දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයා,

එරට අධ්‍යාපනය සඳහා ගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ශිෂ්‍යයෙක් බවට අනාවරණ වී ඇත.

ඒ අනුව ඔහුගේ ඥාතීන් විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සඳහන් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23,000 ක් පමණ දකුණු කොරියාවේ රැඳී සිටිති.

එම පිරිස අතරින් කිසිවෙකුට හෝ තවදුරටත් මෙම අනතුරින් හානියක් සිදුව ඇත්දැයි සමීපව සොයා බලමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම අනතුරින් මියගිය ගණන ද මේ වනවිට 151 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව ද 82 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ වනවිටත් ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සඳහන් ය.

එමෙන්ම මියගිය හා තුවාල ලැබූවන්ගෙන් බහුතරය තරුණ තරුණියන් බව ද වාර්තාවේ.  ඒ අතර ඉරාන, නෝර්වේ, චීන සහ උස්බෙකිස්තාන ජාතිකයන්ද සිටින බව සඳහන් වේ.

දකුණු කොරියාව තුළ මෙවැනි ඛේදවාචකයක් වාර්තාවන්නේ 2014 වසරට පසුවයි. එම වසරේදී මගී යාත්‍රාවක් පෙරළීමෙන් උසස් අධ්‍යාපනය ලබන සිසුන් 304 දෙනෙකු මියගොස් තිබිණ.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, ඔහු තීරණය කර ඇත්තේ එළඹෙන නොවැම්බර් පස්වනදා දක්වා එරටට ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි.

එමෙන්ම අනතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත්කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.


ජනාධිපති රනිල් ශෝකය පළකරයි

සිදු වූ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් ශෝකය පළ කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව වෙත සිය ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය වෙත ශෝකය පළ කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම අනතුරින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් මියගිය පවුල්වල සාමාජිකයින්ට සිය බලවත් ශෝකය පළ කරන බව දැනුම් දී ඇත.

ඊයේ (29) රාත්‍රී සෝල් නුවර පැවති "හැලොවින්" උත්සවයක් අතර තුර හටගත් තෙරපීමකින් පුද්ගලයින් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තුවාල ලැබු සංඛ්‍යාව 80 ඉක්මවයි.

එම උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයින් 3,500ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ ඥාතීන් විසින් පොලිස් ස්ථාන වෙත පැමිණිලි සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව පැවති එම උත්සවය සඳහා සහභාගී වූ පිරිස ලක්ෂය ඉක්මවු බව ද සඳහන්ය.


සබැඳි පුවත් :

දකුණු කොරියාවේ හැලොවින් සාදයක් 150 කට මරු කැඳවයි - ලාංකික තරුණයෙකුත් ජීවිතක්ෂයට !

 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්