theleaderlk 01

රක්ෂිත බන්ධනාගාරය තුළ දී වත්කම් හිමි හා අහිමි පන්ති දෙකකට දෙවිදිහකට සලකන අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්ව ඇතැයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.


'' අවුරුදු එකසිය දෙකකුත් මාස හයකට පස්සෙ මේ බන්ධනාගාර වලට අදාල නීතියක් වෙනස් කරල ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. '' ඔහු කියා සිටියි.


ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පුබුදු මෙසේ සඳහන් කළේය.


''විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ අත්සනින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. 2288/15  කියලා. මේ අති විශේෂ ගැසට් නිවේදනය මගින් වෙනස් කරලා තියෙන්නේ 1920 මාර්තු 19 වැනිදා නිකුත් කරපු ගැසට් නිවේදනයයි. අවුරුදු එකසිය දෙකකුත් මාස හයකට පස්සෙ මේ බන්ධනාගාර වලට අදාල නීතියක් වෙනස් කරල ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ.

 

මේ නීතිය වෙනස් කරලා තියෙන්නේ කොයි පැත්තටද. ඒක වෙනස් කරල තියෙන්නෙ විශේෂයෙන් වරදකරුවන් ලෙස අධිකරණයෙන් දඬුවම් නියම කරපු සිරකරුවන් සම්බන්ධයෙන් නෙවෙයි. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තවමත් වැරදිකරුවන් ලෙස ඔප්පු වෙලා නැති නඩු කටයුතු පවතින අයට තමයි මේ වෙනස් නීතිය පනවලා තියෙන්නේ.

 

ඒ අනුව,


# මෙතෙක් කල් පැවතුණු නීතියට අනුව සතියේ දින පහක් හයක් මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් බලන්න ඔවුන්ගේ ඥාතීන්ට එන්න පුළුවන්කම තිබුණා. මේ නව නීතිය හරහා ඒක අඩු කරල තියෙනවා,සතියට එක වරක් දක්වා. ඥාතීන්ට සතියට එක වරයි ඥාතියාව, රැඳවියාව බලන්න අනුමැතිය දීලා තියෙන්නේ.


# ඒ විතරක් නෙමෙයි, මේ වෙනකල් මේ අවුරුදු සියයකටත් ඉස්සෙල්ලා රක්ෂිත බන්ධනාගාර වල රැඳවියන්ට ආහාර ඇඳුම් පැළඳුම් අනෙකුත් කඩදාසි සහ අනෙකුත් දේවල් ගේන්න අනුමැතිය දීලා තිබුණා. ඒ අනුමැතිය දැන් අහෝසි කරලා තියෙනවා. මේකේ නිශ්චිතවම සඳහන් වෙලා තිබෙනවා ආහාර, ඇඳුම් පැළඳුම් කඩදාසි සහ අනෙකුත් ද්‍රව්‍ය ගේන්න අනුමැතිය දෙන්න බැහැ කියලා.


# ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් රක්ෂිත බන්ධනාගාර රැඳවියන්ට රටේ පවතින නීතියට අනුව ඔවුන්ට ව්‍යායාම කරන්නත් ඔවුන්ට සූර්යාලෝකය ලබාගැනීම සඳහාත්, ඒ වගේම ඔවුන්ට වාතාශ්‍රය ලබා ගැනීමටත් දිනකට පැය හයක් අටත් අතර ප්‍රමාණයක් ඔවුන් සිටින සිර මැදිරිවලින් ඔවුන්ව එලියට ගන්න නීතියෙන් නියම කරලා තිබුණා. ඒක ඉතාම අමානුෂිකව සහ මිලේච්ඡ ලෙස ගැසට් නිවේදනය හරහා දිනකට පැයකට සීමා කරලා තිබෙනවා.  දවසේ පැය 24න් පැය 23 ක් ඒ අයව කූඩුවේ දාලා තියන්න සහ එක පැයකට පමණක් එළියට ගන්න කියලා තමයි අලුත් නිවේදනය නිකුත් කරලා නීතිය දාලා තියෙන්නේ. එතන තියෙන ඉතාම බරපතළම ප්‍රශ්නය තමයි මේ නීතිය මේ විදිහට ක්‍රියාත්මක කරද්දී මුදල් වියදම් කරන පොහොසත් අය සඳහා වෙනම වරදාන වෙනම වරප්‍රසාද ලබාදෙන්න තීරණය කරලා තියෙනවා.

 

උදාහරණයක් විදියට මේ ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට මුදල් තියන අයට මුදල් දීලා තනි කාමරයක් විශේෂයෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අදාල කුලී ගෙවලා මුදල් ගෙවලා එම කාමරය සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ගන්නත් පුළුවන්. භාණ්ඩ කියන්නේ මොනවාද කියල අර්ථ දක්වලා නැහැ . රූපවාහිනී යන්ත්‍ර ඉඳලා පරිගණක දක්වා ගන්න පුළුවන් ඇති. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද ? මෙතන සිද්ධ වෙන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ඇතුලෙම පන්ති දෙකකට දෙවිදිහකට දැනටත් ක්‍රියාත්මක වෙනවා.

