'ද්විත්ව පුරවැසියකු බව හෙළි නොකරන මන්ත්‍රීවරුන්ට දැඩි දඬුවම් දිය යුතුයි'
ද්විත්ව පුරවැසියකු බව හෙළි නොකර පාර්ලිමේන්තු ආවොත් දේපළ රාජසන්තක කිරීම වැනි දැඩි දඬුවම් පැනවිය යුතුයැයි ද සෑම මන්ත්‍රිවරයකුම තමන් ද්විත්ව පුරවැසියකු නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් මන්ත්‍රි ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට භාර දිය යුතුයැයි නීතියක් පැනවිය යුතුයැයි ද පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.
මැතිසබේ ද්විත්ව පුරවැසියන් දහදෙනෙක් සිටිනවා යැයි කියන කතාව හිතලුවක් බවත්, එහි දස දෙනෙක් නොව ඊට වඩා වුවත් සිටිය හැකි බවත් එය අල්ලා ගැනීමට ආණ්ඩුවට කිසිදු ක්‍රමවේදයක් නැති බවත් මන්ත්‍රිවරයා කීය.
හෙතෙම මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද පැවැසීය.
“2015දී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රිවරු වීම තහනම් කළ අවස්ථාවේ ලංකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් මගෙන් ඉල්ලීමක් කළා, “දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරු දසදෙනෙක් නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන්. ශ්‍රී ලනිප ඇමැතිවරයකු ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. මම අවශ්‍ය මුදල වියදම් කරන්නම්. මේ අය ගැන තොරතුරු හෙළි කරලා මැති සබයෙන් ඉවත් කරමු” කියලා.
මම වෙබ් අඩවිවල තොරතුරු හෙව්වා. ඒ රටවලට ලිව්වා. නමුත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. තුන්වැනි පාර්ශ්වයකට ලබා දෙන්නේ නෑ. කෙනකු වෙනත් රටක පුරවැසිකම ලබා ගත්තාම ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. නමුත් වෙනත් රටක පුරවැසියකු වුණු බව ලංකාණ්ඩුවට හෙළි නොකර සිටියොත් ඒ බව දැනගන්න කිසිම ක්‍රමයක් ආණ්ඩුවටවත් අපටවත් නෑ. යම් මන්ත්‍රිවරයෙක් ස්වේච්ඡාවෙන්ම ප්‍රකාශ කළොත් මිස ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීම සඳහා අපට කිසිම ක්‍රමවේදයක් නැහැ.
මැති සබේ ද්විත්ව පුරවැසියන් දහයට වඩා ඇති. නමුත් දැනගන්න කිසිම ක්‍රමයක් නෑ. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිවුදෙනකු හැරෙන්න අනිත් සියලුම දෙනා පාර්ලිමේන්තු ආවේ 20 සංශෝධන සම්මත වීමට පෙර. ඒ නිසා ඔය කියන ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ඇවිත් තිබෙන්නේ ද්විත්ව පුරවැසිකම හංගාගෙන වංචනිකව. ඒ කිසිවෙක් මම ද්විත්ව පුරවැසිකම හංගා ගෙන පාර්ලිමේන්තු ආවේ දැන් යන්න කියනවා නම් යන්නම් කියාවි යැයි කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට වැරදිලා.
ඒ නිසා ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට වෙනත් උපක්‍රමයක් සොයන්න ඕනෑ. ඉන්දියාවේ 1967 ගමන් බලපත්‍ර පනත යටතේ වෙනත් රටක පුරවැසිකම ගත් වහාම ඉන්දියානු ගමන් බලපත්‍රය ළඟම ඇති තානාපති කාර්යාලයට භාර දිය යුතුයි. එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම නැතිව ඉන්න අය අස් වෙයල්ලා කිව්වහම කවුරුහරි අස් වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීමේ අයිතිය නැත්තේ ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පමණක් බවට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මැතිනිය පවසනවා අපි මාධ්‍ය හරහා දැක්කා. මේක ජනතාව නොමඟ යවන බොරුවක්. මේ ප්‍රකාශය හරහා අපි 21 සංශෝධනය ගෙනාවේ පෞද්ගලික පළි ගැනීමකට යන මතය සමාජගත වීමේ අවදානමක් තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ පමණක් නොවේ තවත් රටවල් ගණනාවක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ. හොඳම නිදසුන පිලිපීනය. දිගු කාලයක් පුරා පිලිපීනයේ ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට හැකියාව තිබුණත් 2015දී ගෙනා නීතියකින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ පමණක් නොවේ නගර සභාවකවත් දේශපාලන තනතුරක් දරන්න බෑ.
2021 වසරේදී මුදල් අමාත්‍යාංශය ඇමරිකාවේ නිව් ෆෝට්රස් එනජි සමාගම සමඟ ගිවිසුම අස්සන් කරන විට අපේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමරිකානු – ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක්. එයා ඇමරිකාව පැත්ත අරන් ඇමරිකාවට පක්ෂග්‍රාහී ගිවිසුමක් මහ රෑ 12.00ට හොර රහසේ අස්සන් කළා. ඒ නිසයි අපි 21 වැනි සංශෝධනය ගෙනැවිත් ද්විත්ව පුරවැසියන්ට මේ රටේ මන්ත්‍රි ධුර දැරීම තහනම් කිරීමට අපි කටයුතු කළේ.
19 වැනි සංශෝධනයට විරුද්ධව අධිකරණයට ගියෙත් මමයි. එයින් පනතට විශාල සංශෝධන ප්‍රමාණයක් එකතු වුණා. නමුත් 19 වැනි සංශෝධනය අපේ රටේ විධායකය දුර්වල කරලා හිස් තුනක් සහිත විධායකයක් ඇති කළා.
නමුත් මෙවර ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයේදී එම වරද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කර තියෙනවා. ඒ අනුව අගමැතිවරයා සතු විධායක බලතල ද නැවත ජනාධිපතිවරයාට ලබා දී තියෙනවා.
19දී අපි දැක්ක ජනාධිපතිවරයා දුර්වල කරලා විධායකය තුනට කැඩීමේ ප්‍රශ්නය 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැහැ. ඒ නිසා තමයි අපි 19 වැනි සංශෝධනයට විරුද්ධ වුණත් 21 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේ.”
විදේශික මන්ත්‍රීවරු පිළිබඳව වහාම විමර්ශණය ආරම්භ කල යුතුයි !
ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ අලුත් වගන්තින් සම්බන්ධයෙන් මෙන්ම ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පුළුල් සංවාදයක් මතුව ඇත.
ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ලාලිත හේවාගමගේ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
'' ද්විත්ව පුරවැසි භාවය නීත්‍යානුකූලව ලබාගත් මංත්‍රීවරු කවුද? කියන කාරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනගත හැක.
ඒ අනුව ඔහුන්ගේ මංත්‍රී ධූර පහසුවෙන් ඉවත් කල හැකියි.
නමුත් වෙනත් රටවල පුරවැසිභාවය ලබාගෙන නීත්‍යානුකූලව මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබානොගෙන වංචනික ලෙස ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් බුක්තිවිදින සහ දිවුරුම් ප්‍රකාශ මගින් වැරදි තොරතුරු ඉදිරිපත් කර මංත්‍රී ධූර ලබාගෙන සිටින විදේශිකයන් පිළිබඳව වහාම ආරක්ෂක අමාත්‍යාංශය විමර්ශණය ආරම්භ කල යුතුයි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න