මෙරට මැතිවරණ සංස්කෘතිය තුළ විධායක ජනාධිපති ක්‍රමය වැනි ප්‍රබල හා විශිෂ්ට තනතුරකට සුදුසුම පුද්ගලයා
තෝරා ගැනීමට නොහැකිවීම නිසාත්, ඇතැම් අවස්ථාවන්හි හොඳම පුද්ගලයා ලෙස තෝරගන්නා පුද්ගලයා ඉතාම දුර්වල ලෙස වැඩ කිරීම නිසාත් ජනාධිපති ධුරය අවභාවිත වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.
වත්මන් ජනාධිපතිවරයාට ද එය අදාල බව ඔහු කියා සිටියි.
මන්ත්‍රීවරයා එබව සඳහන් කළේ, නිදහස ජනතා සභාව විසින් අද (23) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කළ විමසීමකදීය.
''ව්‍යවස්ථාව හැදුවොත් රටේ වෙනසක් වෙයි කියලා විශ්වාස කරනවද ? ආර්ථිකයත් එහෙම වෙනස් වෙන්නේ නැහැ නේද? '' මාධ්‍යවේදියා විමසු අවස්ථාවේදී මහාචාර්ය චරිත හේරත් තවදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.
''ඇත්තටම මම ඒක තමයි කිව්වේ මේ රටේ සමහරු කල්පනා කරනවා ව්‍යවස්ථාව තමයි මේ රටේ ප්‍රධාන ප්රශ්නය කියලා. එහෙම හිතන්නේ විධායක ජනාධිපති තමයි ඇමතිවරු පත් කරන්නේ, ලේකම්වරු පත් කරන්නේ, ආයතන ප්‍රධානින් පත් කරන්නේ, එහෙම පත් කරපු අය තමයි මේ රට අවුල් කරන්නේ කියලා ජනතාව හිතන නිසා තමයි, ඒ වගේ මතයක් තියෙන්නෙ..
ව්‍යවස්ථාව නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා හිතන්නේ ඒකයි. හැබැයි මගේ තර්කය ඒකට වඩා වෙනස්. ජනාධිපතිවරයා තමයි මේ ක්‍රමය තුළ ඇමතිවරුන් පත්කරන්නේ. විධායක ජනාධිපති නොමැති, කැබිනට් ක්‍රමය තියෙන සමහර රටවල් සාර්ථක වෙලා තියෙනවා ඒ වගේම අසාර්ථක වෙලාත් තියෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය තුළ සාර්ථක වෙච්ච අවස්ථා වගේම අසාර්ථක වෙච්ච අවස්තා තියෙනවා. අපිට වෙලා තියෙන්නෙ අපේ මැතිවරණ සංස්කෘතිය ඇතුළේ විධායක ජනාධිපති ක්‍රමය වැනි ප්‍රබල තනතුරකට, විශිෂ්ට තනතුරකට හොඳම පුද්ගලයා තෝරා ගන්න අපිට බැරි වෙලා තියෙන එකයි. සමහර වෙලාවට අපි හොඳම පුද්ගලයා කියලා තෝරගන්න පුද්ගලයා ඉතාම දුර්වල විදිහට වැඩ කරනවා. මේ විදිහේ බලසම්පන්න තනතුරු අවභාවිත වෙලා තියෙන්නේ ඒ නිසයි.
දැන් උදාහරණයකට බලන්න පහුගිය කාලේ අපි පත් කරගත් අපේ ජනාධිපතිතුමා, ගෝඨාභය ජනාධිපතිතුමා, එතුමා ගත්තු තීරණ, එතුමා පත් කරපු පුද්ගලයෝ අසාර්ථක සහ දුර්වල පුද්ගලයින් කියල අපි කියන්න ඕනෑ නැහැ. ඒක නිකංම රටටම පෙනුනා. එතුමා ආර්ථිකය සම්බන්ධව පත් කරපු පුද්ගලයෝ ආර්ථිකයට සම්බන්ධ ගත් තීරණ සියල්ලම පාහේ වැරදියි. එතුමා කෘෂිකර්මය සම්බන්ධව පත් කරපු පුද්ගලයෝ ඒ සම්බන්ධ ගත්ත තීරණ රාශියක් වැරදියි.
එතකොට ජනතාව මුළු සිස්ටම් එක කෙරෙහිම එරෙහි වෙනවා. ඒකයි මෙතන වෙකා තියෙන්නේ.
මේ තනතුරු බරපතළ තනතුරක් ඒ නිසා ඒකට පත්වුණ පුද්ගලයින්ට බුද්ධිමය විනයක් තියෙන්න ඕන. නිශ්චිතවම නිවැරදි පුද්ගලයා තෝරා ගන්න. ඒ වගේම මුළු ලෝකෙම අද සංඛ්‍යා දත්ත සහ දැනුම මත තමයි ඉදිරියට යන්නේ. පරණ සාම්ප්‍රදායික ආචීර්ණකල්පිත අදහස් තියෙන පුද්ගලයෝ මත නෙමෙයි. මේක 15 ශතවර්ෂ නෙමෙයි කියල අපේ නායකයින් දන්නේ නැහැ.
