වත්මන් පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් මෙන්ම විදේශිකයින් ද සිටිය හැකිබව

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

පොහොට්ටුව පොළවේ ගැසූ පොල් මලක් මෙන් සීසීකඩ විසිරී ගොස් ඇති බවත්, එහි සිටින කළකිරුණු පිරිස් තම කණ්ඩායම හා එක්වෙමින් සිටින බවත්, ඔහු කියා සිටියි.

තම කණ්ඩායම ඇමැති ධුර අහිමි කරගත්තේ 69 ලක්ෂයකට ලබා දුන්න පොරොන්දු ඉටු කරගැනීම සඳහා ආණ්ඩුව තුළ සටන් කළ නිසා මිස කළ වරදක් වසාගැනීමට ගොස් නොවේයැයි පවසන මන්ත්‍රීවරයා, ඒ නිසා පොහොට්ටුව එපා වූ කතාව වඩාත්ම ආකර්ශනීය වන්නේ තම කණ්ඩායම වන උත්තර සභාගය වෙත බව ද බව ද සඳහන් කියා සිටියි.

ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, මන්ත්‍රීවරුන් උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුව විසුරුවා නොගෙන ඉදිරි වසර දෙක පවත්වාගැනීමට බවත්, එය කළ හැක්කේ ජනාධිපතිවරයාට බැවින් එතුමා ශක්තිමත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නා බවත්ය. නමුත් ජනතාවට අවශ්‍ය 2019 කළ වරද නිවැරදි කරගැනීමට නිසා ඔවුන් රනිල් වික්‍රමසිංහ වෙත නොයන බව ද ඔහු පැවසීය.




 ද්විත්ව පුරවැසියන් සෙවීමේ වගකීම කා සතු ද?

21 වන ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ බලාත්මක වීමත් සමග මතුව ඇති ද්විත්ව පුරවැසි මන්ත්‍රී අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

''මැති සබේ සිටින ද්විත්ව පුරවැසියන් හෙලි කිරීමේ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමටයි කියලා කතානායකතුමා කියනවා.  නෑ. නෑ.  ඒ වගකීම තිබෙන්නේ අධිකරණයටයි කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා.  ඇත්තටම ඒ ප්‍රකාශ දෙකම වැරදියි.  අධිකරණයට කරන්න පුළුවන් කවුරු හරි ඉදිරිපත් කරන තොරතුරු මත යමෙක් ද්විත්ව පුරවැසියෙකු ද නැද්ද කියන එක තීරණය කිරීම පමණයි.  

කවුද එහෙනම් ඒ තොරතුරු සොයන්න ඕනෑ. නීතියෙන් ඒ වගකීම පවරා තිබෙන්නේ ජනතාවට. අපට. 2017 දී පුරවැසියෙකු වන පියසේන ගමගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කරලා ගීතා කුමාරසිංහ මැතිණිය ද්විත්ව පුරවැසියෙකු වන නිසා ඇයගේ මන්ත්‍රි ධූරය අහෝසි වන බවට තීරණය කලා.

xfgdgft

''පියසේන ගමගේ මහත්තයාට ඒ පෙත්සම ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ ගීතා කුමාරසිංහ මැතිණිය ලංකාවේ ගමන් බලපත්‍රයක් ගන්නා විට අයදුම්පත්‍රයේ “ඔබ ද්විත්ව පුරවැසියෙකු ද” කියන ප්‍රශ්නයට ඇය අවංකව “ඔව්” කියලා පිලිතුරු දීලා තිබුණු නිසා.  ඇය එදා ඒ ප්‍රශ්නයට “නැත” කියා වංචනිකව පිලිතුරු දුන්නා නම් පියසේන ගමගේ මහතාට ඒ පෙත්සම ඉදිරිපත් කරන්න ලැබෙන්නේ නෑ. ''



අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225න් 221ක්ම ආවේ 20 සංශෝධනය සම්මත කරන්න කලින්. ඒ කියන්නේ ද්විත්ව පුරවැසියෙකු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒ ඉන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න තහනම් බව දනිමින් වංචනිකව ආ අය. ඒ නිසා මේ අය “ඔබ ද්විත්ව පුරවැසියෙකු ද” කියන ප්‍රශ්නයට “නෑ” කියලා තමයි පිලිතුරු දීලා තිබෙන්න ඕනි. මේ තත්වය යටතේ සමහර හිටපු ඇමතිවරු කියනවා වගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආගමන විගමන පාලකට ලිපියක් යවලා මේ තොරතුරු ලබා ගන්න බෑ.


