22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (ඔක්තෝබර් 21 වැනිදා) වැඩි ඡන්දයෙන් සම්මත විය.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය ලෙසය. ඒ වැඩි ඡන්ද 178කිනි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර සංශෝධනයට විපක්ෂව ඡන්දය භාවිත කරනු ලැබීය. මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.
ඒ අතර ආණ්ඩුව නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි වැනි මැති ඇමතිවරුන් 25 දෙනෙකු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවෙන් පිටවගොස් තිබිණ.
චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මේ අතර සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පස්දෙනෙකු (05) අද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය. වඩුවේල් සුරේෂ්, වේලු කුමාර් සහ හෙක්ටර් අප්පුහාමි විදේශගතව සිටි අතර හැලීම් මන්ත්‍රීවරයා අසනීපයෙන් පසුවනබව දැනුම්දී තිබේ. හේෂා විතාන මන්ත්‍රීවරයා කොලොන්න සමුපකාර ඡන්දය සංවිධාන කටයුතු සඳහා ගොස් තිබිණ.
ඩලස් අලහප්පෙරුමගේ නිදහස් කණ්ඩායමේ මහචාර්ය ජී.එල්. පීරිස් සහ දොස්තර උපුල් ගලප්පත්ති මේ දිනවල විදේශගතව සිටිති.
එසේම විමල් වීරවංශ ගේ උත්තර සභාගයේ මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය එන්.එම් . පෙරේරා සමරුවකට සහභාගී වීම හේතුවෙන් ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.
ඒ අතර දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හයදෙනෙකු (06) පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර සිව්දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් එසේ නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති. අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් ද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය.
අද පෙරවරුවෙත් අවිනිශ්චිත බවක්...
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දෙවැනි දිනය අවසානයේ ඡන්ද විමසීම පවත්වනු ලැබිණ.
ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් විදෙස්ගතව ඇතැයි වාර්තා වී තිබූ පසුබිමක ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිත බවක් පැවතිණි.
කාරක සභා අවස්ථාවේදි 22 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස හැඳින්වීමට යෝජනා කෙරුණු අතර ඊට සභාව එකඟවිය. කාරක සභා අවස්ථාවේ සංශෝධන වලින් අනතුරුව 3 වැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, ඒ අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය, අනෙකුත් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
'සහය දෙන්නේ ආණ්ඩුවට නෙමේ. රට බේර ගන්න'
මේ අතර පොහොට්ටුව තුළ බෙදීමක් ඇතැයි මෙම ඡන්ද විමසීමෙන් පෙනී යන බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානයක ඡන්ද විමසීමෙන් අනතුරුව පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, අපේ රටට ආධාර ලබා ගැනීමේ එක් පුරුකක් වෙනවා 22 වැනි සංශෝධනය සම්මත කරගැනීම." යනුවෙනි.
කොන්දේසි සහිතව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර අවධාණය කළේය .එහෙත් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ මේවන විට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති බවයි.
ව්‍යවස්ථාදායක සභාව
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත කිරීමය.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කෙරෙන බවයි.
කතානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වෙති.
ජනාධිපතිවරාය පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂනායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්වෙති.
අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණකි.
ඒ අනුව අගවිනිසුරු ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා , පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍යසේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ද ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.
ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත.
22 වැනි සංශෝධනයේ මූලික අරමුණු :
# විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම.
# විධායක ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් කතානාකවරයා අතුලු පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීම.
# අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම
# ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පත් කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.
# මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.
•ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරිය යුතුය.
# යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
# දුෂණයට එරෙහිව පනවන නීති දැඩි කෙරේ. - දුෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.
# අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයෙකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය.
# අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.
# ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.
# ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.
# ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)