වැරදිවලට නීතියෙන් අච්චු ලබා ඇති මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලනකාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව එජාපෙ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
කුරුණෑගල, ගල්ගමුව මහජන සතිපොළේ ඊයේ (11) පැවති ජන රැළියට එක්වෙමින් ඔහු එබව කියා සිටියේ, ජනාධිපතිවරණය මුවවිටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝයල් පාර්ක් මිනීමැරුම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමිව සිරදඬුවම් විඳිමින් සිටි ජූඞ් ශ්රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජය හරහා බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබෙන පසුබිමකය.
ත්රස්තවාදීන්ට හා කුඩු ජාවාරම්කරුවන්ට ද තමා කිසිඳු ලෙසකින් ජනාධිපති සමාව ලබානොදෙන බව එම රැළියේදී අවධාරණය කළ සජිත් ප්‍රේමදාස තවදුරටත් මෙසේද පැවසිය.
“එළඹෙන16 වැනිදායින් පසුව ත්රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, ළමා අපචාර කරුවන්ටරට තුළ ඉඩක් නැහැ.
අච්චු කර ඇති ත්රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන් කිසිමවිටක ජනාධිපතිවරයා ලෙස මගේ පාලන කාලය තුළදී නිදහස් කරන්නේ නැහැ.
ඔවුන්ට දැඩි දඩුවම් ලබා දී විනයගරුක රටක් නිර්මාණය කර සංවර්ධිත නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.''
මෛත්‍රීගේ විකාරරූපී ක්‍රියාව !
ජනාධිපතිවරණය මුවවිටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝයල් පාර්ක් මිනීමැරුම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමිව සිරදඬුවම් විඳිමින් සිටි ජූඞ් ශ්රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීම හාසයොත්පාදක සිදුවීමක් බව ravaya.lkවෙබ් අඩවිය පවසයි.
එම කාරණය සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ පළකර ඇති වාර්තාව මෙසේ සඳහන් වේ.
''එය හාසයොත්පාදක සිදුවීමක් වනුයේ මරණීය දණ්ඩනය හිමිවූවන් එල්ලා මරන්නෙමැයි සපථ කළ අයකු සිය ධුරය අවසන් කාලයේදී එහි ප්‍රතිවිරුද්ධ පක්ෂය ක්‍රියාවට නැංවීම නිසාය. (මරණ දණ්ඩනය ක්‍රියාවට නැංවීම සම්බන්ධව අපගේ මතය වෙනකක් බව සැලකිය යුතුය.)
හෙට අනිද්දා විශ්‍රාම ගැනීමට නියමිතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මේ විකාරරූපී ක්‍රියාව අතිශය අනතුරුදායක බව පෙනේ. ඒ නුදුරේදී පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුගේ අභිලාෂය පරිදි මරණීය දණ්ඩනය හිමිව සිරගතවූ පිරිස් නිදහස් කිරීමට මින් අනුබලයක් ලැබෙන බැවින්ය.
ජනාධිපතිවරයකුට ඇති දණ්ඩ මුක්තිය ලබාදීමේ බලය ක්‍රියාත්මකවීම ඔස්සේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් කොතෙක් දුරට බිඳ වැටේද? යන්න ජනාධිපතිවරයා වීමට ප්‍රථමයෙන් එනම් අපේක්ෂක තත්ත්වයේම සිටිද්දී සිහි බුද්ධියෙන් සලකා බැලීම වටිනවා පමණක් නොව ඒ ගැන තම මතය ප්‍රකාශ කිරීමද වටී.
කෙනකු මරණයෙන් නිදහස් කරගැනීම (තවමත් අප රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ හිමිවන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පමණි.) බැලූ බැල්මට අතිශය මානුෂීය සත්ක්රියාවක් සේ පෙනුණද වින්දිත පාර්ශ්වයන්ට ඉටුවූ යුක්තිය විධායක බලයකින් අහිමි කිරීම සාධාරණීකරණය කළ නොහේ.
ඉදිරියේදී පත්වෙන ජනාධිපතිවරයාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලැබ දුන් පූර්වාදර්ශය ක්‍රියාවට නංවන්නේද? නැතිද? ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු තරගකරුවන් විසින් ජනතාවට ප්‍රකාශ කිරීමේ මොහොත දැන් එළැඹ තිබේ.''