''ඇත්තෙන්ම මේ අය ද්විත්ව පුරවැසියන් නොවේ. විදේශිකයින්.''

අපේ රටේ නීතිය අනුව එනම් 1948 පුරවැසි පනත අනුව යමෙක් වෙනත් රටක පුරවැසිකම ගත් විගස ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. එවිට යමෙකුට ලංකාවේ පුරවැසි භාවය ලබාගැනීමට අවශ්‍ය නම් නැවත අයදුම් කරලා ද්විත්ව පුරවැසි භාවය ලබාගත යුතුයි. නමුත් සමහරු කරන්නේ වෙනත් රටක පුරවැසිකම ගත් බව වංචනිකව සඟවා ගෙන ලංකාවේ දී ලංකාණ්ඩුව නිකුත් කළ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත භාවිතා කිරීමයි. එවැනි අය ඇත්තෙන්ම ද්විත්ව පුරවැසියන් ඔවුන් ලාංකික පුරවැසියන් විධියට රඟපානවා.

ඩයනා ගමගේ ඇමතිතුමියට තිබෙන්නේ ඒ චෝදනාවයි. එතුමිය බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ගෙන තිබෙන බවට එතුමියගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය වගේම බ්‍රිතාන්‍යයේ සංස්ථාපත සමාගම් පිලිබඳ තොරතුරු දැක්වෙන නිල වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඇය බ්‍රිතාන්‍යෙය් පුරවැසි කම ලබාගන්නා විටම ඇයගේ ලාංකික පුරවැසිකම අහෝසියි. එහෙම නම් ඇය ද්විත්ව පුරවැසිකම සඳහා අයදුම් කළ යුතුයි. එසේ නොකර ඇය ලාංකික පුරවැසිකම නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් ලබා ගෙන ඇති බවටයි චෝදනාවක් එල්ල වී තිබෙන්නේ. ඇය ද්විත්ව පුරවැසියෙකුටත් වඩා විදේශිකයෙක් ලෙසයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඇත්තෙන්ම ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තු එනවාටත් වඩා විදේශිකයෙකු පාර්ලිමේන්තු එන එක භයානකයි.

ඩයනා ඇමතිතුමියගේ තොරතුරු හෙලි වුණේ ඇයගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ඇයගේ සතුරන් අතට පත්වීමෙන්. එවැනි අහඹු සිදුවීම් හරහා පමණයි පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් මෙන්ම විදේශිකයින් පිලිබඳ තොරතුරු දැන ගන්න පුළුවන් වෙන්නේ.



එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ද්විත්ව පුරවැසියෙක් ද?

Prime Minister Rishi Sunakබ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්


ඉන්දියානු පුරවැසියෙකුට එක්සත් රාජධානියේ අගමැති වෙන්න පුළුවන් නම් ඇමෙරිකානු පුරවැසියෙකුට ලංකාවේ මුදල් ඇමති වෙන්න බැරි ඇයි කියලා ආණ්ඩුවේ මන්ත්‍රි කෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදියි. සුනක් අගමැතිතුමා එක්සත් රාජධානියේ හැර වෙනත් කිසිම රටක පුරවැසියෙකු නොවේ.

ඒ වගේම ඉන්දියාව ද්විත්ව පුරවැසිභාවය කිසිම අයෙකුට ලබා නොදෙන රටක්. 1967 ගමන් බලපත්‍ර පනත අනුව ඉන්දියානුවෙක් වෙනත් රටක  පුරවැසිකම ගත් වහාම ඉන්දියානු ගමන් බලපත්‍රය ලඟම ඇති තානාපති කාර්යාලයට භාර දිය යුතුයි. එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ද්විත්ව පුරවැසිකම වෙනුවට ඉන්දියාව ලබා දෙන්නේ ඉන්දියානු විදේශ පුරවැසි වීසාව කියන විශේෂ වීසාවයි. එයින් තමන් කැමැති කාලයක් ඉන්දියාවේ ජීවත් වෙන්න වගේම දේපල දැරීමට හැකියාව ඇතත් ඡන්දය ඉල්ලීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම කරන්න බෑ.



