කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එම විශ්වවිද්‍යාලයේම දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමක් සිදුකර තිබේ.



පොලීසිය සඳහන් කළේ ඊයේ (31) සවස කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස නවකවධය ලබාදීමක් සිදුකර ඇති බවය.


ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට නවක වදය ලබා දුන් බවට පවසමින් පහරකෑමට ලක්වූ සිසුවා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


ඊයේ සිය දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්ව විද්‍යාලයේ ක්‍රිඩාගාරය වෙත යමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට පහර දුන් බව  ඔහු පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.


බාහිර පෙනුම සම්බන්ධයෙන් දෝෂාරෝපය කොට කොණ්ඩය හා රැවුල බූගා දමන ලෙසත්, සපත්තු නොදා පාවහන් පළදින ලෙසත් සහ අත්ඔරලෝසු නොපදිලන ලෙසත් පවසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමන්ව විශ්වවිද්‍යාල ආපනශාලාව වෙත රැගෙන ගිය බව පොලිස් පැමිණිල්ලේ දැක්වේ.


පසුව ඉන් තුන්දෙනෙකු මොහුගේ මුහුණට සහ ඇගට පහර දුන් බව ඔහු පවසයි.


පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිසුන් 7 දෙනෙකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් දුටුව හොත් හඳුනාගත හැකි බවත් අදාළ සිසුවා පොලිසියට ප්‍රකාශ කර ඇත.


මෙලෙස පහරකෑමට ලක්වූ සිසුවා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සියලු සිසුන් වෙත පීඨාධිපති විසින් නවක වදය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර ඇත.


ඒ අනුව නවක වදයට සම්බන්ධ නොවන බවට පවසමින් සිසුන් වෙත ලිඛිතව ප්‍රතිඥාවක් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්