ලලිත් - කූගන් නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන දෙසැම්බර් 15 වැනිදා

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්තෝබර් 19 වැනිදා) පෙත්සම්කාර පාර්ශවයට අවසර දෙනු ලැබීය.

යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යාපනය අධි ආරක්ෂක කලාපය තුළදීම අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට නිකුත් කර තිබූ සිතාසි නියෝග ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය දුන්නේ ය.

2011 වසරේ දෙසැම්බර් මස 10 වන දා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබුණි.

එහෙත්, හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් දක්වා තිබුණේ, තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බැවින් යාපනය මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසය.

lalith

එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවත්, ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපතිධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ නීතීඥ නුවන් බෝපගේය.

ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම කැඳවනු ලැබිණ.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ අද (19 වැනිදා) අධිකරණයට කැඳවමින් නොතීසි යැවීමට මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර පාර්ශවයට අවසර ලබාදී තිබූ නමුත් ඔහු මිරිහාන නිවසේ පදිංචිය අතහැර යෑම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව දැනගන්නට ලැබී ඇති බැවින් මේ වනවිට පදිංචි විජේරාම නිවස වෙත ගොස් නොතීසි භාර දීමට අවසර ලබාදෙන ලෙස නීතීඥ නුවන් බෝපගේ කළ ඉල්ලීම සලකා විනිසුරු මඬුල්ල එම අවසරය ලබා දුන්නේ ය.

2019 ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර තිබූ නොතීසි නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ජනාධිපතිවරණය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර තිබුණේය.

පසුව 2020 නොවැම්බර් 24 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය බල රහිත කරමින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණි.

රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීම පදනම් කරගෙන අභියාචනාධිකරණය නිකුත් කර තිබූ එම නියෝගය අභියෝගයට ලක්කර අගතියට පත් පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ගොනුකර තිබුණේය.


කවුද මේ ලලිත් - කූගන්?

xvdfgඅතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් 2011 දෙසැම්බර් මස පැවැත්වුණු උද්ඝෝෂණයක දී
ලලිත් - කූගන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරුණි. (ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)


2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයාදෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.

මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය.
පසුව ඔවුන් ගමන්ගත් යතුරුපැදිය කෝපායි පොලිසියේදී සොයා ගැනිණි.

ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතුවල නිරතව සිටි ඔවුහු එම පක්ෂය කොටස් දෙකකට කැඩීමෙන් පසු පෙරටුගාමී පක්ෂයට සහාය දැක්වූහ.


''යුක්තිය ඉටුවෙනතුරු අඛණ්ඩව සටන් කරනවා'' -   පුබුදු ජයගොඩ

මේ සම්බන්ධයෙන්  Voice Tube නාලිකාව වෙත අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුයේ, '' මේ සහෝදරවරු දෙදෙනාට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා මේ නෛතික ක්ෂේත්‍රයේ ගෙනියන සටන දේශපාලනික සහ උද්ගෝෂණය යුක්තිය ඉටුවෙනතුරු. අඛණ්ඩව සිදුකරන බවයි.

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''ලලිත් සහ කුහන් පැහැරගෙන අතුරුදහන් කළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගත්තා. 2011 දෙසැම්බර් මාසේ 09 වෙනිදා. දෙසැම්බර් මස 10 වැනිදා තමයි ලෝක මානව හිමිකම් දිනය. මානව හිමිකම් දිනයට අදාලව යාපනයේ කෙරෙන වැඩකටයුත්තකට පූර්ව සූදානමක වැඩ කටයුතුවල නිරතව සිටිද්දී ලලිත් කුමාර් වීරරාජන් සහ කුමාර් මුරුගන් යන දෙදෙනාම යාපනය අධි ආරක්ෂක කලාපයකදී පැහැර ගැනීමකට ලක්වුනා.

එතනින් පස්සේ ගතවුණ අවරුදු 11 ක කාලය තුළ ඔවුන් අතුරුදන් වී සිටිනවා. ඒ පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා සිටින තැනක් හොයලා දෙන්න කියලා හබයාස්කෝපුස් පෙත්සමක් අපි ගොනු කළා අභියාචනාධිකරණයේ 2012 වසරේදී. පසුව අභියාචනාධිකරණය ඒ පෙත්සම සම්බ්න්ධ විමර්ශනය කරලා ඒ පිළිබඳ වාර්තාවක් සැපයීම සඳහා භාර දුන්නා යාපයේ මහේස්ත්‍රාත් අධිකරණයට.


''යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි කැඳවීමේදී 2016 මැයි මාසේ 03 වැනිදා සාක්ෂි සඳහා කැඳෙව්වා එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාව හිටපු කෙහෙලිය රඹුක්වැල්ල. කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් කළා මේ ලලිත් කූහන් පැහැරගැනීමෙන් දින‌ දෙකතුනකට පසුව කැබිනට් මාධ්‍ය හමුවේදී ඔවුන් අතුරුදහන් වෙලා නැහැ ඔවුන්ව පැහැරගැනීමකට ලක්වෙලා නැහැ, ඔවුන් අත්අඩංගුවට පත්වෙලා ඉන්නේ, ඔවුන් රජයේ භාරයේ ඉන්නවා කියලා. ඒ නිසා ඒ අධිකරණය ඔහුගෙන් විමසීමක් කළා ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ඔවුන් ඉන්න තැන දන්නවද කියලා. එවිට ඔහු පවසා සිටියේ ඔහු එම ප්‍රකාශය කලේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් සහ නිර්දේශ මත කියලා. ''

 

ඒ අනුව යාපනේ මහොස්ත්‍රාත් අධිකරණය 2019 ජනවාරි මාසේ 11 වෙනිදා නොතිසි නිකුත් කරා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයේ පෙනී ඉඳලා මේ සම්බන්ධ තමන් දන්න තොරතුරු සාක්ෂියක් ලෙස ලබා දෙන්න කියලා. එතකොට ඒ කරුණෙදි ඔහුට 2019 මැයි මාසේ 03 වෙනිදා තමයි යාපනයේ මහොස්ත්‍රාත් අධිකරණයේ පෙනී ඉන්න තිබුණේ. එදා ඔහු එන්නේ නැතුව ඔහුගේ නීතිඥයෝ ආවා. එහෙම ඔහු පළමුවර උසාවිය මගහැරීමක් සිදු කළා. එම අවස්ථාවේ නීතිඥයෝ ප්‍රකාශ කර සිටියේ ඔහුගේ පෞද්ගලික හේතුවක් මත එදාට අධිකරණයට පැමිණෙන්න විධිහක් නැහැ කියලා. ඉන්පසු අධිකරණය ඉතාම ලඟ දිනයක් විදිහට නැවත 2019 ජූලි 21 දිනය ලබා දුන්නා ඔහුට නැවත අධිකරණයේ පෙනී සිටින්න කියලා. එදත් ඔහු අධිකරණය මඟහැරියා. ඔහුගේ නීතිඥයන් එදත් පවසා සිටියේ ඔහු අසනීපව සිටි බැවින් පැමිණීට හොහැකි බවයි.

 ‍‍‍‍ඊට පස්සේ 2019 සැප්තැම්බර් 29 තමයි නැවත අධිකරණයට පැමිණීම සඳහා දිනය දුන්නේ. ඒකට හරියටම දින තුනකට කලින් සැප්තැම්බර් මස 24 වෙනිදා ඔහු නීතිඥයන් හරහා අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා සිටියා ඔහුව අධිකරණයට යාම වලක්වන්න කියලා. එතකොට මේක විහිලුවක් බවට පත් වුණා. අභියාචනාධිකරණයම තමයි යාපයේ මහේස්ත්‍රාත් අධිකරණයට කිව්වේ මේක පිළිබද විමර්ශනයක් කරන්න කියලා. එහෙම කියපු අභියාචනාධිකරණය නැවත වාරණ නියෝගයක් නිකුත් කරා ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවන්න බැහැ,

ඔහු එතනදී කරුණු දෙකක් ඉදිරිපත් කරා. ඔහු ජනාධිපති වරණයට අපේක්ෂකයෙකු ලෙස  ඉදිරිපත් වෙලා හිටියා සහ ඔහුට අධිකරණයට ඒමට තරම් ආරක්ෂාවක් නැහැ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මොකද ඊට කලින් සතියෙත් ඔහු යාපනයේ රැස්වීමක් කළා. යාපනයේ රැස්වීමක් කළා නම් යාපයේ අධිකරණයට යාමට තරම් ආරක්ෂාවක් නැහැ කියන එක පිළිගත හැකි දෙයක් ද ? ඊලඟට ඔහු කිව්වේ මේ නඩුවට ඔහු අදාළයි කියලා ඔහු හිතන්නේ නැහැ කියලා. එතකොට අදාළයි කියලා ඔහු හිතන්නේ නැත්නම් පළවෙනි වරට නොතිසි නිකුත් කළ අවස්ථාවේ ඒක දැනුම් දෙන්න තිබුණා. අනික ඔහු අදාළයි කියන එක ඔහු නියෝජනය කරන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ.

එතකොට ඒ කරුනු සියල්ල තිබියදී අභියාචනාධිකරණය අයුක්ති සහගත විදිහට ඔහු අධිකරණයට පැමිණීම වලක්වලා නියෝගයක් දුන්නා. අවසානයේ දෙසැම්බර් මස 03 වෙනිදා තමයි ඔහුට නැවත අධිකරණයට කැඳවීම සඳහා නියෝගය දුන්නේ. ඉන්පසු ඔහු ජනාධිපතිවරයා නිසා ජනාධිපතිවරයාට හිමි මුක්තිය යටතේ  ඔහු අධිකරණයට ගේන්නේ නැහැ කියලා ප්‍රකාශ කරා.