2019 බදු සහන පැකේජය දුන්නේ බැසිල් මල්ලි වෙනුවෙන්.



2019 වසරේ ලංකාවේ බදු ආදායම ජාතික ආදායමෙන් 12%ක්.  නමුත් ලෝකයේ ඒක 24%ක්.  බදු ආදායම ලෝකයේ අන් රටවලින් භාගයකට පල්ලම් බැහැලා තිබිය දී ආණ්ඩුව දැවැන්ත බදු සහන පැකේජයක් දුන්නේ ඇයි කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා.  ඒක ආර්ථික විද්‍යාවෙන් වත් දේශපාලන විද්‍යාවෙන් වත් පැහැදිලි කරන්න බෑ. ඒක පැහැදිලි කරන්න පුළුවන් රාජපක්ෂ ජාන විද්‍යාවෙන් විතරයි.  



බැසිල් මල්ලිට ද්විත්ව පුරවැසිකම රැකගෙන පාර්ලිමේන්තු එන්න නම් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනෑ.  ඒකට ආණ්ඩුවට 2/3 බලයක් ඕනෑ.  කොටි ත්‍රස්තවාදය පරාජය කරලා පැවැත්වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී වත් 2/3 බලයක් ලබා ගන්න බැරි වුණා.  ඒ නිසා 2/3 දැවැන්ත වරම ලබා ගන්න ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද පුවවන් තරමින් එකතු කරන එක තමයි රාජපක්ෂ වරුන්ගේ අරමුණ වුනේ.

ව්‍යාපාරික පන්තියේ මධ්‍යම පන්තියේ ඡන්ද ආකර්ෂණය කර ගන්න තමයි බදු සහන පැකේජය දුන්නේ. තරුණ ඡන්ද ආකර්ෂණය කර ගන්න තමයි රැකියා විරහිත උපාධිධාරින් ආණ්ඩුවට බඳවා ගත්තේ. පෞද්ගලික අංශයේ හොඳ රැකියා අත්හැරලා ආණ්ඩුවට ගිය උපාධිධාරින් අද සොච්චම් වැටුපක. ඔවුන්  ගියේ ආණ්ඩුවේ සේවය ස්ථිර කරයි හොද වැටුපක් ලබාදෙයි කියලා.  

ඒ වගේම දිළිඳු ඡන්ද ආකර්ෂණය කර ගන්න තමයි රැකියා ලක්ෂයේ ව්‍යාපෘතිය කලේ. කිලෝ මීටර් ලක්ෂයේ මාර්ග ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ ජාලය උද්යෝගිමත් කරන්නයි. මේ සියලුම ව්‍යාපෘතීන් ආරම්භ කරලා ජනතාව රැවටීමේ ප්‍රතිඵලයක් විදියට ආණ්ඩුවට ⅔ ලැබිලා අන්තිමට බැසිල් මල්ලිගේ සිහිනය සැබෑ වුනා. නමුත් රට බංකොලොත් වුණා.


මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න හමුවේ ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

ප්‍රශ්නය:

ඉදිරි මැතිවරණයකට ඔබතුමන්ලාගේ සූදානම කොහොමද ? මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව සූදානම් වෙනවා කියලා චෝදනා එල්ල වෙනවා.

පිළිතුර:

මැතිවරණය කල් දාන්න හැදුවොත් ආණ්ඩුව කබලෙන් ලිපට වැටෙනවා. මේ වන විට විපක්ෂයේ සිටින පක්ෂ දහසයක් සමගිව එකහඬින් කිවුවා මැතිවරණය කල් දැම්මොත් පාරට බහිනවා කියලා. මේ රට බඩු මිල වැඩි වීමෙන් ඖෂධ හිඟවීමෙන් අසහනයට පත් වෙලා තියෙන්නෙ. සිගරට් කොටයක් විසිකළත් මහා ගිනි ජාලාවක් ඇතිවන තරමට රත්වූ පිදුරු යායක් තත්ත්වයටයි පත්වෙලා තියෙන්නේ. මේ රටේ සාමකාමීව මේ මාස කීපය පැවතුනා. ජනතාව පාරට බහින වැඩ ආණ්ඩුව සිදු කළහොත් රට ආයෙත් ව්‍යාකූල වෙලා පළාත් පාලන ආයතන රැකගන්න මේ දරන වෑයමෙන්  පාර්ලිමේන්තු බලයයි ජනාධිපතිතනතුරයි  දෙකම අහිමිවීමේ අවදානමක් තියෙනවා.

