ඉදිරි වසර සඳහා වෙන් කිරීමට නියමිත ආරක්ෂක වියදම අඩු කරන ලෙස වැඩ කරන පංතිය නියෝජනය කරන වෘත්තිය සමිති ජනතාව වෙත අධික බදු

බර පටවන ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලන පත්කිරීම් ලද නිලධාරීන්ගේ දීමනා 'නාස්තිකාර වියදම්' බව පෙන්වා දෙන වෙළෙඳ කලාප කම්කරුවන් නියෝජනය කරන සංවිධානයක් රජය විසින් පනවා ඇති ආදායම් බදූ සංශෝධනයක්ද යෝජනා කරයි.

 

"බදු අය කළ යුත්තේ අවශ්‍යම වියදම් වෙනුවෙන් පමණයි - ඒ විස්තර දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත" මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය අවධාරණය කරන්නේ හැම ආණ්ඩුවක්ම නාස්තිකාර වියදම් සඳහා ජනතාවගෙන් සෘජු බදු වලට වඩා වක්‍ර බදු අයකර ගැනීම සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම වන බවයි.

 

යුද්ධය අවසන් කළ 2009 වසර සඳහා ආරක්ෂක වියදම් වශයෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 171 ට අමතරව, කිසිදු එවැනි ගැටුමක් තර්ජනයක් නොමැති මේ කාලයේ 2022 වසර සඳහා ඇස්තමේන්තුගත ආරක්ෂක වියදම වන රුපියල් බිලියන 377, අද වන විට රුපියල අවප්‍රමාණය වීමද සළකා රුපියල් බිලියන 200 දක්වා අඩු කරන ලෙස එම සංගමය ඉල්ලා සිටි.


ජනතාවගෙන් බදු අය කළ යුත්තේ සමාජීය පොදු අවශ්‍යතා වෙනුවෙන් බව පෙන්වා දෙන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් සදහන් කරන්නේ එසේ බදු අය කිරීමේ සමාජ සාධාරණත්වයක්ද තිබිය යුතු බවයි.


"බදු අය කිරීමේ සමාජ සාධාරණත්වය ඇත්තේ ජීවත්වීමේ බරපතල අසීරුකම් වලට මුහුණ දෙන බහුතර ජනතාව මත පැටවෙන වක්‍ර හා සෘජු බදු වලින් ඔවුන් උපරිම වශයෙන් නිදහස් කරමින් මේ සමාජයේ වත්කම් හා ආදායම් විශාල වශයෙන් ගොනු කර ගන්නා ජනගහනයෙන් පොහොසත්ම සියයට 40 න් වැඩි බදු ප්‍රමාණයක් ලබා ගැනීමෙහි ය."


ආණ්ඩුව අලුතින් ඉදිරිපත් කර තිබෙන බදු අය කිරීමේ සමස්ත යෝජනාවලියෙහි එවැන්නක් දැකිය නොහැකි බව පවසන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ බදු ආදායමෙන් සියයට 80 ට වැඩි ප්‍රතිශතයක් වක්‍ර බදු වලින් ලබා ගන්නා විට ඒ බර මුළුමනින් වාගේ දැරිය යුත්තේ හිඟමන් යදින යාචකයාගේ සිට අඩු වැටුප්ලාභී සේවක සේවිකාවන් සමග සාමාන්‍ය ජනතාව  බවයි.


එනිසා බදු අය කිරීමේ දිශානතියක් ලෙස තබා ගැනීමට නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ආණ්ඩුවට  යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.


ආණ්ඩුවේ නඩත්තුවට නාස්තිකාර දීමනා


මන්ත්‍රී වැටුප සහ ඉන්ධන දීමනා හැර අන් සියලු දීමනා සහ ගෙවීම් අත් හිටුවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩි කිසිදු ගෙවීමක් ඇමතිවරුන්ට හා රාජ්‍ය ඇමතිවරුන්ටද නොගෙවන ලෙසත්  ඔවුන් ඉල්ලා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඉන්නා කාර්ය මණ්ඩල ප්‍රධානීන්, මාධ්‍ය අධ්‍යක්ෂවරුන් වැනි අනේකවිධ උපදේශකයන්, අධ්‍යක්ෂවරුන් හා සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා වැටුප් ගෙවුවත් නොගෙවුවත් ඔවුන් සහ ඔවුන්ගේ සහායකයන් නඩත්තු කිරීමට වැය කෙරෙන මුදල් නාස්තිකාර මුදලක් වන හෙයින් එවැනි සියලු පත්වීම් ද  හෝසිකරන ලෙසයි ඇන්ටන් මාකස් වෘත්තිය සිමිති නායකයා ඉල්ලා සිටින්නේ.

 

රජයේ වෛද්‍ය නිලධාරීන් සඳහා ගෙවන කිසිදු හේතු දැක්වීමක් කළ නොහැකි ඉතාම අසාධාරණ මාසික දීමනාවක් වන රුපියල් 50,000  දීමනාව අහෝසි කරන ලෙසත් සිය මාධ්‍ය නිවේදනය මගින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටි.

 

බදු පැනවීමේදී ආණ්ඩුව අලුතින් තීන්දු කළ සමාජ රක්ෂණ අරමුදල් බද්ද යැයි අයකරන සියයට 2.5 ක් වන වක්‍ර බද්ද සමග සියයට 15 ක වටිනාකම් එකතු කිරීමේ බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වහා අහෝසි කරන මෙන්ද ඉල්ලා සිටින නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය තව දුරටත් ඉල්ලා සිටින්නේ  පුද්ගල ආදායම් බද්ද අය කිරීමේ අවම සීමාව රුපියල් ලක්ෂ 02 ලෙසින් තීන්දු කරන ලෙසයි.


ප්‍රයිවට් ප්‍රැක්ටිස්


shutterstock gavel stethoscope medical malpractice


වාර්ෂික ආදායම රුපියල් මිලියන 05 ට වැඩි සියල්ලගෙන් අය කරන පුද්ගල ආදායම් බද්ද සියයට 40 දක්වා වැඩි කරන මෙන්ද ඔවුන් තව දුරටත් ඉල්ලා සිටි.

 

පෞද්ගලික වෛද්‍ය සායනවල නිරත වන විශේෂඥ වෛද්‍යවරුන් සහ නීතිඥ ප්‍රජාවගෙන් බහුතරයක් නිසියාකාරව බදු නොගෙවන හෙයින් ලියාපදිංචි සියලු පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය සායනවල රෝගීන් පරීක්ෂා කරන විශේෂඳ වෛද්‍යවරුන්ගෙන් රුපියල් 10,000 ක රජයේ රෝහල් සංවර්ධන අරමුදල් බද්ධක් මාසිකව අය කිරීමටත් සියලු ලියා පදිංචි නීතිඥයන්ගෙන් ඔවුන්ගේ ලියාපදිංචිය සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් අය කරන ලෙසත් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සිය මාධ්‍ය නිවේදනය මගින් යෝජනා කර තිබේ.

 

"මෙම යෝජනා බදු අය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක මූලික රාමුව සඳහා පදනම විය යුතු යැයි අපි අවධාරණය කරන අතර, බදු මුදල් ඇතුළු දේශීය ආදායම් වැය කෙරෙන රජයේ වියදම් ලේඛනය වහා සමාජය හමුවේ තබන මෙන්ද අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු," යි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්