අපි දිගටම අවුරුදු ගාණක් මේ සම්බන්ධව අඛන්ඩව සටන් කළා. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී තීරණය කරලා තියෙනවා ඔහුව ශ්‍රේශ්ඨාධිකරණයේ හමුවට කැඳවන්න. ඒ අනුව පහුගිය අගෝස්තු 02 වැනිදා ඔහුට නොතිසි නිකුත් කරන්න තීරණය කළා. ඒ වෙලාවේ අගෝස්තු 02 වැනිදා අධිකරණ නිලධාරීන් වාර්තා කළා ඔහු ඉන්න තැනක් සොයා ගන්න විදිහක් නැහැ ලිපිනයක් දන්නේ නැහැ, ඔහු ජූලි මාසේ 09 වැනිදා ලංකාවෙන් ගියාට පස්සේ ඔහුට නොතිසි භාර දෙන්න විදිහක් නැහැ කියලා. එතනින් පස්සේ ඔහු ලංකාවට ආවා. දැන් ඔහුගේ විජේරාම මාවතේ තියෙන ඔහුගේ නිවසට නොතිසි භාර දීලා තියෙනවා. එතන නිවැසියෝ අත්සන් කලා නොතිසි භාර අරන් තියෙනවා. එහෙම තිබියදීත් 19 වැනිදා ඒ කියන්නේ අද පැවැත්වුණු නඩු විභාගයට ඔහු ආවේ නැහැ. අදත් ඔහු උසාවිය මඟහැරියා.



මේ හයවෙනි වතාවට තමයි ඔහු උසාවිය මඟහැරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරලා තියෙනවා දෙසැම්බර් 15 වැනිදා ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්න කියලා. අපිට තේරෙන්නේ නැති දේ තමයි, අබ කෑ මිනිහාගේ මොලේ දනවා කියලා පරණ කියමනක් තියෙනවා. එතකොට මේ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව චදිතයා කරලා නැහැ. ඔහු සාක්ෂි කරුවෙකු ලෙස සහ රජයේ නිළධාරීයෙක් වශයෙන් ඇවිත් ඔහු දන්න තොරතුරු ටික අධිකරණයට කියන්නයි තියෙන්නේ. අපි අහන්නේ ඇයි ඔහු එන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ පැහැරගැනීම් මේ අතුරුදහන් වලට ඔහු සම්බන්ධද කියන සැකය නිරතුරුවම මතු වෙනවා.



''මේක ලලිත් සහ කූහන් පිළිබඳම ප්‍රශ්නයක් නෙවෙයි''

අනික් පැත්තෙන් අපි මේ සහෝදරවරු දෙදෙනාට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා මේ නෛතික ක්ෂේත්‍රයේ ගෙනියන සටන දේශපාලනික සහ උද්ගෝෂනවලට අමතරව අපි අනිවාර්යයෙන්ම මේ සටන අඛන්ඩව ගෙනියනවා යුක්තිය ඉටුවෙනතුරු. මොකද මේක ලලිත් සහ කූහන් පිළිබඳම ප්‍රශ්නයක් නෙවෙයි. මැක්ස්වල් පරණගම කොමිසම කියලා තියෙනවා තිස්දාහක් පමණ අතුරුදන් වෙලා තියෙනවා කියලා. එතකොට ඒ තිස්දාහෙන් දැනට සජීවීව නඩුවක් විභාග වෙන්නේ මේ නඩුව විතරයි අපි දාපු. ඒ නිසා සියලු අතුරුදහන් වූවන්  වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න අපි මේ නඩුව ඉස්සරහට ගෙනියනවා.



දැනට තමන්ගේ රාජකාරියට පරිභාහිරව නීතිය අවභාවිතා කරමින් බලය අවභාවිතා කරමින් මර්ධනයේ යෙදෙන පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ටත්, රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ටත් අපි කියනවා මේකත් මතක තියාගන්න. කරන කලට පව් මීරිය මී සේ විඳින කළට දුක් දැඩි වෙයි ගිනි සේ, කරද්දි ලොකුවට සන්තෝෂයෙන් කරන්න පුළුවන් හැබැයි මේවා පිටිපස්සෙන් හඹානෙ එනවා. අපි මේක අතහරින්නේ නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂව අධිකරණයට කැඳවන්න.



මේ අතුරුදහන් කරපු සහෝදරයන් දෙදෙනා ඇතුළු නැති වෙච්ච සියදහස් ගණනක් මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්නත් අපිට කළ හැකි හොඳම දේ අපි කරනවා ඔවුන්ට යුක්තිය ඉටු වෙනතුරු. අපි දැනට සමාජයේ නිරුපද්‍රතව ඉන්න අය. ලලිත් කූහන් කියනනේ උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. මිනිස්සු අතුරුදහන් කරා, අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටි අයත් අතුරුදහන් කරා. අපි පවරපු නඩුවත් අතුරුදහන් කරන්න තමයි ගෝඨාභය බැලුවේ. අපි ඒවට ඉඩ දෙන්නේ නැහැ. අපි යුක්තිය සඳහා අඛන්ඩව සටන් කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ යුක්තිය සඳහා කරන සටනට එකතු වෙන්න ඒකට සහය දෙන්න කියලා.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image