 

තිළිණි ප්‍රියමාලිලා රක්ෂිත බන්ධනාගාර ගත වුණාට පසු ඔවුන්ට සලකන විදිහයි, සාමාන්‍ය ගැහැනියක් මොනවා හරි වරදකට අහු වෙලා ගිහිල්ලා හෝ නොකළ වරදකට ඇතුලට දාල ඉවර වෙලා ඒ අයට සලකන විදිහයි අතර වෙනසක් තියෙනවා.


#  බන්ධනාගාර රෝහලේ සලකන විදිය වෙනසකුත් තියෙනවා. රෝහලේ පහුගිය කාලේ උද්ඝෝෂණය කරලා ඇතුලට ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කොවිඩ් වැලදුනාට පස්සේ රෝහලට ගත්තෙ නෑ. ඇදුම හැදිලා හුස්ම ගන්න බැරුව ඉන්නෙ එක විශ්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවක් රෝහලට ගෙනිච්චේ නැහැ. හැබැයි මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගත්තට පස්සේ මිනීමැරුම් වංචාවල් වගේ බරපතළ සිද්ධීන් වලට පවා ඔවුන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට. ඔවුන් ඉන්නේ නෑ බන්ධනාගාර ඇතුලේ. ඒක දැනටත් තියෙනවා. දැන් ඒක නීතියක් බවටත් පත් කරලා තියෙනවා.

 

දැන් වෙන්නේ මේකයි. මින් ඉස්සරහට වෙන්නේ සල්ලි තියෙන අයට කාමරයක් වෙනම අරගෙන ඒ කාමරයේ ගෘහ භාණ්ඩ පුරවගෙන ඒ කාමරයේ විවිධ පහසුකම් අරගෙන රජවරු වගේ ඉන්න පුළුවන් රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුලේ. හැබැයි සල්ලි නැති අයට අඩුම ගානේ ගෙදරින් කෑම එකක් ගේන එකත් නැති කරලා තියනවා. ගෙදර මිනිස්සු බලන්න එන එක නතර කරලා තියෙනවා. එතකොට පොහොසත් රැඳවියන්ට සල්ලි තියෙන අයට බලය තියෙන අයට රූපවාහිනිය බලන්නයි පත්තර කියවන්නයි දුරකථනය පාවිච්චි කරන්නයි ඔක්කොටම අවස්ථාව හදලා තියනවා. අඩුම ගානේ ලියුමක් ලියන්න පැමිණිල්ලක් ලියාගන්න කඩදාසි කෑල්ලක් සිරමැදිරි ඇතුලට ගෙනියන එක තහනම් කරලා තියෙනවා අනෙකුත් රැඳවියන්ට. එතකොට දැන් මේ බන්ධනාගාර ගේට්ටු වලත් හිරකරුවන් ද මනුෂ්‍යයෝ ය කියලා ලොකු කතා ලියලා තියනවානේ. සිරකරුවෝද මනුශ්‍යයෝය කියලා ගේට්ටුවෙ ලියලා ඔන්න ඔහොම තමයි සිරකරුවන්ට සලකන්නේ.

 

වරදකට වැරදිකරුවන් වෙලා ඔප්පු වුන අයවත් නෙමෙයි මේ. ඒ සඳහා සිර දඬුවම් අධිකරණයේ නියම කරපු අයත් නෙවෙයි. තවමත් වැරදිකරුවන් ලෙස තහවුරු වෙලා නැති අධිකණයේ නඩු වල සිටින අය. එතකොට නීතියේ මුලික මූලධර්මයක් තමයි වැරැද්ද ඔප්පු වන තුරු ඔහු නිවැරදි කරුවෙකු ලෙස සැලකිය යුතුයි කියලා. එකොට නිවැරදි කරුවන් සඳහා තමයි මේ රනිල් රාජපක්ෂයි, විජේදාස රාජපක්ෂයි, බැසිල්  රාජපක්ෂයි ඔක්කොමල්ලා එකතුවෙලා මේ නීතිය සම්මත කරලා තියෙන්නේ.


ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව පාලනය කරන කාලේ 1920 මාර්තු මාසේ 19 වැනිදා පනවපු නීතියක් අවුරුදු 102 මාස හයකට පස්සේ ඒ නීතිය වෙනස් කරනවා. ඒ වෙනස් කෙරුවට පස්සේ මෙතෙක් කල් බන්ධනාගාර රැඳවියන්ට තිබුණු  මූලික අයිතිවාසිකම් ගණනාවක් අහෝසි කරනවා. අපේ අයිතිවාසිකම් 1920 තරම් ඈත කාලයේදී දීලා තිබුනේ ඒ කාලේ බන්ධනාගාර  රැදවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ලෝකය සමග තිබුණු සාකච්ඡා සමඟයි. අද සියවසක් ගත වෙලා තිබෙනවා.

