ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා (monkeypox) ඊයේ (03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.



රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


පෙරේදා (02) එම තරුණයා උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත.


එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර තිබේ.


එදින දහවලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වී ඇත.


ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


වඳුරු උණ (monkeypox) යනු කුමක්ද?

MP 1

වඳුරු උණ උවදුරට හේතු වන්නේ වසූරිය වැනි වෛරස් පවුලේම සාමාජිකයෙකු වන වඳුරු උණ වයිරසය යි. නමුත් එහි දරුණු බව අඩු මට්ටමක පවතින අතර විශේෂඥයින් පවසන්නේ ආසාදනය වීමේ සම්භාවිතාව ද අඩු බවයි.


එය බොහෝ දුරට මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර ආසන්නයේ ආසාදනයවීම ආරම්භය සිදු වේ.


බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත.


රෝග ලක්ෂණ මොනවාද?


ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වයයි.


උණ අඩුවී ගිය පසු, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (බොහෝ විට අත් සහ පාද වෙත) ද පැතිර යා හැක.


කැසීම දරුණු විය හැකි අතර, අවසානයේ විවිධ අවධීන් හරහා ගොස්, හැලී යන කබොල්ලක් බවට පත්වේ. අවසානයේ තුවාල කැළැල් ඉතිරි විය හැක.


ආසාදනය සාමාන්‍යයෙන් ස්වයං ව පහව යන අතර දින 14 සිට 21 දක්වා පවතී.


# තද උණ

# වසා ගැටිති ඉදිමීම

# මාංශ පේශි සහ ශරීර කැක්කුම

# ඇඟපුරා බිබිලි මතුවීම

# කුෂ්ඨ වැනි තුවාල

# පිටෙහි වේදනාව



එය වැළඳ‍ෙන්නේ කෙසේද?


වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මන්කිපොක්ස් වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බවයි.
 

වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.
 

යමෙක් ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට වඳුරු උණ රෝගය පැතිර යා හැක. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු විය හැකිය.
 

එය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ලෙස මීට පෙර විස්තර කර නැති නමුත් එය ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය විය හැක.
 

වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් මගින් ද එය පැතිර යා හැකිය.


MP 2

එය කෙතරම් භයානකද?


වෛරසයේ බොහෝ අවස්ථාවන් දැඩි නොවූ අතර සමහර විට පැපොල රෝගයට සමාන යැයි කිව හැක. එය සති කිහිපයක් ඇතුළත ස්වයං ව පහව යයි.
 

කෙසේ වෙතත්, වඳුරු උණ උවදුර සමහර විට වඩාත් දරුණු විය හැකි අතර, බටහිර අප්‍රිකාවේ මරණ සිදු වූ බවට වාර්තා වී ඇත.


පැතිරීම කෙතරම් පොදුද?


මෙම වෛරසය මුලින්ම හඳුනාගනු ලැබුවේ කූඩු කර සිටි වඳුරෙකුගෙන් වන අතර 1970 සිට අප්‍රිකානු රටවල් 10 ක් පුරා වරින් වර පැතිර යාම් වාර්තා විය.


2003 දී ඇමරිකා එක්සත් ජනපදයේ පැතිර යාමක් සිදු වූ අතර, මෙම රෝගය අප්‍රිකාවෙන් පිටත දක්නට ලැබුණු පළමු අවස්ථාව එය විය. එරටට ආනයනය කරන ලද විවිධ කුඩා ක්ෂීරපායි සතුන්ගෙන් ආසාදනය වූ ප්‍රේරී සුනඛයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මිනිසුන්ට මෙම රෝගය වැළඳී තිබිණි. මුළු රෝගීන් 81 ක් වාර්තා වූ නමුත් කිසිවෙකුත් මරණයට පත් නොවීය.


2017 හි, නයිජීරියාවේ විශාලතම පැතිර යාම සිදුවූ අතර, ඒ දළ වශයෙන් වසර 40 කට පමණ පසුවය. වඳුරු උණ රෝගය වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 172ක් සිටින අතර, ගොදුරු වූවන්ගෙන් 75%ක් වයස අවුරුදු 21ත් 40ත් අතර පිරිමින් විය.


ප්‍රතිකාර මොනවාද?


වඳුරු උණ උවදුරට ප්‍රතිකාරයක් නැති නමුත් ආසාදනය වැළැක්වීම මගින් පැතිරීම පාලනය කළ හැක.
 

වසූරි එන්නත වඳුරු උණ උවදුර වැළැක්වීම සඳහා 85% ඵලදායී බව ඔප්පු වී ඇති අතර එය තවමත් සමහර අවස්ථාවල භාවිතා වේ.


