දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ බව තහවුරු කර තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව අනාවරණය වී ඇත.
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 150ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ.
හැලොවීන් සැමරුම් සඳහා ජනප්‍රිය, රාත්‍රි සාද පැවැත්වෙන සෝල් අගනුවර ඉටේවොන් ප්‍රදේශයේ පටු මංතීරුවකදි මෙම තෙරපීම සිදුව ඇත. මෙම උත්සවයට ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගිවී සිට ඇති බව වාර්තාවේ.
මෙම පටු මංතීරුවේ සිටි පිරිස අතර සිටි කිහිපදෙනෙකු බිම ඇදවැටීමත් සමඟ මෙම තදබදය හටගෙන ඇත. ඉන් අනතුරුව සෙසු පිරිස ඉදිරියට යාමට උත්සහ කිරීමේදී මෙලෙස අධික තෙරපුමක් ඇතිවී තිබෙන බව සඳහන් ය.
තෙරපුමත් සමග පුද්ගලයින් රැසකට හෘදයාබාධ තත්ත්වයන් හට ගෙන ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට එම ස්ථානයේදීම මූලික ප්‍රථීකාර ලබාදී ඇත.
ලෝක නායකයන් රැසක් කනස්සල්ල පළකරයි
කොවිඩ් වසංගතයෙන් අනතුරුව මුඛ ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පැවති පළමු එළිමහන් උත්සවය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.
එසේම ලෝක නායකයන් රැසක් ද දකුණු කොරියානු ජනාධීපතිවරයා අමතා මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බව සඳහන් වේ.