තමන්ගෙ නායකයා කල්පනා කරන විදිය තමයි හරි, නායකයාගේ පවුලේ අය කල්පනා කරන විදිය තමයි හරි කියලා කියක හිතල වැඩ කලේ 15 වෙනි ශතවර්ෂ යේ. දත්ත විශ්ලේෂණ නැතුව නායකයා කියන දේ හරි කියල පිලිගත්තේ පහලොස්වැනි සියවසේ. ඒ ලෝකය කඩා වැටුණා.
දැන් මේ දත්ත මත තීරණ ගන්න රටවල් ඉස්සරහට යනවා. ආචීර්ණකල්පිත තීරණ ගන්න රටවල පස්සට යනවා. ඔන්න ඕක තමයි අපිට උනේ. විශේෂයෙන්ම 2020, 2021, 2022 මේ අවුරුදු තුල ආර්ථිකය සම්බන්ධව උන දේවල් දෙස බැලුවොත් මේක පේනවා.
මම දැක්කා මහ බැංකු අධිපතිවරුන් ඉදිරිපත් කරපු සමහර වාර්තා මුදල් අමාත්‍යංශ ලේකම්වරු මුදල් ඇමතිවරු තඹ දොයිතුවකට මායිම් කරලා තිබුණේ නැහැ මේ කියන කාලේ. සමහරු කල්පනා කරලා තිබුණේ අර පහලොස් වැනි ශත වර්ෂයේ කල්පනා කළා වගේ. මට හිතෙන විදිහ තමයි හරි කියලා...
එහෙම හිතලා වැඩ කරපු අය හිටියා. ඔන්න එහෙම වැඩ කරලා තමයි මේ ආර්ථිකය වැටුණේ. එනිසා මම හිතන්නේ ජනාධිපති ක්‍රමය සම්බන්ධව ජනතාවගේ විවේචනයක් එන්න හේතු තියෙනවා.
ඒ උනාට අපි මේ බරපතළ විදියට වැටිල තියෙන්නෙ ජනාධිපතිවරු කියලා අපි පත් කරගත් උදවිය ගත්තු ඉතාම ප්‍රාථමික තීරණ නිසා.
දැන් බලන්න මුදල් ඇමති ධූරය. මුදල් ඇමැති ධුරය කියන්නේ ජනාධිපතිවරයාට හෝ (දැන් ජනාධිපතිවරයාටත් මේක අදාලයි ) හෝ ජනාධිපතිවරයා ගේ පවුලේ කෙනෙකුට අයිති දෙයක් පමණක් නෙවෙයි. මුදල් ඇමැති ධුරය යනු විධායක ජනාධිපති ක්‍රමය යටතේ පත් කර ගත යුතු ඉතාම වැදගත් වූ, බලගතු තනතුරක්.
ඒත් අනතුර මංම තියාගන්නවා කියලා වැඩ කරපු ජනාධිපතිවරු ඉන්නවා.
දැන් ඉන්න ජනාධිපතිවරයාත් එහෙම හිතන කෙනෙක්. මේක දන්නෙ මම පමණයි කියලා හිතනවා එහෙම අය හිතනවා. ඉතිං මීට ඉස්සරත් එහෙම තියාගෙන හිටපු අය ඉඳලා මුළු ආර්ථිකයම වැටුනා. එහෙමත් නැත්නම් හිතන්නේ ඒක් මගේ මිත්‍රයෙක්, එහෙම නැත්නම් මගේ කෙනෙක්, එහෙම නැත්නම් මගේ පවුලේ ඥාතියෙක් විතරයි මේක දන්නෙ කියලා හිතනවා. එහෙම හිතන එක සම්පූර්ණ වැරදියි.
මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි මේක රටක් පිළිබඳ ප්‍රශ්නයක්. රටක ආර්ථිකය කියන්නේ මේක මේ දැන් ඉන්න ජනාධිපතිතුමාටත් වලංගු නිසයි මං කියන්නේ. එතුමා පිළිබඳ ප්‍රශ්නයක්වත් එතුමාගේ පවුලේ පිළිබඳවත් ප්‍රශ්නයක් නෙවෙයි. හිටපු ජනාධිපතිවරුන්ගේ පවුල් පිළිබඳ ප්‍රශ්නෙකුත් නෙවෙයි. මේක සමස්ත රටක් පිළිබඳව බලපාන ප්‍රශ්නයක්.
ඒ නිසා විධායක ජනාධිපති ජනාධිපතිධූරය එක තියෙන මේ බල සම්පන්න තත්ත්වය මුදල් සම්බන්ධව තීරණය ගන්න පුළුවන් කාටද කියලා තීන්දු කරන්න පුළුවන් බලසම්පන්න තත්ත්වය නිශ්චිතව නිවැරැදිව තීරණය කරන්න ඕනෑ. එහෙම නැතුව ඒක මම තියාගන්නවා ...මම නැත්නම් අපේ අහවලා තියාගන්නවා අපේ පවුලෙ නැතුව වෙන කිසි කෙනෙකුට ඒක දෙන්නේ නැහැ ...කියල හිතන දේශපාලනේ වැරදියි. එහෙම හිතන අයගේ පවුල් වලට විතරක් නම් බලපාන්නේ එක අපිට ප්‍රශ්නයක් නෑ.
ඒක මුළු රටටම බලපාන අපි ඔක්කොම පාරේ qoue එකට නැත්නම් පෝලිමට වැටෙනවා. අපි ඔක්කෝටම මුළු ලෝකයක් හිනා වෙනවා.''
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න