අනිත් කාරණය මේ දිනවල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය මත දැඩිව රැඳිලා තියෙනවා.    අපි විදේශ ආධාර බලාපොරොත්තු වෙනවා. ණය බලාපොරොත්තු වෙනවා. ගත්ත ණය ප්‍රතිව්‍යහගතකිරීමටත් බලාපොරොත්තු වෙනවා. එවැනි අවස්ථාවක ඡන්දයක් කල් දැම්මොත් මේ රටවල් කියනවා ප්‍රජාතන්ත්‍රවාදය යනු අපේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ තියන්න ණය ඕනි නම් කියලා.



ආණ්ඩුව ඡන්දය කල් දාන්න හැදුවොත් අවසානයේ දී සිද්ධ වෙන්නේ ඒ නිසා ජාතික සහ ජාත්‍යන්තර කියන දෙපාර්ශවයෙන්ම දැඩි පීඩනයක් එල්ල වෙලා මීටත් වඩා පරාජිත මානසිකත්වයකින් මැතිවරණයකට මුහුණ දෙන්නයි.


ප්‍රශ්නය
ඔබතුමන්ලා ඉදිරියේදී සන්ධානයක් විදිහට ද මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වන්නේ.

පිළිතුර
බැසිල් රාජපක්ෂ මහතාට අනාගත දේශපාලනය කරන්න බැරිවෙලා ඔහු සිය මව්බිම කරා ගියාට පස්සේ අද පොහොට්ටුව තියෙන්නෙ පොළවෙ ගහපු පොල් මලක් වගේ සීසීකඩ විසිරිලා ගිහිල්ලා.  ඒ නිසා කලකිරීමට පත් වෙලා ඉන්න පිරිස් අප වෙත එනවා.  මොකද ඔවුන් අපව හොඳින් දන්නවා. අපි ඇමැති ධුර අහිමි කරගත්තේ 2019 දී 69 ලක්ෂයකට ලබා දුන්න පොරොන්දු ඉටු කරන්නැයි ආණ්ඩුව තුළ සටන් කළ නිසා. අපිට වැඩියෙන් බලතල වරප්‍රසාද ඉල්ලා වත් අපි කරපු වැරැද්දක් වහන්න කියලා ඉල්ලලා වත් නෙවෙයි අපිට ඇමතිධූර අහිමි වුනේ. ඇතැමුන්ට දූෂණ චෝදනා හන්දා, මැරකම් හන්දා, සල්ලාලකම් නිසා අමාත්‍ය ධුර අහිමි වෙලා තියෙනවා. නමුත් අපට අමාත්‍යධූර අහිමිවන්නේ 69 ලක්ෂයක් වෙනුවෙන් සටන් කරලා. ඒ නිසා පොහොට්ටුව එපා උන 69 ලක්ෂයක් ජනතාව වඩාත්ම ආකර්ශනීය වන්න ඉඩ තියෙන්නෙ අපටයි.


ප්‍රශ්නය
නමුත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට යන බවක් නේද පෙන්නුම් කරලා තියෙන්නේ.


පිළිතුර
ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නේ.  මන්ත්‍රීවරුන් වෙනයි, ජනතාව වෙනයි. මන්ත්‍රීවරුන් බලන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරගන්නේ නැතුව ඉදිරි වසර දෙක කොහොමහරි තියාගන්න. ඒක කරන්න පුළුවන් එකම ජගතා ජනාධිපතිතුමා නිසා එතුමා තුරුළට ගිහිල්ලා එතුමාව ශක්තිමත් කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වා ගැනීමයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අරමුණ. නමුත් ජනතාවට අවශ්‍ය 2019 කළ වරද නිවැරදි කර ගන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිතුමා ගාවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගියාව ද පාක්ෂිකයෝ යන්නෙ නෑ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්