මහජනයා බිය විය යුතුද?
 

නොටින්හැම් විශ්ව විද්‍යාලයේ අණුක වෛරස් විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේ "මුල් වඳුරු උණ ආසාදිත රෝගියා සමඟ සම්බන්ධ වුණු 50 දෙනෙකුන් එක් අයෙකුට විතරයි වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. ඉතින් වෛරසයේ ආසාදන හැකියාව කෙතරම් දුර්වල ද කියලා පේනවා"


"දැනට රටපුරා පැතිරයාමක් සිදුවන බව සිතන එක වැරදියි."
 

එංගලන්ත මහජන සෞඛ්‍ය අංශයේ ජාතික වසංගත සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නික් ෆින් තවදුරටත් මෙසේ පැවසීය: "වඳුරු උණ උවදුර මිනිසුන් අතර පහසුවෙන් පැතිරෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට ඇති සමස්ත අවදානම ඉතා අඩු බව අවධාරණය කිරීම වැදගත්."
 

ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින්ද මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමත් සමග වෛරසය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත.
 

පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මන්කිපොක්ස් මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොයන අතර රෝගය සාමාන්‍යයෙන් මෘදු රෝග ලක්ෂණ පෙන්වයි. එහෙත් සංකූලතා ඇති රෝගීන්ට මෙය මාරාන්තික විය හැකි බව වෛද්‍ය මතයවී තිබේ. ලොවපුරා රටවල පැතිරයමින් ඇති මෙම වෛරසය ශ්‍රී ලංකාවට ද ඇතුලුවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් මිට ඉහතදී අනතුරු අඟවා තිබිණ.


රෝගය හඳුනා ගැනීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට තිබේද?


ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ Monkeypox පරීක්‍ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ හැකියාව ඇති බවයි.
 

තම රසායනාගාරයේ රෝග විනිශ්චය කිරීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් ඇති බව ඔහු සඳහන් කළේය.


රෝග මර්දනයට එන්නතක් තිබේද?


ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ මන්කිපොක්ස් රෝගය සඳහා විශේෂිත ප්‍රතිවෛරස් පවතින බවයි.
 

ඒ සඳහා අනුමත එන්නත් ඇති බවද ඔහු සඳහන් කළේය. ජනගහනය, 45 ට වැඩි අයට වසූරිය සඳහා එන්නත ලබා දී ඇති බැවින් ඔවුන්ට අවම වශයෙන් අර්ධ ආරක්ෂාවක් ඇති බවද ආචාර්ය ජීවන්දර සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් දත්ත වලට අනුව, මෙය වාතය මගින් පැතිර යන ශ්වසන මාර්ග වෛරසයක් ලෙස අධික ලෙස බෝ නොවන බවයි.
 

මේ අතර දැනට මෙම වෛරසයෙන් සෘජු බලපෑමක් මෙරටට නොමැති බව විශේෂ වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය. මෙය පැපොල වැනි රෝග තත්ත්වයක් බවත් පැතිරීම මහා පරිමානයෙන් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.
 

විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ මෙය නව වෛරසයක් නොවන බවයි. දැනට මෙම රෝග තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
 

ආසාදිතයෙකුට දින 10ක් පමණ රෝග තත්ත්වය පැවතිය හැකි බවද විශේෂඥ වෛද්‍ය ගිනිගේ සඳහන් කළේය. වෛරය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් ඇති බවද ඔහු අනාවරණය කළේය. ඒ අනුව ප්‍රතිදේහ පරීක්ෂයක් හෝ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් ආසාදිතයින් හඳුනා ගත හැකියි.


ආශ්‍රිතයින්ගේ ඉතිහාසය සලකා බැලීමේදී මෙම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට දාමයක් ලෙස ව්‍යාප්ත වූ ආකාරය මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
 

ඔවුන් කියා සිටියේ මෙය සරම්ප රෝගයට වඩා වෙනස් පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගයක් බවයි. රෝගීන්ගේ අල්ලෙහි පවා මෙම බිබිලි මතුවන බවද ඔවුහූ අනාවරණය කළහ. විශේෂඥයින් පෙන්වා දෙන්නේ සංචාරක කටයුතු සිදුවන බැවින් වෛරසය මෙරටට ඇතුලුවීමේ අවදානමක් පවතින බවයි. එම අවදානම ඕනෑම රටකට පැවතිය හැකි බවද ඔවුහූ අනාවරණය කළහ.



(මූලාශ්‍ර: BBC සිංහල සේවය )
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්