 

මේ සියවස ඇතුලේ බන්ධනාගාර රැඳවියන් පිළිබඳ සාකච්ඡා පුළුල් වෙලා තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ අවබෝධය පුළුල් වෙලා තිබෙනවා, ඒවා සම්බන්ධ  තිබෙන සම්මුතීන් පුළුල් වෙලා තිබෙනවා, ලෝක පරිමාණයෙන් ම මේ ක්ෂේත්‍රය දියුණු වෙලා තිබෙනවා. එසේ දියුණු උනාට පස්සේ අපි අවුරුදු සියයකටත් පසුපස තිබෙන නීති උල්ලංඝණය කරමින් සිටිනවා. 

 

එතකොට ඇත්තටම මේ මොකක්ද කරමින් ඉන්නේ කියලා හිතුවාම, රනිල් රාජපක්ෂයි, විජේදාස රාජපක්ෂයි, අනෙකුත් රාජපක්ෂලා හැත්ත බුරුත්තයි එකතුවෙලා උමතුවක් තමයි ප්‍රකාශනය කරමින් ඉන්නේ. පිස්සුවක්, උමතුවක් ප්‍රදර්ශනය කරමින් ඉන්නෙ, ඒ ඇරෙන්න මේක විග්‍රහ කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ.  


රිමාන්ඩ් බන්ධනාගාරවල දුප්පත් අයට එක විදියකටයි පොහොසත් අයට තව විදිහකටයි සලකන්න නීතියක් සම්මත කරපු එක ඇතුලේ මේක තේරුම් ගන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.


අනිත් එක රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අය බලන්නට සතියකට කීප වරක් තමන්ගේ ඥාතියා පැමිණුනා කියා කිසිම ප්‍රශ්නයක් මේ වෙනතුරු උද්ගතවී නැහැ. ගෙදරින් ඒ මිනිස්සුන්ට කෑම එකක් ගෙනාවා කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි බන්ධනාගාරය ඇතුලේ ඇතුළේ සිටින විශේෂ වරප්‍රසාද සල්ලි තියෙන අයට වෙනම සිරකුටි හදන එකත් ලෝකයේ කොහෙවත් එහෙම අනුමත වෙලත් නැහැ.


දැන් තිළිණි ප්‍රියමාලිගේ නඩුවට විජයදාස රාජපක්ෂගේ පුතානේ පෙනී සිටින්නේ. දැන් පැහැදිලියි නේද සිද්ධවෙන දේ. මේ නීතිය ආධිපත්‍ය ගැන අනම් මනම් බයිල ගගහ මොකද මේ කරන්නේ කියන එක ඉතාම පැහැදිලියි.

 

ඉතින් ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා විශේෂයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිළිබඳව මේ අමානුෂික මිලේච්ඡ ගැසට් නිවේදනය මේක ආපස්සට හැරවීම සඳහා, මේ නීතිය වෙනස් කිරීම සඳහා අපිට ඉදිරියට යන්න බැරි නම් අඩුම ගානේ 1920 හිටපු තැනට හරි මානව අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා පියවර ගත යුතුයි.

 

ඔය රාජපක්ෂ කියන තක්කඩියන්ගෙන් ගන්න දෙයක් නැහැ ඒ වෙනුවෙන් ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා මේක රටේ පොදු ප්‍රශ්නයක් විදිහට මේ සිරකරුවෝ උද්ඝෝෂණය කරන කරනකම් බලාගෙන ඉන්නෙ නැතුව ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් රටේ අනෙක් ජනතාව පාරට බැහැලා මේ මිලේච්ඡ තිරිසන් වෑයම පරාජයට පත්කල යුතුයි.


එක්කෝ අපි බන්ධනාගාර කොමසාරිස්වරයාට යන්න ඕනේ සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ඔය  ඉස්සරහ ගහගෙන ඉන්න ඒවා ඔක්කොම මකලා දාලා මේවා හිට්ලර්ගේ වධ කඳවුරු තමයි කියලා පිළිඅරගෙන කරගෙන යන්න. එක්කෝ එහෙම නැතිනම් ජනතාව ඒවට ප්‍රතිචාර දක්වයි. දැනට ලෝකයේ පිළිගත්ත වසර සිය ගණනකට පෙර තිබුණු සම්ප්‍රදායන් තිබෙනවා, නීති තියනවා, මානව හිමිකම් පිළිබඳව රාමු තියෙනවා, ඒවා ආරක්ෂා වෙන විදියට රැදවියන් සම්බන්ධ පියවර ගන්න.''

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

නවතම පුවත්