවේගය චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විමසන ලද පැනයකට ප්‍රතිචාර ලෙසය.

"අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට අත දිගු කරලා මේ ඉන්නේ මහ බැංකු බැඳුම්කර හොරා කියලා ජනාධිපති තුමාට චෝදනා කළා. මේ චෝදනාවට ලක්වෙච්ච මහ බැංකු අධිපතිවරයා අපිට මතකයි, මේ ආණ්ඩුව පත්වෙලා සතියෙන් කනෙන් ඇඳන් එනවා කියලා කිව්වා. හැබැයි දැන් කනත් නැහැ එතුමත් නැහැ." චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කාගේ මිත්‍රයන් වුණත්, කව්රු බලයට ඇවිල්ලා හිටියත් ඒ විමර්ශන කටයුතු, නීතිමය කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. ඒ නීතිමය කටයුතු කඩිනම් කරන්න යම් සහයෝගයක් රජය විසින් ලබා දිය යුතු නම් ඒ සහයෝගය ලබා දෙන්න සූදනම්" රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විමසා සිටියේ, "ඔබතුමන්ලා පසුගිය කළේ චෝදනා කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට සෘජුව වගකියන්න ඕනේ කියලා. අපි යෝජනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති නිසා, හිතාමතා මේවා ප්‍රමාද කරලා මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කාපු පුද්ගලයින් තමන්ගේ බලලෝභීත්වය තුළ ආරක්ෂා වෙනවා කියන විශ්වාසය මට තිබෙනවා"

ඊට ප්‍රතිචාර දක්වමින් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද කිසිදු ආයතනයකින් හෝ අධිකරණයෙන් රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් චුදිතයෙකු ලෙස නම් කර නැති බවත් ඔහු පැවසීය.

මහබැංකු බැදුම්කර වංචාවක් සිදු කළේ කවුරුන් වුවද ඊට අදාළ නීතිමය කටයුතු දැන් සිදු වෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



මෙයත් නරඹන්න:

මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත්වීමත් බීබීසීය සමඟ පැවති සාකච්ඡාවකදී බැදුම්කර චෝදනා ගැන ඔහු දැක්වූ ප්‍රතිචාරයයි:

 


ශ්‍රී ලංකාව ; මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි


(BBC සිංහල සේවය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58