තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවන්ට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන

හිමියන් නොයෙකුත් පුද්ගලයින් තිළිණි ප්‍රියමාලි සන්තකයේ මුදල් තැන්පත් කිරීමට පොළඹවා ඇති බව ඊයේ (02) අධිකරණයේදි අනාවරණය විය.


බොරැල්ලේ සිරිසුමන හිමියන්  විසින් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලැබ ඇති පැමිණිලිකරුගෙන් නිවස වෙත ගොස් යම්කිසි ආරූඪයකින් පේන කියන්නෙක් ලෙසට කටයුතු කරමින්, පැමිණිලිකරුට සැකකාර තිළිණි ප්‍රියමාලි වෙත මුදල් ලබා දීම සඳහා පෙළඹවීමක් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.


පැමිණිලිකරු රුපියල් මිලියන 750ක මුදලක් 2021 වසරේ සිට ම සැකකාරිය වෙත ලංකාවේ ප්‍රසිද්ධ සමාගම්වල ආයෝජනය කිරීම සඳහා ලබා දී ඇති අතර එම මුදල් ඔහු සතු වාහන හතක්, ඉඩම් දේපළ හා ඔහුගේ ස්ථාවර තැන්පතු විකුණා ලබාගත් මුදල් බවට පැමිණිල්ලේ සඳහන් වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ ය.


මෙම සැකකාර හිමි නම අගතියට පත් පැමිණිලිකරුගෙන් නිවස වෙත ගොස් ආරූඪ වේශයක් මවාගෙන පූජා පවත්වා සැකකාර තිළිණි ප්‍රියමාලි වෙත මුදල් ලබා දෙන ලෙසට මානසිකව බලපෑම් සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

 

එසේ ම, සැකකාර හිමි නම තමා පේන කියන්නෙකු ලෙස හඳුන්වා දෙමින් සැකකාරිය වන තිළිණි ප්‍රියමාලි හා පැමිණිලිකරු අතර සිදුවන ගනුදෙනු හා සිදුවීම් පැමිණිලිකරුගෙ නිවසට ගොස් තමා ආරූඪයෙන් දුටුවා යැයි සඳහන් කරමින් පවසා නොමග යවා ඇති බව ද එසේ ම මෙම හිමිනම ලක්ෂ ගණන් වටිනා සුවඳ විලවුන් මෙන් ම මුදල් ද පැමිණිලිකරුගෙන් ලබාගෙන පරිහරණය කර ඇති බව ද අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

 

“ස්වාමීන් වහන්සේ කුමක් ද මේ සිදු කරන්නේ?” යැයි එහිදී සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඡායාරූපයක් පෙන්වමින් මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ය.

එහිදී විත්තිකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායක හිමිනම සැකකාර තිළිණි ප්‍රියමාලි හා පැමිණිලිකරු අතර ව්‍යාපාර කටයුතු සඳහා ආශිර්වාද කිරීමට ගිය බවත් ඔවුන්ගේ මුදල්වලට ද එම අවස්ථාවේදී ආශිර්වාදය ලබා දුන් බවත් ය.


සැකකාරිය සහ සැකකරු Skype තාක්ෂණය ඔස්සේ


මහා පරිමාණ මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ආධාර අනුබල දීමේ චොදනා එල්ල වී තිබෙන ඉසුරු බණ්ඩාරට එරෙහි නීති කෘත්‍යයන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි ඊයේ යළි කැදවනු ලැබීය.


එහිදි රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සැකකාරිය සහ සැකකරු Skype තාක්ෂණය ඔස්සේ නීති කෘත්‍යයට ඉදිරිපත් කෙරුණු අතර මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට රැගෙනවිත් තිබුණි.


සැකකරුවන්ට එරෙහිව ඇති පැමිණිලි කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්වීය.


"ස්වාමීනි තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකතන 03ක් හමුවීම සහ ඒවායින් තමන් යටතේ සිටි සේවකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ඇමතුම් ගෙන තිබීම මත විමර්ශනවලට බාධාවිය හැකි බැවින් ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා. මොකද ඇය බන්ධනාගාරය තුළ සිටියදීත් පිටත සිදුවෙන දේවල් පාලනය කරන්න උත්සහා දරනා බව පෙනී යනවා. "


''ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගැනෙන වරදක් නොවෙයි'' - ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ


අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවන සැකකාර ඉසුරු බණ්ඩාර නැමැත්තාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීය.


" අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් මත අප ඉසුරු බණ්ඩාර නැමැත්තාගේ පිළිමතලාවේ නිවස පරික්ෂා කළා. එහිදි සැකකරුගේ පියා භාරයේ තිබී රන් ආලේපිත ලෝහ කුට්ටි 08ක් සොයාගැනුනා. ඒ වගේම සැකකරු රැඳී සිටි දෙහිවල නිවසක තිබූ ජීප් රථයක්, රුපියල් ලක්ෂ 50ක සහ 20ක තැන්පතු සහතික විමර්ශකයින් භාරයට ගැනුනා. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාඇල ස්වර්ණාභරණ අලෙවිසැලකින් පවුම් 40ක රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 30ක මුදලක් අපට හමුවුණා. "


සිය සේවාදායකයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ පිළිතුරු සැපයීය.


" ස්වාමීනි මොවුන් මාගේ සේවාදායකයාව අත්අඩංගුවට ගත්තේ තිළිණිට අයත් සමාගමක අධ්‍යක්ෂ කෙනෙක් කියලා. නමුත් මොහු එවැනි තනතුරක් දරා නැහැ. අදාළ තැනැත්තිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගැනෙන වරදක් නොවෙයි. මොහුට එල්ලවන චෝදනාව තමයි කමල් හසන් නැමැත්තාට තිළිණිව හඳුන්වාදීම. ඒ මත පමණක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදියි. මොහු නීතිවේදි උපාධියක හිමිකරුවෙක්. ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක්. මොහුගේ අම්මා ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනියක්. ස්වාමීනි මේ විමර්ශන සිදුවන්නේ එක් පැත්තක් ගැන පමණයි. මීට පෙර කියවුණා ජානකී සිරිවර්ධන නමැති අයෙක් ගැන. මම කියනවා ඒ අය ගැනත් විමර්ශන කරන්න කියලා."


අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වූයේ අත්අඩංගුවට ගැණුනු බොරැල්ලේ සිරිසුමන හිමියන් සම්බන්ධයෙනි.

 

" ස්වාමීනි මෙම බොරැල්ලේ සිරිසුමන නම් හිමිනම අත්අඩංගුවට ගැණුනේ තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවට හසුවූ ක්ලැරන්ස් ද සිල්වා නම් පුද්ගලයාගේ පැමිණිල්ලකට අනුවයි. ස්වාමීනි මෙම මූල්‍ය වංචාවට සැකකාර හිමිනම සම්බන්ධ වන්නේ මේ ආකාරයටයි. ප්‍රධාන සැකකාර තිළිණි ප්‍රියමාලි තමන් සම්බන්ධතා පවත්වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙම හිමිනමට ලබාදෙනවා. එවිට මෙම හිමිනම අදාළ පුද්ගලයින්ගේ නිවෙස්වල ආශීර්වාද පූජාවලට යමින් ඔවුන් පිළිබඳ තොරතුරු පෙර දැන සිටි ආකාරයෙන් අනාවැකි නැතිනම් පේන කියනවා. ස්වාමිනි මේ හිමිනම ආශිර්වාද පූජා පමණක් කළානම් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ස්වාමීනි මෙම හිමිනම ආරූඪයෙන් පේන කියනාවිට තිළිණි ප්‍රියමාලි සන්තකයේ මුදල් තැන්පත් කිරීමට මෙම පැමිණිලිකාර පුද්ගලයින්ව පොළඹවා තිබෙනවා. ඒ වගේම එම වංචා කළ මුදල් පරිහරණය කළ බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා."

 

මෙහිදී සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දසුන් නාගස්හේන ම, සැකකාර බොරැල්ලේ සිරිසුමන හිමියන් වෙනුවෙන් කරුණු දැක්වීය.


" ස්වාමීනි මේ හිමිනම රටේ පිළිගත්තු ප්‍රසිද්ධ හිමිනමක්. ආගමික සහ සාමාජීය කටයුතු වෙනුවෙන් දායකත්වය සපයා තිබෙනවා. තමන්ගේ වකුගඩුවක් පවා රෝගියෙකු වෙනුවෙන් දන්දුන් හිමිනමක් මේ. උන්වහන්සේ වරදක් කර නැහැ. බුද්ධ දේශනාවට අනුව සොරෙකුගේ ගෙදරකට වුනත් හිමිනමකට යන්න පුළුවන්."


සැකකාර හිමිනම වෙනුවෙන් කළ එම කරුණු දැක්වීමට පිළිතුරු ලෙස අගතියට පත් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ද ප්‍රතිචාර දැක්වීය.


''බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහිල්ලා..''

 

" හාමුදුරුවෝ තමන්ගේ ජොබ් එක කළානම් මේ දේ වෙන්නේ නැහැනේ. බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහිල්ලායි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. "

 

කෙසේවෙතත් නීති කෘත්‍යයට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, සැකකාර තිළිණි ප්‍රියමාලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 750ක මුදලක් වංචා සිදු කිරීම සඳහා ඇයට ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.


එසේම, සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර ද එළඹෙන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්