මෙරටට තිරසාර වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගිකවූත් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකිවූත් සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීමේ

අවශ්‍යතාව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.


රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන දැඩි බදු ක්‍රියාමාර්ග පිළිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා සහ වාද විවාද ප්‍රායෝගික මෙන්ම තිරසාර නොවන බව තමාට නිරික්ෂණය වී ඇති බවත් ඔහු පවසයි.


මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක තවදුරටත් පැවසුයේ, විවිධ බදු නියම කිරීම සහ ගෙවීමට ඇති හැකියාවෙන් ඔබ්බට බදු අය කරනවාට වඩා මුල්‍ය ඉලක්ක සපුරා ගනිම සදහා කොපමණ මුදල් ප්‍රමාණයක් එකතු කල යුතු ද යන්න අවධානයටගත් ප්‍රවේශයක් ගත යුතුව ඇති බවය.


රට මේ මොහොතේ පෙර ක්‍රියාත්මක කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ ඒ මත ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් වාර්තාගත උද්ධමනයක් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සැපයුම් වල ඇතිවූ උග්‍ර හිඟය වලක්වා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගනිමින් සිටින බවත් ඔහු පවසයි.


තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ගෙවුම් ශේෂ අර්බුදය මඟහරවා ගැනීමටත්, සංචිත නැවත වර්ධනය කරගෙන ජාත්‍යන්තර ආයෝජකයන් අතර විශ්වාසය ගොඩනගා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපකරගත් ආකාරය සිහිපත් කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, එහි දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.4% සිට 15% දක්වා මාස 33කට අඩු කාලයකදී වර්ධනය කරගනු ලැබුවේ බදු ආදායම් ඉලක්ක මගින් මිස බදු ගෙවන්නන්ගේ බදු ප්‍රතිශතය මත නොවන බවත් පෙන්වා දෙයි.

 

රජයේ ආදායමේ හිඟය පියවා ගැනීමේදී වඩාත් ප්‍රායෝගික අත්දැකීම් සහ වෘත්තීයමය වශයෙන් පුහුණුවක් සහිත ප්‍රවේශයක් අවශ්‍ය බව පෙන්වාදෙන හිටපු මුදල් අමාත්‍යවරයා, එහිදී ඇති බරපතළම අභියෝගය වන්නේ තමන් බදු ගෙවීම සාධාරණ නොවන බවත් උපයන ආදායම් රාජ්‍ය සේවකයන් සහ දේශපාලනඥයින් විසින් නාස්තියට හා සූරාකෑමට ලක් කරන බවට ජනතාව අතර ඇති මතය බවත් සඳහන් කරයි.

 

එබැවින් ආණ්ඩුව උපයන සෑම රුපියලක්ම ඥානාන්විතව වියදම් කරන බවට ජනතාවගේ සිත් තුළට කාවැද්දීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටින්නේ මෙරට නිදහස ලබා වසර 75ක් ගෙවී අවසන් නමුත් ආර්ථික නිදහස ලබාගෙන තිබේද යන්න විමසා බැලීමට සිදුව ඇති බවයි.


 ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම පාහේ අඩාල වී ඇති අවස්ථාවක, එය යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ධනාත්මකව බැලිය යුතු බවත් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම රට නැවත නගා සිටුවීමට සහ රටට ආදායමක් ගෙන ඒමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක  'ද ලීඩර්' වෙත වැඩිදුරටත් කියා සිටියේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්