theleaderlk 01

යාපනය දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රධාන පරිපාලන ආයතනයට ගිය යුක්තිය හා දණ්ඩනය බාර

ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයාට බලහත්කාරයෙන් අතුරුදහන් කළ පවුල්වල ඥාතීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ප්‍රදේශයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනයත් නොකතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඔක්තෝබර් 31 වැනි සදුදා පෙරවරුවේ උද්ඝෝෂණයක් දියත් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළ පවුල් වල ඥාතීන් විරෝධතා පෙළපාලියකින්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුල් වී අමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල කළ බවයි උතුරේ වාර්තාකරුවන් පවසන්නේ.



අතුරුදහන් කළ අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකකවන්දි මුදලක් ගෙවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට දැඩි විරෝධතාවය පළ කරන දෙමළ මව්වරුන් සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කර ගැනීම වෙනුවෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර අධිකරණයක් මගින් සිදු කරන පරීක්ෂණයකි.


අමාත්‍ය විජේදාස රාජපක්ෂ යටතේ පවතින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) න් තමන්ට යුක්තිය ඉටු නොවන බවට චෝදනා කරන දෙමළ මව්වරුන් යාපනයෙන් වහාම  පිටව යන ලෙස අමාත්‍යවරයාට දැන්වු බව යාපනයේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

යුද්ධාවසානයේ රජයේ ආරක්ෂක අංශවලට බාර වූ කිසිවකුත් අතුරුදහන් වී නැතැයි විදේශ මාධ්‍යයට ප්‍රකාශ කළ OMP ප්‍රධානී මහේෂ් කටුලන්ද නීතිඥවරයාද අම්මාවරුන්ගේ හෙලා දැකීමට ලක්වී තිබේ.

යුද්ධයෙන් ගැලවී ඉන්දියාවට පලාගොස් පෙරලා මෙරට පැමිණි ශ්‍රී ලාංකික සරණාගත පවුල් 7000 කට අධික ප්‍රමාණයකට අයත් පුද්ගලයන් 12500 කට අධික ප්‍රමාණයක් මේ වන විට උතුරු පළාත තුළ පදිංචි වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලබා ගැනීම ඇතුළු ගැටලු විමසීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් හා අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජංගම සේවාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුනි.



දහතුන් වසරකට ඉහතදී  සිය සමීපතමයන්ට අත් කර දුන් ඉරණම හෙළි නොකර මුදලක් ගෙවා වගඋත්තර දායකත්වයෙන් ගැලවීමට වත්මන් ආණ්ඩුවත්  ගන්නා උත්සාහයට ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන යුද පීඩිත උතුරේ මව්වරුන් දැඩි විරෝධය දක්වා තිබේ.



"මෙතන ඇවිත් දුක් ගැනවිලි සඟවන්න නාට්‍ය කරන්න එපා. අපේ ළමයි වටින්නේ ලක්ෂ දෙකයිද? ලක්ෂ දෙකක් දීලා අපිව රවට්ටන්න හදන ඇමැතිතුමා මෙතනට ඇවිත්. අපි ඔහුගෙන් ඉල්ලා සිටින්නේ මෙතනින් යන්න කියලා." යාපනය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපති ශිව්පාදම් ඉලංගෝතෛයි මාතාව සදහන් කළාය.

විරෝධතාවයට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කියා සිටියේ, අතුරුදහන් කිරීම්වලට සම්බන්ධවු අය ආරක්ෂා කිරීමටත්, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය යටපත් කිරීමටත්, මරණ සහතික ලබාදී ඔවුන්ට මුදල් ගෙවා රජයේ වගවීමෙන් ගැලවීමට කටයුතු කරමින් සිටින වන්දි ගෙවීමේ කාර්යාලය සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළි ගැනීමට දෙමළ යුද පීඩිතයන් සුදානම් නොමැති බවයි.

පැයකට අධික කාලයක් පැවැති විරෝධතාවය පොලිසීය මැදිහත් වී පාලනය කළ බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

නවතම පුවත්